
පසුගිය 'යහපාලන' රජය ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිමවද්දී ඇතැම් ව්‍යාපෘති අතරමග නවතා දැමුනේ මහජන මුදල් රුපියල් කෝටි ගණනින් වියදම් වූවායින් පසුවය. වැලිගම නගරයේ ඉදිවූ මුලස්ථාන පොලිසියේ ගොඩනැගිල්ල ද එලෙස කෝටි ගණනක් මුදල් වියදම් කර ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘතියකි.
1971 තරුණ කැරැල්ලේදී පොලිස් ස්ථාන අල්ලා ගැනීම සඳහා සන්නද්ද අරගලයක් දියත් කළ ද එදා කැරලිකරුවන්ට පොලිස් ස්ථාන අල්ලා ගැනීමට නොහැකි විය. එහෙත් අද වන වන විට ඉදිකිරීම් නවතා ඇති වැලිගම නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල කුඩුකාරයින් විසින් ඔවුන්ගේ තිප්පොළක් බවට පත්කරගෙන ඇත්තේ කිසිදු කරදරයකින් තොරවය.
වැලිගම මුලස්ථාන පොලීසිය එතෙක් පවත්වාගෙන ගිය ගොඩනැගිලි ඉවත් කොට නව ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2017 වසරේ ජනවාරි මාසයේදීය. ඒ එවක පොලීසිය භාර ඇමතිවරයාව සිටි සාගල රත්නායකගේ මූලිකත්වයෙනි. සියලු පහසුකම් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ව්‍යාපෘතියේ අරමුණ විය. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කිරීමත් සමඟ මූලස්ථාන පොලිසිය වැලිගම පරණ ගාලු පාරේ වෙනත් ස්ථානයකට ගෙන ගියේය. පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා මසකට රුපියල් ලක්ෂයක ගෙවීමක් සිදු කරනා බවය.
නව ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් ක්‍රියාත්මකවී වහලය දක්වා ඉදිකිරීම සිදුකර කොන්ත්‍රාත්කරු විසින් එහි ඉදිකිරීම් අතරමග නවතා දැමීමත් සමඟ අද වන විට එය වල්වැදී ඇත්තේ විවිධ අකටයුතුකම් සඳහා ද යොදා ගනිමිනි. ගොඩනැගිල්ලේ විදුලි පද්ධතියේ විදුලි රැහැන් ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විසින් කපාගෙන ගොස් ඇති බවක් දක්නට ඇති අතර එලෙස රැගෙන යන ලද විදුලි රැහැන් තැන තැන දමා ගොස් ඇති ආකාරයක් ද අවට භූමිය පරීක්ෂා කිරීමේදී දක්නට ඇත.
“වැලිගම මූලස්ථාන පොලීසිය සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කළේ අපේ රජය යටතේ බව හැබෑව. අපි ඒකට ආරම්භක අවස්ථාවේ රුපියල් ලක්ෂ නවසියයක් වෙන් කළා. මගේ මතකයේ හැටියට පසුව තවත් දෙසීයක් වෙන් කළා. අපේ අරමුණ වුණේ දකුණු පළාතේ පහසුකම් සහිත හොඳම පොලිස් ස්ථානයක් ලෙස වැලිගම ගොඩනගන්නයි. ඉදිකරණ ගොඩනැගිල්ලට සියලු පහසුකම් දෙන්න සැලසුම් කර තිබුණා. අපේ රජය පරාජයවී බලයෙන් ඉවත්වූ පසු ඒ පිළිබඳ අපි සොයා බැලුවේ නෑ. ඉදිකිරීම් සිදුවිය යුත්තේ වත්මන් රජය යටතේයි. දැන් සිදුවී තිබෙන ප්‍රමාදය අපරාධයක්”
වැලිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව පැවසීය.
වැලිගමට දැඩි අවශ්‍යතාවයක් වන මෙම ගොඩනැගිල්ල විශාල මුදලක් වියදම් කර ඉදිකිරීම් අතරමග අතහැරදමා තිබීම රජයේ මුදල් අපතේ හැරීමකි. එමෙන්ම අද වන විට වැලිගම පොලීසිය පවත්වාගෙන යාම සඳහා යොදාගන්නා ගොඩනැගිල්ලට මාසිකව රුපියල් ලක්ෂයක් ගෙවීමට සිදුවීම පිළිබඳව ද සිතා බැලිය යුතු කරුණකි.
![]() |
සරත් වීරසේකර අමාත්‍යවරයා ගොඩනැගිල්ල පරීක්ෂාකරමින් |
“මෙම ගොඩනැගිල්ල වැලිගමට අත්‍යාවශ්‍ය එකක්. මෙහි ඉදිකිරීම් අතරමග නවතා දැමීම පිළිබඳ හා එය කඩිනමින් ඉදිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව මම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට දන්වා එතුමා මාතරට පැමිණි දිනක මෙම ස්ථානයට කැඳවාගෙන විත් පෙන්වූවා. ඇමතිතුමා ඒ මොහොතේ පැවසුවේ මෙහි ඉදිකිරීම් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. මම ඒ පිළිබඳ පසුවිපරමක් ද සිදු කළා. මෙම ගොඩනැගිල්ල මෙම තත්ත්වයෙන් නොතියා ඉක්මණින්ම වැඩ අවසන් කර පොලීසියේ පරිහරණයට දීම අත්‍යාවශ්‍යයි. මම ඒ වෙනුවෙන් හැකි සෑම මොහොතකම උනන්දුවෙනවා. පෙනී සිටිනවා”
වැලිගම ප්‍රාදේශී සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ පැවසීය.
