
- රජයට අයත් පාඩු ලබන ආයතන රජයේ තියාගෙනම දියුණු කරනවා
- ‘රේස් කෝස්’ ගොඩනැඟිලි වගේ කොළඹ පැරණි ගොඩනැඟිලි සංරක්ෂණයට පියවර රැසක්
- ගරා වැටෙන කොළඹ බිල්ඩින් සංරක්ෂණය කර නඟා සිටුවනවා
- එක පැරැණි ගොඩනැගිල්ලක්වත් කාටවත් විකුණන්නේ නැහැ
මීට වසර 15 කට පමණ පෙර ගරා වැටී, තැනින් තැන ගස් පැළවී කපරාරුව ගැලවී, වහලයේ තහඩු කැඩී තිබුණු කොළඹ රාජකීය විදුහල අසල ‘රේස් කෝස්’ ගොඩනැඟිලි අද තත්ත්වයට පත් කළ හැටි පිළිබඳව අද සමහරුන්ට මතක නැත. ඒ සමඟම කොළඹ 7 ටොරින්ටන්හි තිබූ කවුරුවත් වැඩක් ගත්තේ නැති නඩත්තුවට ලක්ෂ ගණන් වැය වූ පැරණි ගොඩනැඟිලි අද ‘ආකේඩ්’ නමින් නවීන ඉහළ ප්‍රමිතියේ වෙළෙඳ මධ්‍යස්ථානයන් බවට පත් කළ හැටි මතක ටික දෙනාටය.
ඉහත ගොඩනැඟිලි මෙන් ම කොළඹ කොටුවේ තිබූ පෞරාණික වටිනාකමක් ඇති නමුත් ගරා වැටෙමින් හා වියදම් මිස ආදායමක් නැතිව තිබූ ගොඩනැගිලි රැසක් ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කර ඉන් රජයට ආදායමක් ලබා ගැනීමේ ඒ ව්‍යාපෘතිය 2005 – 2015 වකවානුවේ ආරම්භ කළේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් දුන් උපදෙස් අනුවය. එතුමාගේ අදහස් හා සැලසුම් අනුව ආරක්ෂක හමුදාවල ඉංජිනේරුවරුන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මේ ගොඩනැඟිලි අද තිබෙන සිත්ගන්නා සුලු තත්ත්වයට පත්වී ඇත.
එසේ වුවත් පසුගිය 2015 – 2019 ‘යහපාලන’ රජය සමයේ කොළඹ තිබෙන පෞරාණික ගොඩනැඟිලි පිළිබඳව කිසිම අවධානයක් යොමු කළේ නැත. එනිසා දැන් එන්න එන්නම ඒ සමහරක් පෞරාණික ගොඩනැඟිලි ගරා වැටෙමින් තිබේ.
ඒ සමඟම වර්තමානයේදී බරක්වී තිබෙන රාජ්‍ය ව්‍යාපාර රැසක් ද අපේ රටේ ඇත.
කොළඹ නගරයේ ඇති ගරා වැටෙමින් ඇති පෞරාණික ගොඩනැගිල්ලක් නැවත ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමෙන් පසු කුලියට දීමෙන් හා පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ද රජයට මුදල් උපයා ගත හැකි ය. ඒ රජයේ අයිතිය ද එලෙසින් ම තබා ගනිමින් එය ක්‍රියාත්මක විය යුතුය.
ඒ සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම අද කාලීන අවශ්‍යතාවකි. නැත්නම් ඒ පෞරාණික ගොඩනැගිලි කඩා වැටීමට වුව ද ඉඩ තිබේ. එමෙන් ම පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරවලින් ද දිගටම පාඩු ලැබීම ද අද තිබෙන තත්ත්වය මත රටේ ආර්ථිකයට පහරකි.
