
අපේ රටේ තරුණ අසහනය පිළිබඳ පත් කළ කමිටුවල තීරණය අනුව අපේ රටේ තරුණ අසහනයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රැකියා විරහිත බවයි. වෘත්තීය නිපුණත්වයක් හෝ ව්‍යවසායකයෙක් වීමට යම් අවස්ථාවක් නොලැබීම හා අත්දැකීම් අඩුකම ද රැකියා විරහිත බවට හේතුවී ඇත. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ වත්මන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීම මත මෙරට තරුණ පරපුරේ උන්නතිය හා අනාගත සුරක්ෂිත බව ඇති කිරීමට තරුණ පරපුරේ රැකියා විරහිත බවට හා තරුණ අසහනය අවම කිරීමට වැඩකටයුතු රැසක් දැන් ක්‍රියාත්මක කර ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ පවසයි.
“ජාතික තරුණ සේවා සභාවේ අංශ ගණනාවක් මඟින් මේ වැඩසටහන් මෙහෙයවනවා. ඉන් ප්‍රධාන ව්‍යාපෘතිය වන්නේ දීප ව්‍යාප්තව තරුණ ව්‍යවසායකයින් 50000 ක් බිහි කිරීමයි. ඒ අනුව ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව ව්‍යාපාර වෙත ආකර්ෂණය කිරීමට හා ජාතික ආර්ථිකය සවිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50000 ක් බිහි කිරීමට Hope 4 Sri Lanka වැඩසටහන ආරම්භ කළා” සභාපති වික්‍රමසිංහ පවසයි.
“තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ගේ අදහසක් අනුව ක්‍රියාත්මක මේ Hope 4 Sri Lanka වැඩසටහන ඇමැතිතුමාගේ අධීක්ෂණය හා මෙහෙයවීම මත ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනවා” ඔහු කීය.
මෙරට තරුණ තරුණියන් 25000 කට වසරක් තුළ ඍජුවම රුපියල් ලක්ෂ 1 ½ කට ආසන්න මුදලක් වැටුප් ලැබිය හැකි විදේශ රැකියා ලබාදීම නාමල් රාජපක්ෂයන් මෙහෙයවන අනෙක් වැඩසටහනයි. විදේශ රැකියා සිහිනයෙන් සිහින ලොවක සිටින තරුණ තරුණියන් 75000 කට මේ යටතේ වසරක් ඇතුළත විදේශ රැකියා පුහුණුව ලැබෙන බවත් සභාපති දමිත වික්‍රමසිංහ පවසයි.
මේ පිළිබඳව විශේෂයෙන් සිළුමිණට කරුණු දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ පවසන්නේ තරුණ ව්‍යවසායකයන් 50000 සඳහා ඔවුන්ගේ නිපැයුම් විකුණා ගැනීමට නිස්කෝ සමූපකාරය යටතේ හා අනෙක් රාජ්‍ය ව්‍යාපාර මඟින් අවස්ථාව සලසා දෙන බවයි.
ඒ සමඟම සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම තරුණ තරුණියන් දෙදෙනෙක් සභාව මඟින් විදේශ රැකියාවලට යැවීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පවසයි.
රට පුරා තරුණ ව්‍යවසායකයන් 50000 ක් බිහි කිරීමේ වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වරටය. ඒ නිසා එය සුවිශේෂී වැඩසටහනකි.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ව්‍යාපෘති උපදේශක ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ප්‍රදීප් පෙරේරා පවසන්නේ මේ මඟින් දේශීය ආර්ථිකය ශක්තිමත් වන බවයි.” මේ සඳහා වයස අවුරුදු 18 – 45 අතර අයට ඉල්ලුම් කරන්න පුළුවන්. පිළිගත් අධ්‍යාපන සුදුසුකම් ඇති විශේෂයෙන් තමාගේම ව්‍යාපාරයක් පිළිබඳව උනන්දුවක් ඇති තරුණ තරුණියන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලැබෙනවා.” මේ සඳහා සුදුසු අය තේරීම සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමින්. රටේ දිස්ත්‍රික් සියල්ලම ආවරණය වන පරිදි පවත්වන දින 5 ක ව්‍යවසායකත්ව පුහුණුවකින් පසු තමයි සුදුසුම අය තෝරා ගන්නේ.
![]() |
විදේශ රැකියා වැඩපිළිවෙළ යටතේ තෝරාගත් තරුණයකුට ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ විසින් අදාළ වීසා පත් හා ලේඛන ලබාදුන් අවස්ථාව. |
“විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ ව්‍යවසායකයන් තම ව්‍යාපාර ආරම්භ කිරීමේදී ඔවුන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වෙළෙඳපොළ සොයා ගැනීම හා විවිධ ආර්ථික හා සාමාජික අවපාතයන්හිදී දිගටම ඍජු ලෙස තම ව්‍යාපාරය පවත්වා ගැනීම ආදිය පිළිබඳව අපි තරුණ තරුණියන්ට දැනුම නොඅඩුව ලබා දෙනවා.”
