මින්නේ­රි­ රක්ෂිතයේදී මේජර් ජනරාල් කළ ‘අමුතුම මෙහෙ­යුම’ | සිළුමිණ

මින්නේ­රි­ රක්ෂිතයේදී මේජර් ජනරාල් කළ ‘අමුතුම මෙහෙ­යුම’

කැලේ අයිතිකරුවන් වන්නේ සතා සිවුපාවුන් හා ගහ කොළය. ඒවා සුරකින්නේ වනජීවී නිලධාරීන් හා වන සංරක්ෂකයන් ය. එසේ වුවත් යුද හමුදාවේ නිලධාරීන්ට මහ රෑ 10 – 11 කැලේට වාහනවලින් ගමන් කරමින් වනජීවී සංරක්ෂණයේ නිරතවීම පුදුම සහගත ය. සාමාන්‍යයෙන් ඔවුන්ගේ රාජකාරිය වන්නේ රටට ජනතාවට ආරක්ෂාව සැපයීමයි.

 

මෙවන් තත්ත්වයක් යටතේ වුව ද පසුගිය 25 වැනිදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලි පැටවුන් බහුල ඊරිගේඔය ප්‍රදේශයේ මේජර් ජනරාල්වරයකු ඇතුළු කණ්ඩායමක් රාත්‍රි 10 ට පමණ ගමන් කළේ මොන ආකාරයේ ‘වනජීවී මෙහෙයුම’කට දැයි දැන් ගැටලුවක් බවට පත්වී තිබේ. ඒ ගැටලුව තවත් උග්‍ර වී ඇත්තේ එම නිලධාරීන් හා සෙබළුන් විසින් පොළොන්නරු ප්‍රදේශයේ ක්‍රියාශිලී වනජීවී නිලධාරීන් දෙපළක් වන ඩබ්.එම්. වාසල හා කුමාරසිරි විජේකෝන් යන වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීන් ඇතුළු වනජීවී නිලධාරීන්ට ඔවුන් විසින් පහරදී පරුෂ වචනයෙන් බැණ ඔවුන්ගේ ජංගම දුරකතන හා වාහනවල යතුරු පැහැරගත් බවට හබරණ පොලිසියට කළ පැමිණිල්ල අනුවය.

පසුගිය මැයි 22 සිට මින්නේරිය ජාතික වනෝද්‍යානය හා අවට ප්‍රදේශවල වනජීවී ආරක්ෂාව යොදමින් වනජීවී නිලධාරීහු 40 දෙනෙක් පමණ මෙහෙයුමක් ආරම්භ කළේ එම ප්‍රදේශයේ සිටින අලි පැටවුන් හොරෙන් රැගෙන යාමේ අලි හොරකමක් පිළිබඳ තොරතුරු ලැබුණු නිසා ය.

මීට පෙර අලි හොරකම්වලට සම්බන්ධ වූ බවට සැකකරන පුද්ගලයෙකු හා බළන්ගොඩ ප්‍රදේශයේ අලි අප්පෝ කෙනෙකු හබරණ ප්‍රදේශයේ මාස 2 ක් නවාතැන්වල සිටින බවටත්, වන උයනේ සැරිසරමින් සිටින බවටත් ඔත්තු ලැබී තිබිණි.

දක්ෂ ප්‍රවීණ වනජීවී නිලධාරීන් දිවා රාත්‍රි අඛණ්ඩව මෙසේ රාජකාරියේ යෙදෙන විට 25 වැනිදා රාත්‍රි 10.30 ට පමණ මින්නේරිය ජාතික වනෝද්‍යානය ඊරිගේඔය මාර්ගය සැකකටයුතු වාහන දෙකක් පැමිණ ඇති අතර වනජීවී නිලධාරීන් ඒවා නැවැත්වීමට සංඥා කළත් අණ නොතකා ධාවනය කර ඇත.

ඒ ස්ථානයට ඉදිරියෙන් තිබූ මොරගස්වැව පොලිස් - යුද හමුදා - වනජීවි මුරපොළේදී ද ඒවා නැවැත්වීමට අණ කර තිබුණත් ඒවා නවත්වා නැත. එම වාහන හමුදා වාහන දෙකක් බව දැනගත් නිසා වහාම ඒ පිළිබඳව ගල්කුලම යුද හමුදා පොලිස් මුරපොළට ද වනජීවී නිලධාරීන් විසින් දන්වා ඇත‍. එසේ වුවත් කෙසේ හෝ හමුදා රථ දෙක නොනවත්වා අනුරාධපුර ප්‍රධාන යුධ හමුදා කඳවුරට ඇතුළු කර තිබේ. පසුව වනජීවී නිලධාරීන් ආපසු පැමිණෙන විට ඔවුන් පසුපසින් හමුදා වාහන කීපයක් ලුහුබැඳ ඇත.

පසුව හබරණ - පලුගස්වැව දී හමුදා කණ්ඩායමක් විසින් වනජීවී නිලධාරීන්ගේ මඟ හරස් කර නතර කරන්නට අණදී ඇත.

