කැලණි ගඟ හරහා කණු නැතිව ඉදිවූ ලංකාවේ පළමු එල්ලෙන පාලම | සිළුමිණ

කැලණි ගඟ හරහා කණු නැතිව ඉදිවූ ලංකාවේ පළමු එල්ලෙන පාලම

පේ අතීත ඉංජිනේරු ශිල්ප ක්‍රමවලට නව අරුතක් දෙමින් නවීන ඉංජිනේරු ශිල්ප ක්‍රම අනුව මෙරට ප්‍රථම වරට ගඟක් හරහා කණු නැතිව ඉදිවූ පෑලියගොඩ අලුත් කැලණි පාලමේ වැඩකටයුතු දැන් අවසන් වී තිබේ. අඩි 1200 ක දිගින් යුත් හා අඩි 70 ක පළලින් යුත් මේ අලුත් කැලණි පාලම හා ඒ ආශ්‍රිත ගුවන් පාලම අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම් සංකීර්ණ තව සති 6 ක් ඇතුළත ජනතා අයිතියට පත් කිරීමට සියලු වැඩකටයුතු යොදා ඇත.

 

මෙරට ඉදි කළ අධි තාක්ෂණික පිටතින් වැර ගන්වන ලද කේබල් 96 කින් එල්ලෙන ප්‍රථම පාලම වන පෑලියගොඩ අලුත් කැලණි පාලමේ ගං ඉවුරු දෙපස සිට ඉදි කරගෙන ආ කොටස් දෙක එකට එකතු කිරීම පසුගියදා සිදුවූ බව එම පාලම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර පවසයි.

මෙම ගං ඉවුරු දෙක හරහා ඉදිකිරීම් අවසන් කර පාලම සම්පූර්ණයෙන් යා කිරීම මෙරට පාලම් ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් බවත් එය මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රාජ්‍ය ඇමැති නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව පවසන්නීය.

අලුත් කැලණි පාලමේ වැඩ­ක­ට­යුතු දැන් අව­සන් වී ඇති අයුරු

“පෑලියගොඩ ප්‍රදේශයේ මේ දිනවල ඉදිවන්නේ මේ මහ අලුත් කැලණි පාලම ඉදිවීම් පමණක් නොවෙයි. එතැන සිට අලුත් අධිවේගී මාර්ග 3 ක් පටන් ගන්නවා. ඒ එක් එක් අධිවේගී මාර්ගවලට අලුත් කැලණි පාලමේ සිට බාධාවක් නැතිව ප්‍රවිෂ්ටවීමට අලුත් ගුවන් පාලම් හා කණු මත ඉදිවෙන මාර්ග රැසක් ඉදිවෙනවා. ඒ සියල්ල අලුත් කැලණි පාලම ව්‍යාපෘතියට සම්බන්ධයි. මේ ව්‍යාපෘතියේ සියලු වැඩ කටයුතු සියයට 97 ක් දැන් අවසන්.”

“මේ ව්‍යාපෘතිය සඳහා අපේ රටේ හා ජපානයේ ඉංජිනේරුවන් හා සේවකයන් කම්කරුවන් 400 ක් පමණ දිවි නොතකා වැඩ කළා. පාලමේ ඉවුරු දෙක අතර මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් කිරීම අපට ලොකු සතුටක්. ඒකට උදවු කළ ජනාධිපතිවරයාගේ සිට අපේ නිලධාරීන් හා සේවකයන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා” ව්‍යාපෘති අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර පවසන්නීය.

කොළඹ නගරයට ආසන්නව කැලණි ගඟ උඩින් දැනට ප්‍රධාන පාලම් 3 ක් ඇත.

මීගමුව හා මහනුවර සිට එන වාහන 113000 ක් පමණ සංඛ්‍යාවක් මේ කැලණි පාලම් ඔස්සේ එහා මෙහා ධාවනය වෙයි.

