
ජගත් පරිසර දිනය හා ජගත් සමුද්‍ර දිනය පෙනි පෙනී තිබියදී අපේ රටේ පරිසරයට අභියෝග රැසක් එල්ල වී තිබේ.
ගිනිගත් නැවේ විස ද්‍රව්‍ය නිසා අපේ සාගර හා වෙරළ පද්ධතියට විශාල හානියක් සිදුවී තිබීම ඒ අතර ප්‍රධානයි.
මේ අතර පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් වූ අපේ රටේ අලුත්ම රතු දත්ත පොතට අනුව අපේ රටේ සපුෂ්පික ශාක විශේෂවලින් සියයට 48 ක් පමණ වඳවී යාමේ තර්ජනයට පත්වී ඇතැයි ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.
අපේ රටට අදාළ අලුත්ම රතු දත්ත ලැයිස්තුව අනුව 2012 රතු දත්ත ලැයිස්තුවේ සඳහන් වූ විශේෂවලට වඩා අපේ රටේ සත්ව හා ශාක විශේෂ රැසක් වඳවී යාමේ තර්ජනයට පත්වී ඇතැයි මෙම රතු දත්ත පොත සැකසීමට පෙරමුණ ගත් ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙයි.
ඊට අමතරව රටේ තැනින් තැන සිදුවන වන විනාශය අනවසර පස් කැපීම් පිළිබඳවද වාර්තා වෙමින් පවතී.
ලොව ජෛව විවිධත්වය අතින් ඉහළින් ම ඇති රටක් වන අපේ රටේ පරිසර පද්ධති රැසක් ඇත. පරිසර පද්ධති වර්ගිකරණය අනුව ප්‍රධාන පරිසර පද්ධති වන්නේ භෞමික පරිසර පද්ධති හා ජලජ පරිසර පද්ධතීන් ය.
මින් භෞමික පරිසර පද්ධතිවලට වනාන්තර හා තෘණ භූමි අයත්වේ. අපේ රටේ වනාන්තර වර්ග රැසකි.
ජලජ පරිසර පද්ධතිවලට වෙරළබඩ හා මුහුදු පරිසර පද්ධති ද රට අභ්‍යන්තර තෙත් බිම්වල පරිසර පද්ධති ද අයත්වේ.
අපේ රටේ වනාන්තර පරිසර පද්ධතියට වනාන්තර වර්ග 7 ක් අයත් වෙයි. නිවර්තන වැසි වනාන්තර, නිවර්තන තෙත් අර්ධ සදාහරිත වනාන්තර, නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, නිවර්තන කටු පඳුරු හා ලඳු කැලෑ, ගංගාශ්‍රිත වනාන්තර, නිවර්තන පහත් කඳුකර වනාන්තර නිවර්තන උස් කඳුකර වනාන්තර ඒ අතර ප්‍රධාන වෙයි.
මෙරට තෘණ භූමි පරිසර පද්ධතිවලට විල්ලු, සැවානා, තෙත් පතන, වියළි පතන ඇතුළත්වේ.
ඊට අමතරව ජලජ පරිසර පද්ධතිවලට වෙරළබඩ හා මුහුදු කලාපයේ කඩොලාන, ලවණ වගුරු, වෙරළ හා වැලි කඳු, මුහුදු තෘණ භූමි, කොරල් පර ඇතුළත්වේ.
ඒ සමඟම රට අභ්‍යන්තර තෙත් බිම්වලට ගංගා හා දොළ පාරවල්, වගුරු බිම් හා වගුරු වනාන්තර, පිටාර තැනි හා විල්ලු පොකුණු හා ජලාශ ඇතුළත්වේ.
වන විනාශය, පරිසර විනාශය, විෂ ද්‍රව්‍ය සහිත නැව් ගිනි ගැනීම නිසා වෙරළ කලාපය විනාශ වීම ඇතුළු අප රටේ පරිසර ගැටලු රැසක් තිබෙන මේ වකවානුවේ ජගත් පරිසර දිනය ජූනි 5 යෙදී තිබීම සුවිශේෂී වේ.
