කොස්ගොඩ තාරක සහ ඌරු ජුවාගේ ගම­නක අව­සා­නය | Page 2 | සිළුමිණ

කොස්ගොඩ තාරක සහ ඌරු ජුවාගේ ගම­නක අව­සා­නය

සංවිධානාත්මක අපරාධකාරයන් හෙවත් පාතාල සාමාජිකයන් මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වන්නෙ තැනක් නොතැනක්, රැයක් දවාලක් නැතිවය. එහෙත් බොහොමයක් පාතාල සාමාජිකයන්ට ඉකුත් දිනවලදී වැඩ වැරදුණේ වත්මන් රජය ගෙන යන අපරාධකාරයන් මැඬලීමේ තිරසාර වැඩසටහන නිසාවෙනි. පොලිසිය සහ පාතාල මර්දන ඒකකයන් දිවාරෑ වෙහෙසෙමින් ඇතැම් පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගනිද්දී එලෙස අත්අඩංගුවට පත් කිහිපදෙනෙක් පලා යාමට තැත් කිරීමේදී මරණයට පත්වූ අවස්ථා කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා විණි.

එලෙස මියගිය වුන් අතර මාකඳුරේ මධුෂ්, ගොනාකෝවිලේ රොහා, ගොනාකෝවිලේ රාජා, ඉඳුනිල් චාමර කුමාර හෙවත් අංකුඹුරේ ඉන්ද්‍රා, චමින්ද එදිරිසුරිය හෙවත් අංගොඩ ‍චමියා වැන්නවුන් වූහ.

මාස කිහිපයක නිහැඬියාවෙන් පසු ගෙවී ගිය සතියේද පොලිස් අත්අඩංගුවේ පසුවූ තවත් ප්‍රකට අපරාධකාරයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් ගිනිඅවි මඟින් බලය පාවිච්චි කිරීමේදී මරණයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

එසේ පසුගිය 11 වැනිදා රාත්‍රියේ මරණයට පත්වූයේ 27 හැවිරිදි මාඹුලගේ දිනෙත් මෙලන් මාඹුලගේ හෙවත් ඌරු ජුවා නමැති කඩුවෙල, නවගමුව, හංවැල්ල ඇතුළු ප්‍රදේශයන් භීතියට පත්කරමින්, කප්පම් ගැනීම්, මිනීමැරුම්, කොල්ලකෑම් රැසකටම නායකත්වය දුන් අපරාධකාරයෙකි.

බූස්ස බන්ධනාගාරයෙන් ඉකුත් 10 වැනිදා පෙරවරුවේ ඇප මත නිදහස ලැබීමෙන් පසු විදේශයකට පැන යෑමට තැත් කරමින් සිටි ඌරු ජුවා පොලිසිය විසින් සිදුකරන විමර්ශන රැසක් සඳහාම අත්‍යවශ්‍යව සිටි හෙයින් එදින සවසම නවගමුව පොලිසියේ අත්අඩංගුවට පත්විණි.

අනතුරුව නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම ප්‍රමුඛ කණ්ඩායම විසින් ඌරු ජුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ අවිආයුධ සහ බෝම්බ පිළිබඳව සොයා බැලීමට ගොස් තිබුණේ නවගමුව වඳුරන්මුල්ල ප්‍රදේශයටයි. කඩුවෙල සමයං නමැති 2017 පෙබරවාරි 27 වැනිදා කළුතර, එතනමඩලදී බන්ධනාගාර බස්රථයට අංගොඩ ලොක්කා විසින් එල්ල කළ ප්‍රහාරයෙන් මරණයට පත් අපරාධකාරයාගේ ප්‍රධානතම ගෝලයෙක් වන ඌරු ජුවා, වර්තමානයෙහි පාළුවට ගොස් තිබෙන සමයංගේ වඳුරන්මුල්ල නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බ කිහිපයක් පෙන්වීමට ගොස් තිබුණේය. එහිදී ඌරු ජුවා විසින් පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නට යෑමේදී පොලිස් වෙඩි පහරින් ඔහු මරණයට පත්විය.

කොස්ගොඩ සුසාන භූමියේ තිබි පොලිස් බාරයට ගැනුණු තාරකට අයත් ටී56 ගිනිඅවි තොගය

ගෙවී ගිය සතියේ පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූ තවත් ප්‍රබල ගණයේ අපරාධකාරයෙක් වන්නෙ ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකයි. දකුණු පළාතේ ප්‍රබල ගණයේ අපරාධකාරයෙක් වන 39 හැවිරිදි කොස්ගොඩ තාරක පසුගිය කාලයේ විසුවේ රිමාන්ඩ් බන්ධනාගාරගතවයි. ඒ, 2018 ජුනි 22 වැනිදා කූප්‍රකට මාතර නිලේඛා ස්වර්ණාභරණ කොල්ලයේදී වෙඩි වැදී පලා යන අතරතුර කරාපිටිය රෝහලට ඇතුළුව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුවයි.

