කොවිඩ් වෙනු­වෙන් ඇඳන් 10,000 ක් හදන දින 10 මෙහෙ­යුම | සිළුමිණ

කොවිඩ් වෙනු­වෙන් ඇඳන් 10,000 ක් හදන දින 10 මෙහෙ­යුම

අලුත් ඇඳන් සකස්කිරීම පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ නිරීක්ෂණය කළ අවස්ථාවක්
අලුත් ඇඳන් සකස්කිරීම පිළිබඳ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ නිරීක්ෂණය කළ අවස්ථාවක්

මෙරට දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතයට රටක් ලෙස එක්වී මුහුණ දීම පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර දේශපාලන පක්ෂවල සහයෝගය ද ඇතිව ඇඳන් 10000 ක් දින 10 ක් තුළ ලබාදීමට පියවර ගනිමින් සිටී. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්කවල වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මේ සඳහා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පූර්ණ සහාය ලබා දෙති.

 

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන්ගේ නායකත්වය ඇතිව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හා ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහය හා අභ්‍යාසලාභීන්ගේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම වැඩසටහන දැන් සාර්ථකව ක්‍රියාත්මක වෙයි. මෙය 'සැමට සම සිතින්' යනුවෙන් හැඳින්වෙයි. මේ වැඩපිළිවෙළ වෙනුවෙන් වෙහෙසෙන තරුණ තරුණියන් ඇතුළු පිරිසට දිරි දීම පිණිස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මාතර, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ගියේය. ඒ අනුව තංගල්ල පල්ලිය අසල තරංග අයන් වර්ක්ස් ආයතනය අසලින් නිරීක්ෂණ චාරිකාව ආරම්භ විය. පසුව මාතර, දෙවිනුවර හා දික්වැල්ල ප්‍රදේශවල ව්‍යාපෘතියට අදාළව ඇඳන් සැකසෙන ආකාරය පිළිබඳව ඇමැතිවරයා නිරීක්ෂණය කළේය.

රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ද මෙම අවස්ථාවට එක්වී වැඩ කටයුතු සඳහා සහාය දැක්වීය.

ආර්ථික පුන­ර්ජී­ව­නය පිළි­බඳ ජනා­ධි­පති කාර්ය සාධක 
බළ­කායේ ප්‍රධානී බැසිල් රාජ­ප­ක්ෂ­

අනතුරුව මාතර ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ ඇඳන් සකස් කරන ආකාරය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා වැලිගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ හා දෙනිපිටිය චම්පික අයන් වර්ක්ස් සිට මෙම කාර්යයට දායකත්වය සපයන තරුණ පිරිස සමඟ එක්වී ඔවුන්ට ශක්තියක් සැපයීය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අලුත් ඇඳන් සකස් කරන පිරිසට සිය හෘදයාංගම ආචාරය පුද කිරීමට ද ඇමැති නාමල් කටයුතු කළේ ය.

“වගකීම් හා යුතුකම් ඉටුකරන තරුණ රැල්ලක් විදියට එක්වී මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරමින් අපි අපේ වගකීම ඉටු කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ වනවිට අපේ රටේ හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම හැම ගමකම තරුණ පිරිස මේ සඳහා දායක වෙනවා. එය ඉතා සතුටට කරුණක්.

ඒ අනුව ‍මුලින් ම මේ දින 10 කින් ඇඳන් 10000 ක් හදන්න තමයි කටයුතු කරන්නේ” ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.

මෙම ඇඳන් 10000 ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියට ජාතික තරුණ සේවා සභාව මූලිකත්වය ගෙන ඇති අතර යෞවන සමාජ සම්මේලන ව්‍යාපාරය ඊට උපරිම දායකත්වය ලබා දෙයි. මීට අමතරව තරුණ කණ්ඩායම් ස්වේච්ඡා සංවිධාන ඇතුළු සංවිධාන රැසක සහයෝගය ඊට ලැබෙමින් පවතී.

ජාතික තරුණ සේවා සභාව දිවයින පුරා විසිරී සිටින යෞවන සමාජ ව්‍යාපාරය හා අත්වැල් බැ‍ඳගෙන තරුණ කොටස් හා එක්වී ඇඳන් 10000 ක් දැනටමත් ඇඳන් 2500 පමණ සකස් කර ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ පවසයි.

මේ යටතේ ජාතික තරුණ සේවා සභාව ඇඳන් 3500 ක් සකස් කරන බවත් ඒ සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ජාතික තරුණ සේවා සභාව මඟින් ලබාදෙන අතර යකඩ සහ අනෙක් අමුද්‍රව්‍ය ලබාගැනීම පිණිස ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ව්‍යාපෘති අරමුදල් පාවිච්චි කරන බව ද සභාපතිවරයා පවසයි.

නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම ඇතිව රටේම යෞවන සමාජ මේ සුවිශේෂී කටයුත්තට එකාවන්ව කුල මල ආගම් හා දේශපාලන භේදයෙන් තොරව ඉදිරිපත්වී ඇති බව ද සභාපතිවරයා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ කොරෝනා උවදුරට ලක්වෙන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා පොදුජන පෙරමුණ මඟින් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ නායකත්වය යටතේ රටේ අත්‍යවශ්‍ය රෝහල් 13 ක් සඳහා අලුත් රෝහල් ගොඩනැගිලි 13 ක් ඉදිකරන බවයි.” ඒ අනුව මේ වාට්ටු ඉදිකිරීම සියල්ල දැන් සම්පූර්ණ කර අවසන් වෙමින් පවතිනවා. ඊට අමතරව ලේ හිඟයක් තිබෙන බවත් අපිට දන්වා තිබෙනවා. ඒ අනුව ඒ අවශ්‍ය ලේ ප්‍රමාණය දිනපතා ලබාදීමට පොදුජන පෙරමුණේ තරුණ සංවිධාන මඟින් කටයුතු කරනවා.