මෙයට සාර්ථක පිළියමක් ලෙස කොළඹ නගරයේ ගරා වැටෙමින් පවතින පෞරාණික ගොඩනැගිලි රජය යටතේ තබා ගනිමින් ඒවා සංවර්ධනය හා සංරක්ෂණය කිරීමට හා පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ‘සෙලෙන්දිවා’ නම් රජයට අයත් ආයෝජන සංවර්ධන සමාගමක් රජය විසින් පිහිටුවා තිබේ.
සෙලෙන්දිවා ආයෝජන සමාගම 100% ක් ම රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කෙරෙන සුවිශේෂී ආයතනයකි.
එම ආයතනය පිහිටුවූයේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කර එමඟින් රටට ආදායම් ලබා ගැනීමට හා කොළඹ ගරා වැටෙන වටිනා පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර එමඟින් ද ආදායමක් ලබාගැනීමට බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.බී. යාලේගම පෙන්වා දෙයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ රාජ්‍ය ව්‍යාපාර වාණිජමය වශයෙන් පවත්වාගත යුතු ව්‍යාපාර බවට පරිවර්තනය කර ගන්නා බවත්, ඒ සඳහා ලොව හොඳම භාවිතයන් සහ විචක්ෂණශීලී කළමනාකරණ උපක්‍රම යොදා ගනිමින් ලාභදායි ව්‍යාපාර බවට පත් කිරීම සඳහා ජාතික ව්‍යාපාර අධිකාරියක් ස්ථාපිත කරන බවටත් සඳහන් වේ.
සිංගප්පූරුවේ ‘තමාසෙක්’ ආයෝජන මොඩලය ආදර්ශයට ගෙන පිහිටවූ 100% ක් රජය සතු මෙම ‘සෙලෙන්දිවා’ සමාගම කොටස් 51% ක් රජයට ද කොටස් 49% ක් පෞද්ගලික අංශයටත් ආයෝජනය සඳහා විවෘත කර ඇත.
මේ වනවිටත් මහජනතාවට බරක්ව පවතින පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර සහ ඌන භාවිතයේ පවතින රාජ්‍ය දේපළ ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමේ අරමුණෙන් ඇති කළ මෙම සෙෙලන්දිවා ආයෝජන සමාගම මඟින් කොළඹ නගරයේ කිසිම ඉඩමක්, කිසිම පෞරාණික ගොඩනැගිල්ලක් විකිණීමට කටයුතු නොකරන බවත් රජය යටතේ ඒවා රටට ජනතාවට ලාභ ප්‍රතිලාභ ලැබෙන පරිදි සංවර්ධනය හා සංරක්ෂණය කරන බවත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඉංජිනේරුවෝ පවසති.
මහජනතාවටත් රජයටත්, රටටත් බරක්වී පවතින පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර සහ ඌන භාවිතයේ පවතින රාජ්‍ය දේපළ ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් ඇති කළ මෙම ‘සෙෙලන්දිවා’ සමාගම ආයෝජන කලඹවල් (Clusters) තුනක් යටතේ ක්‍රියාත්මක වෙයි.
කොළඹ කොටුව ආයෝජන කලඹ, නිශ්චල දේපළ ආයෝජන සංවර්ධන කලඹ සහ රජයට අයත් සත්කාරක අංශ ආයෝජන කලඹ ඒවා වේ.
‘සෙලෙන්දිවා’ ආයෝජන සමාගමේ විධායක නිලධාරි ශමාහිල් මොහිදින් පැවසුවේ මේ ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික ආයතන මඟින් මෙම ගොඩනැගිලිවල කුමන ආයෝජනයක් සිදු කළත් එහි පාලනය රජය යටතේ පවතින බවයි. ඒ අනුව මේ සියල්ලේ පරම අයිතිකරු රජයයි. සෙලෙන්දිවා ආයතනය ස්ථාපනය කිරීමේ පරමාර්ථය ඒවායේ මූල්‍ය ප්‍රතිසංස්කරණය සහ ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතු කර ඒවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ යටතේ ක්‍රියාත්මක වන වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණය නොකරමින් ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ලාභදායි ආයතන බවට පත් කරන බවයි. ‘සෙලෙන්දිවා’ සමාගම මේ ව්‍යාපෘතිය සඳහා දෙස් විදෙස් ආයෝජන එක් කර ගන්නේ මෙම පදනම මත පමණි.