ජූනි 5 වැනිදාට යෙදෙන මෙවර ජගත් පරිසර දින තේමාව වන්නේ පරිසර පද්ධති යළි සවිබල ගැන්වීමට කැපවෙමු යන්නයි. මේ දිනවල අපේ රටේ තිබෙන පරිසර ප්‍රශ්න අනුව එම තේමාව අපටම ගැළපෙන තේමාවක් බව කිව යුතු ය.
අපේ රටේ වනජීවී කලාපවල රක්ෂිත ප්‍රදේශවල පරිසර පද්ධති සවිබල ගැන්වීමට හා ප්‍රතිෂ්ඨාපනය පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහඟු වැඩපිළිවෙළක් රැසක් ක්‍රියාවට නංවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා පවසයි.
ඒ අනුව විශේෂයෙන් රම්සා සම්මුතිය මඟින් සුරකින ආනවිලුන්දාව රක්ෂිතයේ අක්කර 100 ක ප්‍රදේශයක කඩොලාන වවා එම පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු දැන් අරඹා ඇතැයි ද ඒ මහතා පවසයි.
![]() |
ඡායාරූප වමේ සිට පරිසර ඇමැති මහින්ද අමරවීර, ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දර, වනජීවී අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න, පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ, ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරන්ජන් කොඩිතුවක්කු
|
වේළී ගිය ඉස්සෝ කොටුවක් වගේ තිබුණු අක්කර 10 ක් දැන් සරු පරිසර පද්ධතියක් ලෙස දියුණු වෙලා. ඒක ඇත්ත වශයෙන් අලුත්ම පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අපේ රටේ වනජීවී විවිධත්වය සුරැකීමට විවිධ වැඩකටයුතු රැසක් සංවිධානය කර තිබෙනවා. නිතර කථා කරන අලි මිනිස් ගැටුම අවම කිරීමට අපි දැන් නවීන අයුරින් අලි මිනිස් වැට සකස් කරනවා. ඉස්සර තිබුණු අර්ත් කම්බිය හා කරන්ට් එක ගෙන යන කම්බි දෙක වෙනුවට දැන් කරන්ට් එක යන කම්බි 3 ක් අලි විදුලි වැටට හඳුන්වා දී තිබෙනවා. අලි විදුලි වැෙට් උස අඩි 3 කින් වැඩි කරලා තිබෙනවා. විදුලි වැටට අලින් ඒම බාධා කිරීමට දැලක් දමනවා. ඒ නිසා අලි මිනිස් ගැටුම් අවම වෙනවා.
ඊට අමතරව බූන්දල ජාතික උද්‍යානයේ තිබූ කළපු අන්දර හා පතොක් ශාක ඉවත් කළා. ඒ නිසා ඒ ප්‍රදේශවල තෘණ වර්ග හැදෙනවා. එවිට අලින්ට හොඳ පෝෂණයක් ලැබී අලි ගහනය වර්ධනය වෙනවා.
අද අපේ මිනිස් පරපුර විසින් ම කරන දේවල් නිසා වනජීවී කලාපවලට ලොකු ගැටලු ඇතිවෙලා. ඒත් ඒ ගැටලු අවම කරමින් අපේ රටේ සියලු පරිසර පද්ධති සුරැකීම අපි සිදුකරනවා.” වනජීවී අධ්‍යක්ෂ මංජුල අමරරත්න පවසයි.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හා පාරිසරික නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පවසන්නේ අපේ රටේ දැන් තිබෙන පාරිසරික විනාශකාරී තත්ත්වය අනුව අපේ රටේ පරිසර පද්ධති සවිමත් කළත් ප්‍රතිෂ්ඨාපනය කිරීම කළ නොහැකි බවයි.