පසුව තාරක ගිය වසරේ සැප්තැම්බර් 05 වැනිදා රැඳවුම් නියෝගයක් මත බන්ධනාගාරයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණේ එම වසරේ ජුනි 29 වැනිදා හෝමාගම, පිටිපනදී මෙතෙක් ආරක්ෂක අංශ විසින් අපරාධකාරයන් සන්තකයේ තිබී සොයාගත් ටී56 ගිනිඅවි ඇතුළු ගිනිඅවි 12ක් පිළිබඳව සිදුකළ විමර්ශනයටයි. එකී ගිනිඅවි තොගය තාරකට අයත් බවට එදින අත්අඩංගුවට පත් තාරකගේ ප්‍රධානතම ගෝලයෙක් වන මාතර නිලේඛා කොල්ලයට ද එක්වූ පොට්ට කපිල නමැති සැකකරුගෙන් අනාවරණය විණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි තාරක ඉකුත්දා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට බාර කෙරුණේ තවත් ගිනිඅවි තොගයක් පිළිබඳව කරන විමර්ශනයකට අදාළවයි. ඒ අනුව තාරකගේ පාපෝච්චාරණය මත කොස්ගොඩ ප්‍රදේශයේ සුසාන භූමියක තිබී තවත් ටී56 ගිනිඅවි හතරක් සමඟ මැගසින් කිහිපයක්ද සොයා ගැනිණි. අනතුරුව පසුගිය 13 වැනිදා අලුයම 4.45ට පමණ මීරිගම, රේන්දපොළ, වලව්වත්ත පාරේ ස්ථානයක ස්නයිපර් ගිනිඅවියක් සඟවා තිබෙන බව තාරක පැවැසීමත් සමඟ එම ගිනිඅවියද පොලිස් බාරයට ගැනීමට තාරක කැටුව ගොස් තිබුණේය. එහෙත් ඒ මොහොතේ තාරක ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ ධර්මසූරියගේ ගිනිඅවියද රැගෙන පලා යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්විය. එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ ධර්මසූරියද තුවාල ලබා පසුව වතුපිටිවල රෝහලට ඇතුළත් කෙරිණි.

කොස්ගොඩ තාරක සහ ඌරු ජුවා පොලිස් අත්අඩංගුවේදී

මාතර නිලේඛා ස්වර්ණාභරණ කොල්ලය මෙහෙයවූ තාරක පලා යාමේදී එදින මාතර පොලිසියට අනුයුක්ත ප්‍රදීප් සුරංග වීරසිංහ (69532) කොස්තාපල්වරයාද වෙඩි තබා ඝාතනය ‍කළේය. කොස්ගොඩ, මාතර, මොරටුව, කොට්ටාව, මීරිගම ආදි පෙදෙස්හි මිනීමැරුම් හතකටද කොල්ලකෑම් 21කට පමණ අත්‍යවශ්‍යව සිටි අපරාධකාරයෙක් වන තාරක කොස්ගොඩ, නානතොටදී 1982 වසරේදී උපන්නෙකි. කුඩා දරුවකුගේද පියකු වන තාරක සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. තාරක වයස අවුරුදු 19 දී පමණ අම්බලන්ගොඩදී කුලී වෑන් රථයක් කොල්ලකමින් අපරාධ ලෝකයට පිවිසිණි.

අපොස උසස් පෙළ ද ගණිත අංශයෙන් හැදෑරූ ඔහු ඉගෙනීමටද දක්ෂයෙකි. තාරකගේ පියාණන් වාර්තා වන අන්දමට කිසියම් ආකාරයකට නිවෙසේ ළිඳට වැටී මරණයට පත්වීමෙන් ඉගෙනීම අතරමඟ නතර කෙරුණු තාරක කලක් යුද හමුදා කමාන්ඩෝ බළකායේද සේවය කළේය. මුල් සමයේ නමගිය කොල්ලකරුවෙක් ලෙස ප්‍රකටව සිටි තාරක වාහන කොල්ලයකට 2001 වසරේ බන්ධනාගාරගත විණි. අනතුරුව ඔහු බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව එන්නෙ අපරාධ ලෝකයේ බොහෝ දෙනෙකුගේ ඇසුර ලබමිනි.