වැලිගම නගර සභාවේ අභිනව නගරාධිපතිනිය ලෙස 29 දින වැඩ භාරගත් යමුනා පුංචිහේවා මෙලෙස පැවසුවාය.
“මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තබන අවස්ථාවට සාගල රත්නායක ඇමතිතුමා සමඟ මමත් සහභාගී වුණා. ආරම්භක අවස්ථාවේ සිට මෙහි ඉදිකිරීම් හොඳට ක්‍රියාත්මක වුණත් අද වන විට මුදල් හිඟතාවක් නිසා එහි ඉදිකිරීම් අතරමග නතර කිරීමට සිදුව ඇති බව තමයි මට ආරංචි. මම වැලිගම නව නගරාධිපතිණිය ලෙස වැඩ බාරගත්තට පසු මගේ වගකීමක් තමයි නගරයේ ජනතාව ගැන වගේම පොදු දේපොළ හා වටිනා ස්ථාන පිළිබඳ සොයාබලා කටයුතු කිරීම. ඒ වාගේම නගර සභා බලප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න අවම කිරීමට කයුතු කිරීම. ඒ අනුව මම කඩිනමින් මෙම ගොඩනැගිල්ලට සිදුවී ඇති දේ ගැන සොයා බලා අදාළ අංශ සමඟ සාකාච්ඡා කර ඊට අවශ්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා”
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමග නවතාදමා තිබීම හේතුවෙන් දුරබැහැර සිට වැලිගම පොලීසියේ සේවයට ස්ථාන මාරු ලැබ පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාගැනීම සඳහා පන්සල් වෙත යාමට සිදුව ඇත. පොලීසිය බාර අමාත්‍යවරයා වූ සරත් වීරසේකර පසුගිය මාර්තු මස හත්වැනි දින මෙම ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ මේ වන විට මාස හතරක් ඉක්ම ගිය ද තවමත් ඉදිකිරීම් අතරමග නවතාදැමූ ආකාරයෙන්ම දක්නට නැත.
“රාලහාමිලා නවාතැනක් හොයාදෙන්න කියාගෙන පන්සල් වලට යනවා. ඉතින් හැමදාම ඒ අයට නවාතැන් හොයාදෙන්න කියා ගමේ මිනිස්සුන්ට කියන්න ස්වාමීන්වහන්සේලාට බෑනේ. දුරබැහැර සිට මේ අය එන්නේ අපේ ප්‍රදේශයට සේවය කරන්න නේ. ඒ නිසා විහාරාධිපති ස්වාමීන්වහන්සේලා පුළුවන් විදියට පන්සලේ ඒ අයට ඉන්න ඉඩ දෙනවා” නම සඳහන් කිරීමට අකමැතිවූ ප්‍රදේශවාසියකු පැවසුවේය.
ගොඩනැගිල්ලේ ඉදිරිකිරීම් අතරමග නවතා දැමීම සම්බන්ධයෙන් කළ විමසුමේදී පොලිස් මූලස්ථානයේ ගොඩනැගිලි කොට්ඨාසයේ ප්‍රකාශකයකු මෙලෙස පැවසුවේය.
“මෙරට කොරෝනා ආරම්භවී එය ව්‍යාප්තවීමත් සමඟ ඇතිවූ ඇතැම් අපහසුතා හමුවේ කොන්ත්‍රාත්කරු විසින් මෙහි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබෙනවා. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් බොහෝමයක් දැනටමත් සිදු කර තිබෙන නිසා ඉතිරි ඉදිකිරීම් සිදු කිරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු කිරීමේ කටයුතු ඉදිකිරීම් උපදේශක ආයතනය විසින් සකස්කරමින් තිබෙනවා. එය නිමවු පසු ඉතිරි ඉදිකිරීම් ආරම්භ කරනවා”
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට තව තවත් කල්ගතවීම තුළ ගොඩනැගිල්ලට තවදුරටත් හානි සිදුවුවහොත් ඉතිරි ඉදිකිරීම් සඳහා දැනට සකස්කරමින් පවතින බව කියන ඇස්මෙන්තු මුදල් ද ප්‍රමාණවත් නොවිය හැකි බැවින් යළිත් ඒ සඳහා ද මුදල් වෙන්කර ගැනීමට තවත් කාලයක් ගතවනු ඇත. එය ද අද වන විට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බූදය හමුවේ කාලය ගතවීමට ඉවහල්වන්නක් බැවින් මේ කෙරෙහි අදාළ අංශ වල කඩිනම් අවධානය යොමුවිය යුතුව ඇත.