නළා ගසා රටම හෑල්ලු කළ තරු­ණ­යාට වැඩ වරදී | Page 3 | සිළුමිණ

නළා ගසා රටම හෑල්ලු කළ තරු­ණ­යාට වැඩ වරදී

මාධව විජේ­රත්නට අධිකරණයෙන් ඇප ලැබිමෙන් පසු ඉන් පිටතට පැමිණ මාධ්‍යයට පබ0 .ඩටඉ අදහස් දැක්වු අයුරු

ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය ඈත අතීතයේ සිට පැවැත එන්නකි. එම ඓතිහාසික මිතුදම සාක්ෂාත් කරමින් පසුගිය 27 වැනිදා ප්‍රථම වරට චීන ආරක්ෂක ඇමැතිවරයකු මෙරටට සැපත් විණි. ඒ, චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි පෙන්ග්හිය.

චීනයේ තෙවැනි බලවත්ම රාජ්‍ය නායකයා වන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි පෙන්ග්හිගේ නිල සංචාරය සඳහා මෙරට රජයද විශේෂ සැලැකිල්ලක් දක්වන්නට වූයේ චීනය ලොව බලවත්ම රාජ්‍යයන් පහෙන්ද එකක් වන හෙයිනි.

පසුගිය 27 වැනිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටෙන් මෙරටට පැමිණි වෙයි පෙන්ග්හි රැගත් රථ පෙළපාළිය කොළඹ නගරයට ‍ළඟා වෙමින් තිබිණි.

එම රථ පෙළපාළිය බොරැල්ල මංසන්ධියට ළඟා වන විට රාත්‍රී 11.30ට පමණ විය. ඒ අවස්ථාවේ චීන ආරක්ෂක ඇමැතිවරයාට උපරීම ආරක්ෂාව සැපයීම සහ පහසුකම් සැපයීමට ද ශ්‍රී ලංකා රජයේ වගකීම වූ හෙයින් මාර්ග කීපයක් විනාඩි දහයක් වැනි කෙටි කාලයකට වසා දැමීමට පොලිසිය කටයුතු කෙරිණි.

 

රථවාහනවල සිටි අයවලුන් උසිගන්වලා

 

එලෙස බොරැල්ල මංසන්ධියේ මාර්ග කීපයක් වසා දමා තිබියදී එලෙස වැසූ මාර්ගයක වූ රථවාහන අතුරින් මතුවූ තරුණයකු ඉදිරියට පැමිණ "කට්ටිය ඔක්කෝම හෝන් ගහන්න... ලොක්කන්ට යන්න මේ පාරවල් වහලා තියෙන්නෙ...

පොලිස් අත්අඩංගුවට ගත් මාධව විජේරත්න අධිකරණයට 
රැගෙන යන අයුරු

අකමැත්ත පෙන්වන්න හෝන් ගහන්න... දිගටම හෝන් ගහන්න... යැයි පවසමින් රථවාහනවල සිටි අයවලුන් උසිගැන්වීය.

පසුව එම පිරිස් විසින් තම රථවාහනවල නළා ශබ්ද කිරීම නිසාවෙන් මහත් ඝෝෂාවක් නැඟුණේ එම ප්‍රදේශය පුරා ගිඟුම් දෙමිනි. අනතුරුව එම පුද්ගලයා විසින් වීඩියෝ ගතකළ එම අශෝභන සිදුවීම සමාජ මාධ්‍යයේද සැරිසරනු දක්නට ලැබිණි.

සමාජ මාධ්‍යයේද 'උණු කැවුම්' සේ සැරිසැරූ විනාඩි කිහිපයක් පුරා දිවෙන එම වීඩියෝව විදේශ තාන්ත්‍රිකයකු මෙරටට සපැමිණෙන අවස්ථාවකදී සිදු නොවිය යුතුම දෙයක් බව සඳහන් කළ යුතුය. මන්ද ඉන් පිළිබිඹු වන්නේ රටේ ජනයාගේ නොහික්මුණු හැසිරීම් විලාසය වන හෙයිනි. සාමාන්‍යයෙන් විදෙස් රටවල රථයක නළා ශබ්දයක් ඇසෙනුයේ කලාතුරකිනි.

එම අවස්ථාවේ රථවාහනවල නළා නාද කරමින් ඝෝෂා කරන ලෙසට ජනයාටද උසිගන්වා එම ස්ථානයේ රාජකාරියෙහි නිරත පොලිස් නිලධාරින්ගේ රාජකාරියටද බාධා කරනු ලැබූ එම පුද්ගලයා පිළිබඳව පොලිසිය විසින් විමර්ශනයක් ඇරැඹීය.

බොරැල්ල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව 31 හැවිරිදි මාධව විජේරත්න නමැති තරුණයෙක් පසුගිය 30 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් වූහ.

ඒ, එම පුද්ගලයා විසින් නළා ශබ්ද කරමින් ඝෝෂා කරන ලෙසට ජනතාව උසිගන්වමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියටද බාධා කරනවාට අමතරව නීති විරෝධි රැස්වීමක සාමාජිකයෙක් වීමට තවත් පිරිස්ද පොලඹවමින් අනුබලදීමක් සිදු කළ හෙයිනි.