තාරකගේ පාතාල ලෝකයේ බද්ධ වෛරක්කාරයා දැනට ඩුබායි රටට පැන ගොස් සිටින කොස්ගොඩ සුජීය. කුඩා කාලයේ එකම ගමේ හැදී වැඩුණු දෙදෙනා ගජමිතුරෝ වූහ. එහෙත් පසු කාලයකදී සුජි සහ තාරක අපරාධ ලෝකයට රැගෙන ආ වර්තමානයේ ඉතාලියේ වෙසෙන කොස්ගොඩ නදුන්ගේ වහසි බස් නිසාවෙන් බද්ධ වෛරයකින් බැඳුණු දෙදෙනාගේ වෛරය නිසාවෙන් කොස්ගොඩ සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල දෙපාර්ශ්වයේ දහදොළොස් දෙනෙකු මේ වන විට ඝාතනය වී අවසානය.

ඒ අතර 2017 ඔක්තෝබර් 29 වැනිදා තාරකගේ අතින් මහින්ද පේමරාජා සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන අයේෂ් ධනංජය සහ දුමිඳු විස්මිත සමඟ එදිනම කපිලරත්නද ඝාතනය වූයේ සුජී සමඟ වූ ගැටුමට ලෙයට ලෙය පළිගැනීමටයි.

2019 වසරේ නොවැම්බර් මාසයේදී තාරක බන්ධනාගාරයේ සිටියදීද කොස්ගොඩ සුජී විසින් ඔහුව ඝාතනය කිරීමට තැත් කළේ තාරකගේ පෙම්වතියක් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වූ කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සුරූපි නළඟනක් දැලේ දා‍ගනිමිනි. ඒ, 31 හැවිරිදි ඇය විසින් තාරකව බැලීමට බන්ධනාගාරයට යනෙන අතර රැගෙන ගිය කෑම පාර්සලයකට විසක් කලවම් කරමිනි. එහෙත් සුජීගේ ඒ ප්‍රයත්නය අසාර්ථක වූයේ එම තරුණිය හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් සමඟ රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල් මනුහිතට පෞද්ගලික තොරතුරු කරුවකුගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව අත්අඩංගුවට පත්වීමෙන් පසු සියල්ල වැමෑරීමත් සමඟිනි. මුල් කාලයේ සුජිගේ ගැටුම් නිසාවෙන් කොස්ගොඩ ප්‍රදේශයෙන් කොළඹ ප්‍රදේශයට පලා ගිය තාරකට සියලු පහසුකම් සලසා තිබුණේ බන්ධනාගාරයේදී හඳුනාගත් වසන්ත කුමාර පෙරේරා හෙවත් හබරකඩ වසන්ත නමැති තවත් ප්‍රබල ගණයේ අපරාධකාරයෙකි. ඔහුද මාතර නිලේඛා කොල්ලයට එක් වූහ. පසුව 2018 නොවැම්බර් 26 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය රුක්මල්ගමදී සිදු කළ වෙඩි ප්‍රහාරයකින් වසන්තද මරණයට පත්විය.

තාරකගේ මව අගම්පොඩිගේ ජානකී ද සොයිසා ප්‍රධානතම පක්ෂ සන්ධානයකින් 2018 ප්‍රාදේශිය සභා මැතිවරණයටද ඉදිරිපත්ව පරාජයට පත් වූවාය. නිලේඛා කොල්ලයට තාරක භාවිත කළ එක් යතුරුපැදියක් ඇගේ නමට ලියාපදිංචි වී තිබුණි. එම නිසා ඇයද පොලිස් අත්අඩංගුවට ගැනිණි. එසේම එම කොල්ලයට තාරකගේ ‍සො‍හොයුරු මධුක නිරමාල්ද එක්ව සිටියේය. ඔහුද කරාපිටිය රෝහලේ සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විණි.

2011 කොස්ගොඩ මහජන බැංකුව කොල්ලකමින් රුපියල් විසිතුන් ලක්ෂයකට අධික මුදලක් පැහැරගෙන් එහි ආරක්ෂක නිලධාරියාගේ ගිනිඅවියද පැහැරගෙන පලා ගිය තාරක 2013 වසරේදී මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගැනිණි.