“මේ අලුත් ව්‍යවසායකයන්ට දැනුම හා මූල්‍ය අවශ්‍යතාව ඉටුකරදීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අපි සම්බන්ධ කර දෙනවා. ඒ අනුව හැටන් නැෂනල් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකා බැංකුව මේ සඳහා සියයට 4 – 5 වැනි වාර්ෂික සහන පොලිය මත මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට දැනටම සූදානම්.
මේ සියලු වැඩ කටයුතු සඳහා USAID ආයතනයට අනුබද්ධ YouLead ආයතනය අපිට මූල්‍ය හා උපදේශන සහාය දක්වනවා. මේ ව්‍යාපෘතියේ අතරමැදි පාර්ශ්වය ලෙසත් කටයුතු කරන්නේ YouLead ශ්‍රී ලංකා ශාඛාවයි. එය මඟින් Hope 4 Sri Lanka ව්‍යාපෘතිය හා සම්බන්ධ වන 50000 ක් පමණ වූ ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය පුහුණුව නොමිලේම ලබාදීමට කටයුතු කිරීම පැසසුම් සහගතයි. නව ව්‍යවසායකයන් ලබාගන්නා ණය මුදල් වෙනුවෙන් 60% ක ඇපකරයක් ද YouLead ආයතනය මඟින් ලබාදීමට අපට එකඟත්වය පළ කර තිබෙනවා.”
මේ වැඩසටහනේ සුවිශේෂී අපේක්ෂාව වන්නේ මෙම නව ව්‍යවසායකයන් මඟින් රටේ ආර්ථිකය ඉහළ නංවා අපේ රට ඇතුළත ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි කිරීමයි” ප්‍රදීප් පෙරේරා මහතා පවසයි.
මෙම ව්‍යවසායකත්ව පුහුණුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව පූර්ණ තාක්ෂණික සහාය හා උපදේශකත්වය ලබා දෙයි. මේ යටතේ මූල්‍ය සහන ලබාදෙන තරුණ ව්‍යවසායකයන් ආරම්භ කරනු ලබන ව්‍යාපෘතිය සාර්ථක ලෙස කරගෙන යන්නේ දැයි යන්න පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු නිරන්තරයෙන් වසර දෙකක් යනතුරු පූර්ණ අධීක්ෂණයේ යෙදෙති.
මෙම වැඩසටහන පසුගියදා ජාතික තරුණ සේවා සභාවේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී ව්‍යවසායකයන් කිහිප දෙනකුට හැටන් නැෂනල් බැංකුව මඟින් සහන පොලිය මත ණය මුදල් ප්‍රදානයන් සිදුවිය.
මේ අතර වසරකට තරුණ තරුණියන් 25000 කට විදේශ රැකියා ලබාදීමේ නව වැඩසටහන ද දැන් ඇමැති නාමල් රාජපක්ෂයන්ගේ උපදෙසින් ජාතික තරුණ සේවා සමාගම මෙහෙයවනු ලබයි. එම ව්‍යාපෘතිය පසුගියදා තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහරගමදී ආරම්භ විය.
වසරකට තරුණ තරුණියන් 25000 කට ඍජුවම විදේශ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව ‘සිළුමිණ’ ට කරුණු දැක්වූ එහි උපදේශක ජාතික තරුණ සේවා සමාගමේ සහකාර අධ්‍යක්ෂ (විදේශ සේවා) හර්ෂණ කුසුම්සිරි පවසන්නේ මේ වැඩපිළිවෙළ යටතේ වසරකට තරුණ තරුණියන් 40,000කට රට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන බවයි. එමඟින් අපේ රටට වසරකට රුපියල් ලක්ෂ 40000 කට අධික විදේශ විනිමයක් කෙළින්ම ලැබෙන බවත් ඔහු කියයි.
මේක සාමාන්‍ය විදියේ විදේශ රැකියාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් නෙමෙයි. මේ වැඩපිළිවෙළ අනුව අපි සිදු කරන්නේ ඒ සෑම ඉල්ලුම්කරුවකුට ඔවුන්ගේ අදාළ ක්ෂේත්‍රය අනුව ජගත් මට්ටමේ නිපුණත්වයක් පුහුණුවක් සමඟ ඉංග්‍රීසි ඇතුළු අදාළ රටවල භාෂා පිළිබඳ පුහුණුවක් දිස්ත්‍රික් මට්ටමින් ලබාදීමයි.