දින 10 ක් ඇතුළත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ඇඳන් 10000 ක් ලබාදීමටත් මෙට්ට කොට්ට ඇඳ ඇතිරිලි, මදුරු දැල් ආදී ඒ ඇඳන් සඳහා අවශ්‍ය සියලු උපකරණ ලබාදීමටත් පොදුජන පෙරමුණ කටයුතු කරන බවත් සාගර කාරියවසම් පවසයි. මේ සඳහා ඇමැති නාමල් රාජපක්ෂයන් පූර්ණ සහාය දෙන බව ද ඔහු කීය.

මේ රටේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම හැම ගමකම තරුණයන් එක්වී කොරෝනා වසංගතයෙන් අසරණ වූ අයට ඇඳන් 10000 ක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මේ වැඩපිළිවෙළ යටතේ දැනටමත් මාතර, කොටවෙල, වතුපිටිවල, නවගමුව, මීරිගම, දඹදෙනිය, පාණදුර යන ප්‍රදේශවල ඇඳන් සකස් කිරීමේ කටයුතු වේගවත්ව සිදුකෙරෙමින් පවතී.

මේ ඇඳන් සඳහා ආලේප කිරීමට අවශ්‍ය තීන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ සම්බන්ධතා මත ලබාදී ඇති අතර ඒවා ආලේප කිරීමට ඒ ඒ ප්‍රදේශවල තරුණ පිරිස කටයුතු කළහ.

කොවිඩ් ආසාදිතයන්ට පිහිටවීම උදෙසා දින 10 න් ඇඳන් 10000 ක් නිර්මාණය කිරීමේ ජාතික සද්කාර්යයට දායකවන තරුණ තරුණියන් විසින් සකස් කරන ඇඳන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි ඒ ඒ පළාත්වල සෞඛ්‍ය බලධාරීන්ට බාරදීම ආරම්භ වී ඇත. ඒ අනුව දැනටමත් මිනුවන්ගොඩ, අම්බලන්ගොඩ, වතුපිටිවල ඇතුළු රෝහල් ගණනාවකට අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකර අවසන්ය.

දින 10 න් ඇඳන් 10000 ක් ජාතික සද්කාර්යය පසුගිය 07 වැනිදා ආරම්භ විය. මෙම සද්කාර්යයට ස්වේච්ඡාවෙන්ම දායක වන රටපුරා විසිරී සිටින තරුණ තරුණියන් සහ අදාළ පිරිස් දිරි ගන්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇඳන් සකසන ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවලට එක්වෙමින් සිටියි.

ගාල්ල වේවැල්වල පාර, බටදූව පන්සල, නියාගම ප්‍රාදේශීය සභාව, ඉමදූව සහ බලපිටිය චලන බෝට් යාඩ් ස්ථානවලට ගිය අමාත්‍යවරයා යෞවන සමාජ සම්මේලනය ඇතුළු ආයතනවල හා ස්වේච්ඡාවෙන් මෙම සද්කාර්යයට දායක වන පිරිස් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් හා දායකත්වය ලබා දුන්නේය. ඊට අමතරව බුලත්සිංහල පිඹුර පාණදුර රෝහල්වල අලුත් ඇඳන් හා අලුත් කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පියවර ගෙන ඇත. ඒ යටතේ දැනටමත් ඉංගිරිය රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. පිඹුර රෝහලේ පැරැණි ගරා වැටුණ රෝහල් ගොඩනැගිල්ල ඉවත් කර එම ස්ථානයේ අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්වරුන්ගේ මැදිහත්වීම මත ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය විසින් අබලන්ව පැවති හදිසි ප්‍රතිකාර ඇඳන් 200ක් ඇතුළුව ඇඳන් 700ක් භාවිත කළ හැකි ලෙස සකස් කර ඇත.

මේ අතර ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැදිහත්වීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යාන්ත්‍රික වැඩපළ තුළ නිම කළ ඇඳන් 50ක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ට භාරදීමෙන් අනතුරුව කොස්ගම රෝහලට ලබා දී තිබේ. රටේම කොරෝනා දිනෙන් දින දරුණු වුවත් බැසිල් රාජපක්ෂයන්ගේ හා නාමල් රාජපක්ෂයන්ගේ සුසංයෝගයෙන් හා රටේ තරුණ පිරිසගේ ශ්‍රම දායකත්වය පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු ආධාර ඇතිව කෙරෝනා රෝගීන්ට ඇඳන් 10000 සැකසීමේ මේ සද්කාර්යයට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඓතිහාසික කටයුත්තක් බව කිව යුතුමය.

ඡායාරූප - විමල් කරුණාතිලක

මිනුවන්්ගොඩ රෝහලේ ඉදි කළ කොවිඩ් 19 නව ප්‍රතිකාර මධ්‍යස්ථානය
කටු­බැද්ද කර්මාන්ත ඉංජි­නේරු අභ්‍යාස ආය­ත­නයේදී ඇඳන් සකස් කරමින්

 

Comments