
මේ ගෙවෙන්නෙ විසිඑක් වැනි සියවසේ තෙවැනි දශකයයි. ලෝකය දියුණුවේ හිණිපෙත්තටම ගමන් කරමින් සිටී. එහෙත් ඇතැමුන් තවමත් ජීවත්වන්නෙ නොදියුණු මානසිකත්වයකිනි. ඒ බව පිළිබිඹු වන්නෙ දින දින වාර්තා වන ඇතැම් සිදුවීම් නිසාවෙනි. උගත්කමෙන්, සමාජ මට්ටමෙන් කෙතරම් ඉහළ තලවල සිටියද මෙරට ඇතැමුන්ගේ මිථ්‍යා දෘෂ්ටික මත පසුපස හඹා යාමනම් නතර වී නොමැති බවකි.
පසුගිය කාලයේ කට්ටඩියන් පසුපස නැතිනම් දේවාල ගාණේ ගොස් වැඩ වරද්දා ගත්තවුන් එමටය. ඇතැම්හු ජීවිතයෙන් වන්දි ගෙවූහ. එහෙත් ඒ කිසිදු සිදුවීමක් ශ්‍රියානිට නම් වගේ වගක් නැත. ඇය දිනය ඇරැඹීමේ සිට අවසානය දක්වා සියල්ල තීන්දු කරන්නෙ ජ්‍යොතිෂඥයන්ගේ නැතිනම් කට්ටඩියන්ගේ මතයටයි.
කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය, නාහේන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ශ්‍රියානි 51 හැවිරිදි කාන්තාවකි. ගම්මු බොහෝ දෙනෙක් ඇයගේ දේවාල පසුපස නැතිනම් කට්ටඩියන් සොයා යෑම පිළිබඳව දැන සිටියහ. කොළඹ ප්‍රදේශයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයක සේවය කළ ශ්‍රියානි කළමනාකාර සහකාරිනියක් ලෙස රාජකාරි කළාය.
සත්සරණි, ශ්‍රියානිගේ දියණියයි. පවුලේ එකම දරුවා වූ සත්සරණි කුඩා කාලයේ සිටම ගත කළේ කෙළිලොල් දිවියකි. පවුලේ එකම දරුවා නිසා ඇයට දෙමාපියන්ගෙන්ද එතරම් තාඩන-පීඩන එල්ල වූයේ නැත. ඉගෙනීම් කටයුතුවලද මනා ලෙස නියැළෙමින් සිටි මනා රූ සපුවකින්ද හෙබි සත්සරණි මීට වසර පහකට පමණ පෙරදී හිරිමල් යොවුන් වියට පා තබමින් 18 වැනි වියට එළැඹෙමින් සිටියාය.
එම කාල සමයේදී දිනක් සත්සරණි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට යමින් සිටියාය. ඇයට එහිදී මුණ ගැසුණේ කසුන්ය. සත්සරණි මෙන්ම කඩවසම් තරුණයෙක් වූ කසුන්ද යොවුන් වියට පා තබමින් සිටියේය. දෙදෙනාගේ හමුව අනතුරුව දෙදෙනාටම හොර රහසේ පෙම් සබඳතාවක්දක්වා දුරදිග ගියහ. දිනක් සත්සරණි ඇගේ පෙම් හුටපටය ගැන මවට කීවේ,
"අම්මෙ මං දන්න කෙනෙක් ඉන්නවා... එයාගේ නම කසුන්... කසුන් හරිම හොඳයි... මං කසුන්ව කසාද බඳින්න කැමැති..."
හිටිහැටියේම දියණිය පැවැසූ දෙයින් ශ්‍රියානි තුෂ්ණිම්භුත වී ගියාය. ඇයට උන්හිටි තැන් අමතක වූවාය.
"මොන කසාදද... උඹ තාම ඉගෙනගන්න ළමයෙක්නේ... උඹගේ කලවයස ආවම ඒව මම හොයලා බලලා කරලා දෙන්නම්... හැබැයි මගෙන් නම් ඕවට කිසිම සමාවක් ලැබෙන්නෙ නෑ..."
එහෙත් සත්සරණිගේ තීරණය වෙනස් කිරීමට ශ්‍රියානිට හැකි වූයේ නැත. ඇය දියණියගේ එම පෙම් හුටපටය නතර කිරීමට නොගිය දේවාලයක් නැත. සත්සරණිගේ හිතුවක්කාර විවාහයට ශ්‍රියානි දැඩි විරෝධයක් පළ කළාය. කෙසේ හෝ සත්සරණි සහ කසුන් විවාහ වී පැමිණියේ සත්සරණිලාගේ මව විසූ හුණුපිටිය, නාහේන නිවෙසටයි.
සත්සරණි සිය එකම දරුවා හෙයින් ශ්‍රියානි දැඩි සේ අසරණ වූවාය. ඇය දියණියගේ සැමියා කසුන් සමඟ පසු වූයේ දැඩි වෛරයකිනි. ශ්‍රියානිට කසුන් 'වහකදුරු' මෙන් වූවාය.