යම් පරිසර පද්ධතියක් වැඩිපුර විනාශ වුණාට පස්සේ ඒක ප්‍රතිෂ්ඨාපනය කිරීම අපහසුයි. පරිසර පද්ධතියක් කියන්නේ අපේ ශරීර අවයවයක් වගේ එකක්. ලෝකය මනුෂ්‍යයකුට සමාන කළොත් අපේ ශරීරයෙත් තිබෙනවා විවිධ පද්ධති ගොඩක්. මේ එක පද්ධතියක්වත් විනාශ කරලා ආපසු ප්‍රතිෂ්ඨාපනය කරන එක හරි අමාරුයි. පුංචි පුංචි පැච් දාලා මොනවා හරි කළත් සියයට සියයක් එක වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේ ම පරිසර පද්ධති ගණනාවකින් තමයි මුළු ලෝකයම හැදිලා තිබෙන්නේ. ඒවා නැතිව අපට ජීවත්වෙන්න බැහැ. අද තිබෙන තත්ත්වය අනුව අපිට ජීවත්වීමට නම් අපේ පරිසරයේ තිබෙන පරිසර පද්ධති සියල්ලම සංරක්ෂණය කළ යුතුයි. නැත්නම් අපට ජලය, ආහාර හා පිරිසිදු වාතය නැතිවේවි. දැන් අප සියලු දෙනා කළ යුත්තේ තිබෙන පරිසර පද්ධති ඉතා හොඳින් ආරක්ෂා කිරීමයි.
මෙතෙක් කල් මේ පරිසර පද්ධති ආරක්ෂා කිරීම ජනතාව අතින් සිදුවී නැහැ. ඒ අතර අපේ සමහර දේශපාලනඥයෝ හා ඔවුන්ට උදව් කරන අය ඒ සඳහා කිසිම උනන්දුවක් දක්වා නැහැ. ඒ අය කරන්නේ පරිසර පද්ධති විනාශ කිරීමයි. මේ පරිසර පද්ධති විනාශය අපේ මිහිතලයට දරන්න බැරි තත්ත්වයක් බවට පත්වෙලා.
අපේ ශරීරයේ තිබෙන ආහාර, ශ්වසන, අස්ථි පද්ධති විනාශ වීම දිගටම සිදුවුවහොත් අපට ජීවත් වෙන්න බැරි වෙනවා; මැරිලා යනවා.
ඒ වගේ තමයි මිහිතලයේ තිබුණු සුවිශේෂී පරිසර පද්ධති විනාශ කරමින් යන විධියට ඒ පද්ධති පිටින්ම අපේ මිහිතලයත් මැරිලා යාවි; විනාශ වේවි.
අද අපේ රටේ සියලුම පරිසර පද්ධති විනාශ වෙමින් පවතිනවා. ජලජ, වෙරළ, වනාන්තර වැනි අපේ රටේ සියලු පරිසර පද්ධතිය විනාශයි. ඒවා යළි ගොඩ ගන්න අමාරුයි.
මෙයට ප්‍රධාන විසඳුම පරිසර පද්ධති සුරැකීමේ වැදගත්කම ජනතාවට අවබෝධ කර දීමයි. මේ දැනට තිබෙන පරිසර පද්ධති ඒ ආකාරයෙන්වත් ආරක්ෂා කළ නොගතහොත් මනුෂ්‍ය සංහතියට මේ ලෝකයේ පවතින්නට බැරි බව ජනතාවට අවබෝධ කරදිය යුතුයි. අද පවතින තත්ත්වය අනුව අපේ පරිසර පද්ධති අපි ආරක්ෂා කරගත යුත්තේ ඒවා ලස්සන නිසාවත් ඒවාට තිබෙන ආදරය නිසාවත් නොවේ.
අපිට තව ජීවත්වීමට නම් මේ පරිසර පද්ධති සුරැකිය යුතු නිසයි.
අපේ ජීවත්වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ජලය ආහාර ආදිය ලබාගැනීමට අපේ පරිසර පද්ධති ටික ආරක්ෂා කරගන්නේ කොහොමද කියායි දැන් සිතිය යුත්තේ. අපේ ජීවත්වීම පිළිබඳව සිතලා පරිසරය සුරැකීමේ කාලයයි මේ ඇවිල්ලා තියෙන්නේ.