අනතුරුව මොරටුව ෆිනෑන්ස් සමාගමක්ද කොල්ලකමින් ලක්ෂ 150ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලයක්ද තාරක නම ඉදිරියේ සටහන් වේ. එසේම 2017 වසරේදී මීරිගම මූල්‍ය ආයතනයක්ද කොල්ලකමින් රුපියල් ලක්ෂ 18ක් රැගෙන පලා ගොස් තිබිණි. 2017 අගෝස්තු 10 වැනිදා අත්තිඩිය, කොමර්ෂල් බැංකුවට කඩා වැදුණු තාරක රුපියල් ලක්ෂ 34ක් රැගෙන පලා ගියේ එහි වූ ආරක්ෂක නිලධාරියාද ඝාතනය කරමිනි. එකී අහිංසක පුද්ගලයාගේ ඝාතනයෙන් තාරකගේ එසමයෙහි ප්‍රධානියා වූ මාකඳුරේ මධුෂ්ද විරසක වී තිබුණේය. අවසානයට මාතර නිලේඛා කොල්ලයට සම්බන්ධ වූ තාරක අත්අඩංගුවට පත්වීමෙන් පසු බන්ධනාගාරයේ සිට මිනීමැරුම්, මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ජාවාරමට සම්බන්ධ වී තිබුණේ මහා පරිමාණයෙනි.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මින්නේරිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකින් ටී 56 ගිනිඅවි තොගයක් පැන්නීමේ ප්‍රධානියාද තාරක වේ. තාරක සමඟ එම ජාවාරමට සබැඳි යුද හමුදා සහ මාධ්‍යවේදියෙක්ද පසුගිය වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය. හෝමාගම පිටිපනින් හමු වූයේ එකී ගිනි අවිවලින් කීපයකි. ඊට අමතරව තාරක මරණයට පත්වීමට පෙරදී කොස්ගොඩදී සොයාගත් ගිනිඅවි 4ද එම ගිනි අවි තොගයටම අයත් වෙතැයි සැල වේ.

'අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව' පසක් කරමින් පොලිස් වෙඩි පහරින් මරණයට පත් ඌරු ජුවාද ම්ලේච්ඡ අපරාධකාරයෙකි. නිතරම කුකුළු කේන්තියෙන් පසුවූ දිනෙත් මෙලන්ට ඌරු ජුවා නම පටබැඳි තිබුණේ එම ඌරු ජුවල් කේන්තිය නිසාවෙනි. කඩුවෙල හොල්ලාගෙන සිටි පාතාල නායක සමයංගේ ඝාතනයෙන් පසු ඔහුගේ තැන ගැනීමට ඉදිරිපත් වූයේ සමයංගේම ප්‍රධානතම ගෝලයන් තිදෙනෙකි. ඒ, ඌරු ජුවා, අංකුඹුරේ ඉන්ද්‍රා සහ ‍ගොත අසංකයි. 2017 වසරේ සිටම බන්ධනාගාරයේ සිටි ජුවා පසුගියදා ඇප මත මුදා හැරිණි. සමයං මරණයට රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කළ කඩුවෙල ගෙවතු අලංකරණ ව්‍යාපාරයක නිරතව සිටි අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වූ පිඩලි තුෂාර නමැත්තා ඝාතනය කිරීම නිසාවෙන් නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාර වූ ඌරු ජුවා එදින සිට බන්ධනාගාරයේ පසු වූයේය.

වත්මන් බන්ධනාගාර පරිපාලනයට පෙර බන්ධනාගාරයේ 'සුපිරි' දිවියක් ගත කළ ඌරු ජුවා ජංගම දුරකථන භාවිත කරමින් මහා පරිමාණයෙන් කප්පම් ගැනීම් සිදු කළේ කිසිදු අපහසුවකින් තොරවය. ඔහුගේ ගෝලයෝ කඩුවෙල, හංවැල්ල, නවගමුව පෙදෙස්වල ව්‍යාපාරිකයනගෙන් කප්පම් එකතුකොට බන්ධනාගාරයටම ගෙනගොස් දෙන බව ඒ දිනවල ප්‍රසිද්ධ රහසක් විය.

කඩුවෙල, නවගමුව, හංවැල්ල පෙදෙස්වල කප්පම් ගැනීම් ඇතුළු පාතාල නායකත්වයේ ගැටුමට මැදිවූ ඌරු ජුවා සහ ඉන්ද්‍රා අතර ද්වන්ධ සටන නිසාවෙන් පසුගිය කාලයේ 15කට ආසන්න පිරිසක් ඝාතනය විණි. පසුගිය කාලයේ එම ප්‍රදේශවල බොහෝ ව්‍යාපාරිකයන් පලා ගොස් තිබුණේ ඌරු ජුවාගෙන් ලැබුණු කප්පම් ඉල්ලීමේ දුරකථන ඇමැතුම්වලට බියෙනි. එසේම එම ව්‍යාපාරිකයන්ට ඌරු ජුවාට මෙන්ම ඉන්ද්‍රාටද කප්පම් දීමට වූයේ දෙපාර්ශ්වයේ ගැටුම් හේතුවෙනි. කෙසේ හෝ මේ වන විට දෙදෙනාම අවසන් ගමන් ගොස් හමාරය. ඌරු ජුවාගේ මරණය මෙන්ම කොස්ගොඩ තාරකගේ මරණය සැලවීමත් සමඟින් කොස්ගොඩ ප්‍රදේශවල ජනයා සහ හංවැල්ල, කඩුවෙල පෙදෙස්හි ජනයාද රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කර තිබුණේය. ඒ එම අපරාධකාරයන්ගෙන් තිබූ පීඩනය මුදා හරිමිනි.

ඡායාරුප - අනුරාධ ප්‍රියදර්ශන,

Comments