කාලය හැලහැප්පිලි මැද කෙමෙන් ගෙවිණි. දිනක් ශ්‍රියානි තම ජීවිතයට කඩාපාත් වූ හෙණ ගෙඩියක් බඳු විපත පිළිබඳව දැනගැනීමේ අටියෙන් නිතර යනඑන සුපුරුදු කපුවෙක් හමුවීමට ගියාය. ඇය කපුවාගෙන් බොහෝ සේ විමසූවේ පොරොන්දම් නොබලා සිදු කළ දියණියගේ විවාහයේ අනාගතය පිළිබඳවයි. එදින කපුවා කියා සිටියේ,
"නෝනා... දුවගේ විවාහය අන්තිම නරක විදිහටයි වෙලා තියෙන්නෙ... පෙන්නුම් කරන විදිහටනම් දුවගේ ජීවිතයටත් අනතුරක් වෙන්න පුළුවන්... හැබැයි එවැනි අනතුරක් පෙන්නුම් කරන්නෙ දුව ගැබ් ගැනීමත් සමඟින්..."
"අනේ කපු මහත්තයා ඒ කියන්නෙ... මට තේරෙන්නෙ නෑ..." ශ්‍රියානි නිම්හිම් නොමැතිව විමසන්නට වූවාය.
"මෙහෙමයි... දුවට අවුරුදු 24යි මාස 10ක් යනකල් දරුවෙක් බිහිකරන්න සුදුසු නෑ... ඊට ඉස්සෙල්ලා එහෙම දෙයක් වුණොත්... සමහරවිට ඒ දරු ප්‍රසූතියේදී දුව හෝ උපදින්න ඉන්න දරුවා ආන්ත්‍රා වෙන්න පුළුවන්..."
"අනේ අපොයි... මගේ කෙල්ල... කරගත්ත වින්නැහියක්..." ශ්‍රියානිට කියැවුණේ එපමණකි.
ඇය කපුවා කියූ දේ සිත්හි තබාගෙන නිවෙසට පැමිණියාය. ශ්‍රියානි ඒ පිළිබඳව කිසිවකුටත් කෙලපිඬක් හැළුවේ නැත. දිනපතා රැකියාවටද යන-එන ශ්‍රියානි පසුගිය කාලයේ දැඩි සෝදිසියකින් පසු වූවාය. ඒ දියණිය කිසියම් හෝ මොහොතක ගැබ් ගනිවිදැයි බියෙනි.
එහෙත් මවගේ ශාස්ත්‍රය අනාවැකිය පිළිබඳව දියණිය හාංකවිසියක් දැන නොසිටියාය. ඉකුත් දිනෙක වසර පහක පමණ විවාහ දිවිය ඔපවත් කරමින් සත්සරණි සහ කසුන්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් සත්සරණි කුලුඳුල් දරු උපත සඳහා ගැබ් ගත්තාය. එහෙත් ඇයට වයස අවුරුදු 23 කි.
දියණිය ගැබ්ගෙන ඇති බව දැනගත් ශ්‍රියානි දෙලෝ රත් වූවාය. කසුන් සහ සත්සරණි වෙනදාටත් වඩා සතුටින් සාමිචියේ කල්ගත කරමින් සිටියේ නුදුරේදී පැමිණීමට නියමිත තුන්වැන්නා පිළිබඳ ඇඟිලි ගනිමිනි.
එහෙත් ශ්‍රියානි, සත්සරණිට සහ කසුන්ට හොර රහසේ උප්පරවැට්ටියක් යොදමින් සිටියේ දියණියගේ දරු ගැබ විනාශ කිරීම වෙනුවෙනි.
දිනය පසුගිය 15 වැනිදායි. කසුන් පාන්දරම නිවෙසින් බැහැරට ගියේය. එදින ශ්‍රියානි රැකියාවට යන දිනක් වුවත් ඇය රැකියාවට නොයාමට තීන්දු කළේ 'අද නම් මගේ වැඩේට හොඳම දවස' යැයි සිතමිනි. එදින දහවලේ නිවෙසට පැමිණියේ නුපුරුදු වෑන් රථයකි. එහි පුද්ගලයන් දෙදෙනෙක් සිටියහ. ඔවුහු සත්සරණිට නම් ආගන්තුකයන් වූහ. එහෙත් මව ශ්‍රියානි නම් එම පිරිස හොඳින් දැනහඳුනන බව වැටහීමට සත්සරණිට ගත වූයේ නිමේෂයකි.
එක්වරම ක්‍රියාත්මක වූ පැමිණි දෙදෙනා සහ ශ්‍රියානි ගැබිනියක වන දියණිය එම වෑන් රථයට බලහත්කාරයෙන්ම නංවාගෙන රැගෙන යන්නට වූහ. සත්සරණිට කිසිවක් කරකියාගත නොහැකි වූවාය. යන්නෙ කොහේද කින්ද-මන්ද කිසිවක් නොදත්හ.