දිගටම අපේ පරිසර පද්ධති විනාශ කිරීම සිදුවුවහොත් කවදාවත් මේ පරිසර පද්ධති ගොඩගන්න බැහැ. ඒ අනුව මේ රටේ පරිසරය සුරැකීමට තිබෙන මේ අන්තිම මොහොතේවත් අපි සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කොට පරිසර පද්ධති සුරැකීම කළ යුතුයි” නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පවසයි.
අපේ රටේ පරිසර බලධාරීන් සිදු කරන්නේ සංරක්ෂණය කළ යුතු ස්ථාන ප්‍රතිෂ්ඨාපනය කළයුතු ස්ථාන සුරැකීම වෙනුවට ජනප්‍රියවූ පාරිසරික සංරක්ෂණ කටයුතු පමණක් සිදුකිරීම බව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරන්ජන් කොඩිතුවක්කු පවසයි.
අද අපේ රටේ සංවේදී ජලාධර ප්‍රදේශ ආදිය ප්‍රතිෂ්ඨාපනය තබා සවිබල ගැන්වීමක්වත් සිදු කරන්නේ නැහැ. ඒ පිළිබඳව රජයේ වගකිව යුත්තන් හිටියත් පරිසර සංරක්ෂණයට සුදුසු විශේෂඥයන් අද මේ ක්ෂේත්‍රයේ නැහැ. සිදුවිය යුත්තේ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන් රටේ සංවේදී පරිසර කලාප ප්‍රතිෂ්ඨාපනයට කටයුතු කර පරිසරය සුරැකීමයි” ඔහු කියයි.
ජගත් පරිසර දිනය පිළිබඳව කරුණු දක්වන පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ පසුගිය වසර පුරා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය හා අනෙක් ආයතන එක්ව අපේ රටේ පරිසර පද්ධති සුරැකීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.
“ඒ අනුව අපි අපේ රටේ ගංගාවල් 103 සුරැකිමට ‘සුරකිමු ගංගා’ වැඩසටහන ක්‍රියාවට නැංවූවා. ඒ මඟින් අපේ ජලජ පරිසර පද්ධති සුරක්ෂිත වෙනවා.
ඊට අමතරව මෙරට වන ඝනත්වය වැඩි කිරීමට, නැකතට පැළයක් හා හුස්ම දෙන තුරු රුක් රෝපණ ව්‍යාපෘති අපි ආරම්භ කළා. ඒ අනුව දැනටමත් අපි රටේ සුවිශේෂී පුද්ගලයනට පැළ ලක්ෂ 2 ක් පමණ ලබාදී තිබෙනවා. ඊට අමතරව ‘නීතියක් නොවෙයි විනයක්’ සහ වැඩසටහන යටතේ ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු එකතු කිරීමේ වැඩසටහනක් අපි ආරම්භ කළා. ඒ වැඩසටහන් මඟින් රටේ පරිසර පද්ධති සුරැකීමට අපි කටයුතු කළා” ඇමැති මහින්ද අමරවීර පවසයි.
මෙවර ජගත් පරිසර දිනය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය මඟින් අලුත් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව ජූනි 5 – 6 දිනවලදී ‘පරිසරයට පැය 48 ක්’ නම් වැඩසටහන ක්‍රියාත්මක වන බව පරිසර ඇමැති මහින්ද අමරවීර කියයි. ඒ සමඟම ‘හුස්ම පොදයි - පරිසරයයි’ නම් වැඩසටහන මේ සමඟම ක්‍රියාත්මක වෙයි.
ඒ යටතේ 5 – 6 දිනවලදී තම නිවාස පරිශ්‍ර පිරිසිදු කර මෙරට ඩෙංගු රෝගය මර්දනය කිරීමට කටයුතු කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කරයි. මේ අයුරින් පරිසරය වෙනුවෙන් ඇප කැපවන අයට අපේ ස්තුතිය පිරිනැමිය යුතු ය.