අලුත් කැලණි පාලමේ ගං ඉවුර දෙපස සිට කළ ඉදි­කි­රීම් අව­සන් කළ උත්ස­ව­යේදී එම ව්‍යාපෘ­තියේ ඉදිරි වැඩ­ක­ට­යුතු පිළි­බ­ඳව ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්ෂිකා වර­ලත් ඉංජි­නේරු දර්ශිකා ජය­සේ­කර විසින් මහා­මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පැහැ­දිලි කර­මින්. රාජ්‍ය ඇමැති නිමල් ලන්සා ද මෙහි සිටී.

මෙම වාහන තදබදය පිළිබඳව ගැටලුව මීට වසර 10 - 12 කට පෙර සිටම මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානයට යොමු විය. මොරටුව විශ්ව විද්‍යාලයේ විද්වතුන් කළ අධ්‍යයන අනුව යෝජනා වූයේ මෙම නව කැලණි පාලමට ඉහළින් හෝ සමාන්තරව අලුත් කැලණි පාලමක් ඉදිකිරීමෙන් මේ පෑලියගොඩ වාහන තදබදයට තිරසර විසඳුමක් ලබාගත හැකි බවයි.

ඒ අනුව 2014 දී එවකට මහාමාර්ග ඇමැති ලෙස සිටි එකල ජනාධිපති ධූරය දැරූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා එදත් අදත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්. රංජිත් ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීම මත කැලණි ග‍ඟේ මේ අලුත් කැලණි පාලම ඉදිකිරීම ඇරඹුණි. නමුත් ‘යහපාලන’ රජයේ අලස බව නිසා පාලම් ඉදිකිරීම ප්‍රමාද වූ බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. පසුව වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උනන්දුව මත යළි මෙම පාලමේ ඉදිකිරීම් වේගවත් වූ බවත් ඒ නිසා මේ අලුත් පාලම තව සති 6 කින් විවෘතවූ විට පෑලියගොඩ වාහන තදබදය අවම වී ගමනාගමනය ඉක්මන් වනු ඇති බවත් රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසයි.

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) හා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය මත ඉදිවන මෙම පාලමට අනුබද්ධව පෑලියගොඩ සිට රාජගිරිය හරහා අතුරුගිරියට විනාඩි 6 – 7 ක් ඇතුළත ගමන් කළ හැකි ය.

ඊට අමතරව මෙම ස්ථානයේ සිට වරාය නගරයට ඉදිවන අධිවේගී මාර්ගයෙන් විනාඩි 7 – 8 ක් තුළ වරාය නගරයට ගමන් කළ හැකි ය. ඒ සමඟම ‍ඔරුගොඩවත්තට මේ ස්ථානයේ සිට අධිවේගී මඟක් ඉදිවේ. ඒ අනුව මෙම අලුත් පාලම නිසා විනාඩි 20 – 25 ඇතුළත කොළඹ හා කටුනායක අතර ගමන් කළ හැකි ය. පාලම උඩින් මේ අධිවේගී මාර්ග බාධාවක් නැතිව ගමන් කරන අතර ඊට සුදුසු මාර්ග අන්තර් හුවමාරු ගුවන් පාලම් පද්ධතියකින් දැන් ඉදිවෙමින් පවතී.

අලුත් කැලණි පාලමේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර පවසන පරිදි මේ නව ව්‍යාපෘතිය සම්පූර්ණ වියදම රු. කෝටි 5300 කි. ඉන් රුපියල් 3100 ක් වැය වන්නේ පෑලියගොඩ ඔරුගොඩවත්ත ඉඟුරුකඩේ ප්‍රදේශවල වානේ කුලුනු මත ඉදිවන ගුවන් පාලම් හා අධිවේගී මාර්ග පද්ධතියටයි. ඒ සමඟම අලුත් නව තාක්ෂණික එල්ලෙන කැලණි පාලමේ ඉදිකිරීම් වලට රුපියල් කෝටි 1000 ක් වැය කර ඇත. ඉඩම් අත්පත් කර ගැනීම හා අන් ඉදිකිරීම් එහිදී ගෙවීම් ආදියට ද රුපියල් කෝටි 1200 ක් වැය කරන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව පවසන්නීය.