පොලිස් අත්අඩංගුවට පත් බත්තරමුල්ල, පැලවත්ත, පෙරේරා ගාඩ්න්හි වෙසෙන එකී තරුණයා වසර දහයක පමණ කාලයක් ඉගෙනීම් කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ වාසයකොට මෑතකදී මෙරටට පැමිණි අයෙකි.

 

රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ට ආරක්ෂාව සැපයීම  ශ්‍රී ලංකා රාජ්‍යයේ පරම වගකීමක්

 

එලෙස චීන ආරක්ෂක ඇමැතිවරයා සැපත් වන මොහොතකදී කළ කී දේ නිසාවෙන් එම තරුණයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, "කිසියම් රටක රාජ්‍ය නායකයෙක් රාජ්‍ය දූතයෙක් නැත්නම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙරටට පැමිණෙන මොහොතකදී ඔවුනට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා රාජ්‍යයේ පරම වගකීමයි.

එසේම ලොව සුපිරිම බලවතුන්ගෙන් එක් රාජ්‍යයක් වන චීනයේ තුන්වැනි බලවත්ම රාජ්‍ය නායකයා වන ආරක්ෂක ඇමැතිවරයා මෙරටට පැමිණි මොහොතකදී උපරීම ආරක්ෂාවක් සැපයීම අපේ රටේ වගකීම. ඒ වගේම ආරක්ෂක ඇමැතිවරයා මෙරටට පැමිණි අවස්ථාව වන විට රාත්‍රි එකොළහට පමණ. ඒ වන විට මෙරට මාර්ගවල රථවාහන ගමනාගමනය ද යම් ආකාරයක සීමාවීමක් සිදු වෙලා තිබුණේ.

එසේම රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා බලපැවැත්වෙන වියානා ප්‍රඥප්තිය අනුවද අනිවාර්යයෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආරක්ෂාව සහ රථවාහන පෙළපාළි පැවැත්වීමටද මෙරට රජය බැඳි සිටිනවා.

එම නිසා අත්අඩංගුවට පත් එම තරුණයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, නීති විරෝධි රැස්වීමක් සංවිධානය කිරීම මෙන්ම ඒ සඳහා අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ" බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. පසුගිය 30 වැනිදා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම තරුණයා එදිනම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත ඉදිරිපත් කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් එම තරුණයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරියත් දැඩි සේ අවවාද කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ රාජ්‍ය නායකයකු මෙරටට පැමිණීමේ අවස්ථාවකදී පොලිසිය ක්‍රියාකරන ආකාරයට තමන්ද අනුගත විය යුතු බවයි.

එසේම තමන් සිදුකළ ක්‍රියාව තුළින් රටට සිදුවූ අපකිර්තීය සුළු කොට තැකිය නොහැකි බවද මෙරට නීතියට තමන් අවනත විය යුතු සේම මෙය ඕස්ට්‍රේලියාව නොවන බවටත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කරමින් අදාළ නඩුව මැයි 12 වැනිදාට යළි කැඳවන ලෙසටද නියෝග කළාය.

අධිකරණය ඉදිරියේ සිදුවූ වරදට සමාව අයැද සිටි මාධව විජේරත්න තරුණයා එදින අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

"මගේ අතින් වරදක් සිදුවුණා... ඊට ශ්‍රී ලංකා රජයෙන් සහ ශ්‍රී ලංකා පොලීසියෙන්ද මම සමාව ඉල්ලනවා. ඒ වගේම මගේ ක්‍රියා කලාපය නිසාවෙන් ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලංකා පොලීසියටත් මුහුණදීමට සිදුවු අපහසුතාවන් පිළිබඳ කනගාටු වෙනවා..."

ස්වාධීන රටවල් අතර රාජ්‍ය දූත සබඳතා සඳහා පාදක ව්‍යුහය නියම කරන ලද වසර 1961 අප්‍රේල් 18 වැනිදා ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරදී අස්සන් කරන ලද 1964 අප්‍රේල් 24 වැනිදා සිට බලපැවැත්වෙන මේ වන විට ලංකාව ඇතුළු රටවල් 190ක් පාර්ශ්වකරුවන් වන අන්තර්ජාතික ගිවිසුම වන වියානා ප්‍රඥප්තිය අනුව කිසියම් රාජ්‍ය නායකයෙක්, රාජ්‍ය දූතයෙක් නැතිනම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කිසියම් රටකට පැමිණි මොහොතේ සිට එරටින් බැහැරව යන තෙක්ම එකී පුද්ගලයා හෝ කණ්ඩායමේ ආරක්ෂාව සැපැයීමට ඒ රාජ්‍යය බැඳී සිටි.

ශ්‍රී ලංකාවද වියානා ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවකු වන හෙයින් ශ්‍රී ලංකා රජයද සැම විටෙකම මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සැපයීමට බැඳි සිටින රාජ්‍යයකි.

Comments