මේ වැඩ පිළිවෙළ අමාත්‍ය මණ්ඩලය ද අනුමත කර ඇත.
අමාත්‍ය මණ්ඩල සංදේශයේ (2) 4 වගන්තියට අනුව රජයේ කොටස් අගය නිරතුරුවම 51% ප්‍රමාණයක් තබාගෙන පෞද්ගලික අංශයට නිරාවරණය කරන්නේ සියයට 49 ක් පමණයි.
මේ සියයට 49 කොටස් මොන ආයතනයට මොන පෞද්ගලික අංශයට ගියත් 49% තනිකරම එකම ආයතනයකට ගියත් ඒ ආයතනයේ පාලනය තියෙන්නේ රජයටමයි.
ඒ නිසා මේ දෙස් විදෙස් ආයෝජන එක්කරන ආයතනවල අයිතිය 100% ක් ම රජය සතුයි. ඒ කියන්නේ මෙයින් ප්‍රතිලාභ ලැබෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවටමයි.” සෙලෙන්දිවා ආයෝජන සමාගමේ විධායක නිලධාරි ශමාහිල් මොහිදින් පවසයි. මේ අතර ජවිපෙ දේශපාලනයට හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති චෝදනා කරන්නේ මේ සෙලෙන්දිවා සමාගම මඟින් කොළඹ නගරයේ තිබෙන පෞරාණික ගොඩනැගිලි අඩු මිලට පෞද්ගලික ව්‍යාපාරවලට ලබාදීමට රජය කටයුතු කරන බවයි.
ග්‍රැන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෆූර් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය, ග්‍රැන්ඩ් හයිට්
හෝටලය, මහ තැපැල් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා සීනෝර් ගොඩනැගිල්ල ඒ අතර ඇති බවද ඔව්හු සඳහන් කරති.
එසේ වුවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ බලධාරීහු පවසන්නේ මේ නව වැඩපිළිවෙළ යටතේ සිදු කරන්නේ 2005 - 2015 වකවානුවේ වත්මන් ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කොළඹ රේස් කෝස් ගොඩනැගිලි, ආකේඩ් උද්‍යානය හා කොටුවේ ගොඩනැගිලි ද ඒවායේ පෞරාණික බව සුරකිමින් හා ඒවායේ ප්‍රෞඪත්වය සුරකීමට තිබුණාටත් වඩා හොඳට ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කළාක් මෙන් දැන් කොළඹ ගරා වැටෙන පෞරාණික ගොඩනැගිලි ද ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි.
මෙහි ආයෝජකයන් අද්දවා ගන්නා ප්‍රමුඛ සාධකය වන්නේ ද එම ගොඩනැගිලිවල පෞරාණික බව බවත් ඒ අනුව එහි පෞරාණික බවට මේ කටයුතුවලදී කිසිම හානියක් සිදු නොවේ. ඒවා සුරැකීමට කැඩී බිඳී ගිය කැටයම් ගෘහ නිර්මාණ ශිල්ප තිබූ අයුරින් සදා සංරක්ෂණය කිරීමට ද මෙහිදී කටයුතු කෙරේ.
ඒ අනුව ’සෙෙලන්දිවා’ යනු බිල්ලෙක් නොවේ. එය අපේ ප්‍රෞඪත්වය හා ආර්ථිකය සුරකින තවත් සංරක්ෂණ හා ආයෝජන ව්‍යාපෘතියක් පමණි. ඉන් ප්‍රතිලාභය ලැබෙන්නේ රජයට පමණක් නොවේ. මුළු රටේම ජනතාවටය. අලුත් රැකියා ආයෝජන අවස්ථා රැසක් මේ නිසා බිහිවන බව ද බලධාරීහු කියති.
සේයා රූ සුදත් මලවීර