නව පාලම් ව්‍යාපෘති ප්‍රදේශය උඩු ගුවනේ සිට බැලූ විට පෙනෙන අයුරු.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ මෙම ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු තිලක් සෙනරත් පවසන පරිදි මෙහිදී කර ඇත්තේ 1959 ඉදිකළ නව කැලණි පාලමට ඉහළින් මිටර් 382 දිග මීටර් 21 ක් පළල මං තීරු 6 කින් යුත් අලුත් පාලමක් ඉදිකිරීමයි. “මෙහි විශේෂත්වය මේ පාලම ඉදිකිරීමේදී කැලණි ගඟ මත කිසිම කණුවක් ඉදි නොකිරීමයි. මෙම පාලම තනිකරම පිටතින් වැර ගැන්වූ තඹ කේබල් 96 ක් මඟින් එල්ලෙන්නයි හදලා තියෙන්නේ. මේ එක් කේබලයක් ඝනකම කම්බි 7 කින් සමන්විතයි. ඒ කේබල් 96 ගඟට පිටතින් ඉදිකර ඇති මීටර් 45 ක් උස කුලුනු ( ෆයිරන්) 4 කට සම්බන්ධ කර තිබෙනවා” ඔහු කීය‍.

මේ එක් කුලුනකින් කේබල් 24 ක් දෙපැත්තට එල්ලෙයි. එම කුලුන ග‍ඟේ මට්ටමේ සිට මීටර් 45 ක් උස අතර අලුත් පාලමේ සිට මීටර් 25 ක් උසකින් යුක්තය. කුලුනක විශ්කම්භය මීටර් 2 ක් වන අතර මෙවැනි ඉදිකිරීමක් මෙරට කළ මුල්ම හා ප්‍රථම අවස්ථාව ද මෙය බවද ඉංජිනේරු තිලක් සෙනරත් පවසයි.

“මේ පාලම භූමි කම්පාවලටත් ඔරොත්තු දෙන්නයි හැදුවේ. එක කේබලයක් කැඩුණත් පාලමට හානියක් නැහැ. මේ පාලම්වලට කියන්නේ පිටතින් වැර ගන්වන ලද පාලම් (එක්ස්ට්‍රා ඩොස්ච් - Extra – dosech) ලෙසයි. මේ පාලම් උස අඩු වුණත් ශක්තිය ඉතා වැඩියි. අඩු ගණනේ වසර 100 ක් පවතිනවා. දැන් පාලමේ ගං ඉවුරේ සිට ගඟ ඇතුළත ප්‍රදේශයට දෙපැත්තෙන් ආ සියලු ඉදිකිරීම් අවසන්. මුළු ව්‍යාපෘතියේම වැඩ කටයුතු තව සති 6 – 7 කින් අවසන් කරන්න පුළුවන්” ඉංජිනේරු තිලක් සෙනරත් පවසයි.

මේ පාලම් ව්‍යාපෘතියට සම්බන්ධව තවත් අරුම පුදුම ඉදිකිරීම් රැසක් ඇත‍. ඒ අනුව පෑලියගොඩ ඔරුගොඩවත්ත ඉඟුරුකඩේ ප්‍රදේශවල මේ දිනවල අමුතුම ආකාරයේ ගුවන් පාලම් හා අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී.

මේ අනුව අලුත් කැලණි පාලමේ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය අවසන් වන ස්ථානයේ සිට ඔරු‍ගොඩවත්ත දක්වාත්, කැලණිතිස්ස බලාගාරය අසල සිට ඉඟුරුකඩේ හන්දිය හරහා වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මං තීරු හතරක අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිවීම් දැන් අරඹා තිබේ. මේ පිළිබඳව කරුණු දක්වන ව්‍යාපෘතියේ එම කොටසේ ඉදිකිරීම් මෙහෙයවන අලුත් කැලණි පාලම් ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන අභයන්ත මහතා පවසන පරිදි මෙම අලුත් අධිවේගී මාර්ග කොටස තනිකරම වානේ කණු මත ඉදිකෙරේ.