"අම්මෙ කොහේද මේ මාව අරන් යන්නෙ... ඇයි මට මෙහෙම කරන්නෙ... " එහෙත් ඒ කිසිදු පැනයකට ශ්‍රියානිගෙන් සත්සරණිට පිළිතුරු නොලැබුණාය.
පැය ගණනක ගමනකින් පසු රථය නතර වූයේ කෑගල්ල ප්‍රදේශයේ එක්තරා නිවෙසක් ඉදිරිපිටයි. ඒ වන විටත් තම බිරියට වූ අකරතැබ්බය පිළිබඳව හාංකවිසියක් කසුන් දැන සිටියේ නැත. කෑගල්ලෙ නිවෙසට රැගෙන ආ සැණින් සත්සරණිට ශ්‍රියානි කිසියම් ඖෂධ පෙත්තක් දෙමින්,
"මේක ඉක්මනට බීපන්..."
"මේ මොනවද... මට එපා..."
"බීපන්... නැත්නම් මං පොවන්න ඉස්සෙල්ලා..."
අනතුරුව ශ්‍රියානි බලහත්කාරයෙන්ම සත්සරණිට එම පෙති දින හතරක පමණ කාලයක් එම නිවෙසේ රහසිගතව රඳවා ගෙන පොවන්නට වූවාය.
ශ්‍රියානි දියණියගේ දරුගැබ විනාශ කිරීමේ අටියෙන් එම ඖෂධ පෙති ලබාගෙන තිබුණේ වත්තල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයකිනි.
දියණිය බලහත්කාරයෙන් කෑගල්ලට රැගෙන යාමට පෙරදී එම ඖෂධ ලබාගත් ශ්‍රියානි ඒවා සඟවා තබාගෙන තිබුණාය.
කසුන් ඒ වන විටත් තම බිරියට සහ ඇගේ මවට වූයේ කුමක්ද යන්න හතර අතේ සොයමින් සිටියේය. ඒ වන විටත් සිදුව තිබුණේ ඔහු සිහිනෙකින්වත් නොසිතූවකි.
කෑගල්ලේ පාළු නිවෙසක දින පහක් පමණ සත්සරණි රඳවාගෙන වුන් ශ්‍රියානි දිනක් එම නිවෙසෙන් බැහැරට ගියේ යමක් රැගෙන ඒමටයි. එම අවස්ථාව එන තෙක් සත්සරණි හොරගල් අහුලමින් සිටියාය. ඇය ක්ෂණයෙන් නිවෙසෙන් පලා ගියාය.
කෑගල්ල නගරයට පැමිණි සත්සරණි දුරකථන ඇමැතුම්හලකට ගොස් ඇමැතුමක් ගෙන කසුන්ට සියල්ල පැවැසූවාය. කසුන් එම කතාවෙන් තුෂ්ණිම්භුත විය.
"ඔයා කොහේවත් යන්න එපා... කෑගල්ල නගරෙටම වෙලා ඉන්න... මං ඉක්මනටම එන්නම්..."
කසුන් වහා කෑගල්ලට ගියේය. සත්සරණි සොයාගත් ඔහු නැවතත් පැමිණියේ ගම් ප්‍රදේශය වන කිරිබත්ගොඩටයි. දෙදෙනා කතිකා කරගත්තෙ එම අපරාධය පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමටයි.
"අපි යමු පොලිසි... මොනතරම් අපරාධයක්ද කරන්න හදලා තියෙන්නෙ... අම්ම කෙනෙක් කරන දේවල්ද..." කසුන් සත්සරණිට කීහ.
ඒ අනුව දෙදෙනා මුලින් පැමිණියේ පෑලියගොඩ පොලිස් ස්ථානයටයි. එහෙත් සිදුවීම වූ නිවෙස අයත් වූයේ කිරිබත්ගොඩ පොලිස් වසමට හෙයින් දෙදෙනා යොමු කෙරුණේ කිරිබත්ගොඩ පොලිසිය වෙතයි.
කිරිබත්ගොඩ පොලිසියට පැමිණි දෙදෙනා සිය මව විසින් කරන්නට වූ අකරතැබ්බය පිළිබඳව සඳහන් කරමින් පැමිණිල්ලක් සටහන් කෙරිණි.
එම පැමිණිල්ලට ක්‍රියාත්මක වූ කිරිබත්ගොඩ පොලිස් නිලධාරින් දියණිය පැහැර ගැනීම සහ දරු ගැබ විනාශ කිරීමට අදාළව එම දියණියගේ මව අත්අඩංගුවටගෙන ගැනිණි. මිථ්‍යා දෘෂ්ටික මතවල එල්බ සිටින ශ්‍රියානිලා වැනි කාන්තාවන් නිසාත් එවැනි අය නොමඟ යවන හොර කපුවන් නිසාත් සමාජයට සිදුවන්නෙ පිරිමැසිය නොහැකි අගතියකි.