මුලින් ම මේ වැඩසටහනට එක් වසරක් සඳහා රටේ සෑම ගමකම පිහිටි යෞවන සමාජවලින් දෙදෙනෙක් බැඟින් තරුණ තරුණියන් 28024 ක් බඳවා ගන්නවා. ඊට පසු ඒ ඒ ප්‍රදේශවල සිටින NVQ සමත් තවම ස්ථිර රැකියා නැති අයත් අපි මේ සඳහා බඳවා ගන්නවා. ඒ යටතේ වසරකට 50706 ක් බඳවා ගැනීමටයි අපේක්ෂාව. ඔවුන් පිළිබඳව පරිගණකගත දත්ත පද්ධතියක් සකස් කරනවා. ඒ අනුව අප වසරකදී 78000 කට පමණ විදේශ රැකියා පුහුණුව දෙනවා.
මේ NVQ සමත් අය තම ගමේ යෞවන සමාජයේ සාමාජිකත්වය ලබාගත යුතුයි. ඊට අමතරව NVQ සමත් නැති යෞවන සමාජ සාමාජික සාමාජිකාවන්ට තමන් ඉල්ලන විදේශ රැකියා ක්ෂේත්‍රය අනුව ඉහළම වෘත්තීය පුහුණුවක් ලබාදෙනවා.
අපි මේ තරුණ පිරිසට ජාතික තරුණ සේවා සමාගම විසින් ක්ෂේත්‍ර 7 ක් පිළිබඳව වැඩමුළු පවත්වනවා. ඒ අනුව හෝටල් හා සංචාරක, නිෂ්පාදන හා සේවා, කෘෂිකාර්මික සංවර්ධනය, විදුලි කාර්මික හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර, වැඩිහිටි සත්කාරක සේවා හා පොදු වැඩසටහන් යන ක්ෂේත්‍ර පිළිබඳ ඉහත අයට වැඩමුළු පැවැත්වීමයි අරමුණ.
තෝරාගත් අයගේ දැනුම හා නිපුණතාව එමඟින් තවදුරටත් වර්ධනය කිරීම අපගේ අපේක්ෂාවයි.
ඊට පසු මේ තරුණ තරුණියන්ට භාෂා සන්නිවේදන ගැටලු හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව අපි අලුත් පුහුණුවක් හා උපදෙස් ලබාදෙනවා. ඊට අමතරව අදාළ ක්ෂේත්‍රයේ උපරිම නිපුණතාව ලබාදීමට ද ජාතික තරුණ සේවා සමාගම විවිධ කටයුතු රැසක් කරනවා. මේ වැඩමුළු දිස්ත්‍රික් 25 පුරාම මාස හයක් තුළ අවසන් කිරීමටයි අපේ අරමුණ.” සහකාර අධ්‍යක්ෂ හර්ෂණ කුසුම්සිරි පවසයි.
සියලු පුහුණුවීම් වැඩමුළුවලට සහභාගි කරවීම් ආදියට සාර්ථකව සහභාගිවන තරුණ තරුණියන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති රැකියා නියෝජිතයන් වෙත අදාළ සම්මුඛ පරීක්ෂණවලට යොමු කරනු ලැබේ.
“එමඟින් සමත්වන සියලු දෙනාට විදේශ රැකියා ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව විවිධ රටවලදී ඔවුන්ට එම විදේශ රැකියාව සඳහා රුපියල් ලක්ෂයක, ලක්ෂ 1 ½ ක වැටුපක් ගත හැකි රැකියා ලබාදීමට යෝජිතයි.
කෙසේ වුවත් මෙම විදේශ රැකියා ඒජන්සි සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වන අයවත් මෙම ව්‍යාපෘතියෙන් ඉවතට දමන්නේ නැහැ. ඔවුන්ටත් යළි නිපුණතා පුහුණුව හා භාෂා පුහුණුව ලබාදී යළිත් විදේශ රැකියාවලට යාමට අවස්ථාව ලබාදීම අපේ අරමුණයි. මේ අනුව මෙම ව්‍යාපෘතිය මඟින් වසරකට තරුණ තරුණියන් 40000 කට පමණ වසරක් තුළ දි විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට හැකිවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.” සහකාර අධ්‍යක්ෂ හර්ෂණ කුසුම්සිරි පවසයි. මේ යටතේ ප්‍රථමයෙන්ම රැකියා සඳහා රුමේනියාවට තරුණ තරුණියන් 200 ක් යවන අතර ඉදිරියේදී ජපානයට යුරෝපීය රටවලට හා මැද පෙරදිගට ද තවත් තරුණ තරුණියන් යැවීමට කටයුතු කෙරේ.
මේ වැඩසටහන් පිළිබඳව වැඩි විස්තර ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලය මඟින් හෝ දුරකතන අංක 0112165065 මඟින් ලබාගත හැකි ය.