“අපි ඒ සඳහා වානේ කණු රාමු 17 ක් උපයෝගි කරගන්නවා. මුලින් ම මෙහිදී කරන්නේ අලුත් කැලණි පාලමේ කොළඹ පැත්තට අවසන් වන ස්ථානයේ සිට (බණ්ඩාරනායක වට රවුම) පාර උඩින් ඔරුගොඩවත්ත දක්වා මුලින්ම වානේ කණු මත පමණක් අධිවේගී මාර්ග කොටසක් ඉදිකිරීමයි. ඒ කොටස මීටර් 425 ක් දිගයි. මං තීරු 4 ක් මෙහි තිබෙනවා. පළල මීටර් 20 ක් වන මෙය බේස්ලයින් පාරට මීටර් 5.2 ක් ඉහළින් තමයි ඉදිවන්නේ.

මෙම අධිවේගී මාර්ග කොටස පාලමක් ලෙස ඉදි වූවත් එය පසුව අතුරුගිරිය - රාජගිරිය - පෑලියගොඩ අධිවේගී මාර්ගයට සම්බන්ධවීමට නියමිතයි” ඉංජිනේරු අභයන්ත පවසයි.

මෙම පෑලියගොඩ - අතුරුගිරිය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ වූ අතර එහි දිග කිලෝ මීටර් 17 කි. පළල මීටර් 24 යි. මං තීරු 6 කි. මේ අනුව මෙම පෑලියගොඩ අලුත් කැලණි පාලම් ව්‍යාපෘතියට අනුබද්ධව මෙතෙක් අප නොදුටු විරූ ගුවන් පාලම් හා අධිවේගී මාර්ග පද්ධතියක් පෑලියගොඩ ඔරුගොඩවත්ත කැලණිය ප්‍රදේශයේ දැන් ඉදිවෙමින් පවතී. මෙහි සමහර මාර්ග මිටර් 20 ක් පළලය.

සමහර ගුවන් පාලම් හා මාර්ග ඉදිවන්නේ පහළ වත්මන් සාමාන්‍ය මාර්ගයේ සිට මීටර් 24 හෙවත් අඩි 80 ක් ඉහළින් ය. ඒ මෙම අලුත් පාලම් හා අලුත් අධිවේගී මාර්ග සම්බන්ධ වන අන්තර් මාර්ග හුවමාරුවේ අංග ලෙස ය.

ඉංජිනේරු චන්දන අභයන්ත පවසන පරිදි තවත් සුවිශේෂී මාර්ග හා පාලම් සංකීර්ණයක් ද මීට ඇතුළත් ය.

එය ඉදිවන්නේ කැලණිතිස්ස බලාගාරය අසල බණ්ඩාරනායක වට රවුමේ සිට ඉඟුරුකඩේ හන්දිය අවසානය තෙක්ය. එය දැනට පවතින මාර්ගයට මීටර් 5.2 ක් උසයි.

වානේ කණු මත ඉදිවේ. එහි පළල මීටර් 20 කි. පසුව එය වරාය නගරය හා කොළඹ වරාය සිට පෑලියගොඩට එන අලුත් අධි‍වේගී මාර්ගයට සම්බන්ධ වේ. එමඟින් පෑලියගොඩ සිට කොළඹ වරායට විනාඩි 4 – 5 ක් ඇතුළත ද කොළඹ වරාය නගරයට විනාඩි 6 – 7 ක් ඇතුළත ගමන් කිරීමට අවස්ථාව ලැබේ.

මේ සියලු අධිවේගී මාර්ග ගුවන් පාලම් අලුත් කැලණි පාලම් නිසා කටුනායකින්, වරාය නගරයෙන් හා අතුරුගිරියෙන් අධිවේගී මාර්ගවලින් එන වාහනවලට කිසිම නැවැත්වීමක් නොමැතිව ගමන් කිරීමට ඉඩ කඩ සැලසෙන බව ද එවිට පෑළියගොඩ දැන් අැති වාහන තදබදය නැති වන බව ද ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ඉංජිනේ‍රු දර්ශිකා ජයසේකර පවසන්නීය.

 

Comments