පසුව හමුදා නිලධාරීන් පිරිසක් ඔවුන් වටකරගෙන සිටින අවස්ථාවේ එක් ඉහළ නිලධාරීයෙක් ඉදිරියට පැමිණ අසභ්‍ය වචනයෙන් වනජීවී නිලධාරීන්ට බැණ පහරදී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ. ඉදිරියට පැමිණි නිලධාරියා තමා අසවල් සේනාංකයේ අධිපතිවරයා බව පවසමින් වනජීවී අඩවි ආරක්ෂක වාසලට පහරදී ඇතැයි වනසත්ව අඩවි සහකාර නිලධාරී වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් එම්.ඩබ්ලිව්.ජී. වීරසේන පවසයි‍.

සිද්ධිය සම්බන්ධව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පාලක භාතිය මඩුගල්ල විසින් හබරණ පොලිසියට පැමිණිලි ගොනුකර තිබේ.

මේ අතර යුද හමුදා පොලිසිය මඟින් ද මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරමින් පවතී. මේ අතර පසුගිය 30 වැනිදා කැකිරාව දිසා විනිසුරු මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා නියෝග කළේ වහාම මෙම යුද හමුදා ජනරාල්වරයා හා හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මේ අතර එම යුද හමුදා මේජර් ජනරාල්වරයා පසුගිය බ්‍රහස්පතින්දා හබරණ පොලිසියට බාරවූ බව වාර්තා විය. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කර ඇත.

මේ අතර මෙම හමුදා නිලධාරියා ප්‍රධාන සෙබළුන් කළ ක්‍රියාව පිළිබඳ ප්‍රබල විරෝධයක් දක්වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 11 ක් සම්බන්ධවී සිටින සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය ඉදිරි 5 – 6 දිනවලදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂිත බව වනසත්ව අඩවි සහකාර නිලධාරී වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්.ඩබ්.ජී‍. වීරසේන පවසයි.

“මේ සිදුවීමේදී මේජර් ජනරාල්වරයා හා සෙබළ පිරිස කළ ක්‍රියාව 1200 ක් පමණ වන සියලු වනජීවී නිලධාරීන් දැඩි ලෙස හෙළා දකිනවා. කෝවිට් -19 රෝගය උත්සන්නව පවතින මේ කාලයේ වුවත් පැය 24 ම සේවයේ යෙදී සිටිමින් පරිසරය සුරැකීමට මහඟු සේවයක යෙදෙන වනජීවී නිලධාරීන්ට ජාතික වනෝද්‍යාන තුළදීම සිදුවූ සිද්ධියකට පහරදීමක් යළි සිදු නොවිය යුතු දෙයක් ජාතික වනෝද්‍යානවල සතුන්ට ශාකවලට ආරක්ෂාව සැපයුම අපේ රාජකාරියයි. වනජීවී කලාප තුළදී වන සත්ව හා වෘක්ෂලතා පනත උල්ලංඝනය කරන වරදක් කළොත් තත්ත්වය තරාතිරම නොබලා නීතිය ක්‍රියාවේ යෙදවීමට අපට බලය තිබෙනවා.

එසේ වුවත් මේ හමුදා නිලධාරීයා ඇතුළු පිරිස එම නීති උල්ලංඝනය කිරීමෙන් නොනැවතී වනජීවීන් සුරකින ‍අපේ නිලධාරීන්ට පහර දීම අපි දැඩිව හෙළා දකිනවා‍.

එමෙන් ම අපේ සේවකයන් කෝවිඩ් - 19 මධ්‍යයේ වසර 1 ½ කට අධික කාලයක් සේවය කරන්නේ අපට එකම එන්නතක්වත් නැතුවයි. ඒ නිසා එම කෝවිඩ් එන්නත වහාම ලබාදෙන ලෙසත් බලය, තත්ත්වය යොදාගනිමින් ජාතික වනෝද්‍යානවලට බලෙන් ඇතුළුවීම හා වනජීවී නිලධාරීන්ට පහරදීම මින් ඉදිරියට සිදු නොවීමට පොරොන්දුවක් දීම අවශ්‍ය යැයි ද වීරසේන පවසයි.

මේ අතර සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පවසන්නේ “හමුදා නිලධාරීන් කළ මෙම ක්‍රියාව වැරැදි ක්‍රියාවක් බවයි. ඔවුන් නිවැරැදි නම් කළ යුතුව තිබුණේ අප පසුපස පැමිණීම නොවෙයි. අප ඔවුන් පසුපස යනවිට අපගේ රාජකාරියට ඉඩදීමයි. එහි සිටි හමුදා නිලධාරියා අපේ වනජීවී නිලධාරීන්ට කතා කර ඇති ආකාරය ඉතාම කනගාටුදායකයි. යළිත් එවැනි සිදුවීම් සිදු වන්නේ නැති බවට ඉහළ හමුදා නිලධාරීන් රටට පොරොන්දුවක් දිය යුතුයි. අතීතයේ තිබුණා මෙන් යුද හමුදාවට සැබෑ ගරුත්වයක් හා අභිමානයක් ජනතාව තුළින් ඉස්මතුවන්නේ එවිට පමණයි” ප්‍රභාෂ් කරුණාතිලක පවසයි.

Comments