
ජනතාව අතර කෙලී මහරාජ ලෙස ප්‍රකට රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන්ගේ අභාවය ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට ඔහුගේ මාධ්‍ය ව්‍යාපෘතීන්ට කැමති අකමැති සියලු දෙනා අවිවාදයෙන් පිළිගනී. කෙනකුගේ පෞද්ගලික මතය කුමක් වුවද රාජමහෙන්ද්‍රන් මහතාගේ ආකල්පයක් යටතේ මහරාජා සමුහ ව්‍යාපාර ආරම්භ කළ සිරස මාධ්‍ය ජාලය ජනප්‍රියත්වයේ උච්චස්ථානයටම පිවිසියා පමණක් නොව එමගින් දුන් පුර්වාදර්ශයන් සෙසු මාධ්‍යජාල මගින්ද අනුකරණය කිරීම එහි සාර්ථකත්වය පිළිබඳ පැහැදිලි උදාහරණයකි.
1943 දී උපන් රාජාමහේන්ද්‍රන් තරුණ වියේදිම ව්‍යාපාර කටයුතු වලට පිවිසි අතර ඔහුට වයස 23ක් වු විට ඔහුගේ පියා වූ මහරාජා නිර්මාතෘ සින්න තම්බි රාජේන්ද්‍රන්ගේ අභාවයට පසුව එම සමාගමේ ප්‍රධාන විධායක බවට පත් විය. 1977 විවෘත ආර්ථිකයත් සමඟ විවිධාංගීකරණය තුළින් ශීඝ්‍ර වර්ධනයක් මහරාජා සමාගමට අත් විය. එහෙත් එයට බලගතුම අභියෝගයක් එල්ල වුයේ 1983 කළු ජුලියේදී සමාගම් ගොඩනැගිලි ගණනාවක් විනාශයට පත් වූ බැවිනි. දාමරික වාර්ගික අන්තවාදීන් විසින් ව්‍යාපාර ස්ථාන ගිනිබත් කර සතියක් තුළදී තම අධ්‍යක්ෂවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවූ රාජමහේන්ද්‍ර, “මහරාජා සමාගම ෆිනික්ස් පක්ෂියා මෙන් අළුමතින් යළි නැඟී සිටිය යුතු ” බව පැවසීය. එම ප්‍රකාශය සත්‍ය බව ප්‍රකාශ කරමින් නව ව්‍යාපෘති වලට එළැඹි එම සමාගම 1991 දී සිංගප්පුරු ටෙලිකොම් සමාගම සමඟ හවුල් වී MTV සමාඟම පිහිටු වීය. දෙවසරකට පසු එම්. බී. සී. සමාගම තුළින් සිරස සහ YES FM ගුවන්විදුලි නාළිකාද දෙවසරකට පසු සිරස සහ MTV රූපවාහිනි නාළිකා ද ආරම්භ කෙරුණි.
එම නාලිකා තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගුවන් විදුලියට හා රූපවාහීනියට එතෙක් පැවති එකාධිපතිකාරය බිඳ හෙළීමට පමණක් නොව ඉතාමත් කෙටි කලක් තුළදී රටේ ජනප්‍රියම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය බවට පත් වීමට හැකි විය. නිවේදක නිවේදිකාවන්ගේ කතා විලාසය මෙන්ම සමහර වැඩසටහන්වල සංයුතිය එතෙක් පැවති සම්ප්‍රදායන් කඩාගෙන ඉදිරියට යෑම සමහරුන්ගේ විවේචනයට ලක් වුවද වැඩි කාලයක් යෑමට පෙර අලුතෙන් බිහි වූ පුද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනි නාළිකාද පමණක් නොව අවසානයේදී රාජ්‍ය නාළිකාද සිරසේ ක්‍රමවේද අනුකරණය කරන්නට විය. එම නව්‍ය සම්ප්‍රදාය දැන් යළි ආපස්සට හැරවිය නොහැකි ලෙස ස්ථාවර වී අවසන්ය.
රාජමහේන්ද්‍ර සිරස තුළින් ගෙන ආ මෙම නව්‍ය සම්ප්‍රදාය පළමුව තරුණ තරුණියන් අතර ක්‍රමයෙන් ජනප්‍රිය වූ අතර පසුව ක්‍රමයෙන් මධ්‍යම පාන්තික වැඩිහිටි පරම්පාරව වෙතට ද ආකර්ෂණය විය. සිරස ආරම්භයේදී රාජමහේන්ද්‍රන් සිංගප්පුරුවේ රූපවාහිනි සේවා ක්‍රමවේද හදාරමින් එවා ක්‍රියාත්මක කිරීමට දක්ෂ නිෂ්පාදකයකු වූ නිමල් ලක්ෂපතිආරච්චි ද තරුණ පෙළ අතර ක්ෂණික ආකර්ෂණයට ලක් වූ පාසල් වයසේ කෘතහස්ත නිවේදක නිවේදිකාවන් වූ කිංස්ලි රත්නායක, තමාලි පීරිස්, සුරංගී ද අල්විස්, කැලුම් ශ්‍රිමාල් ආදීන් ද මහජන සම්බන්ධතා සහ වාණිජ කටයුතු සඳහා මහේන් පෙරේරා (පසුව ස්වර්ණවාහීනි රූපවාහීනි විධායක) රේනෝ ද සිල්වා (පසුව හිරු නාළිකා පුරෝගාමි විධායක) ආදීන්ද බඳවා ගෙන ඉතාමත් කෙටි කාලයක දි ජනතාවගේ හදවත් වලට පිවිසෙන මාධ්‍ය ක්‍රමවේදයක් ස්ථාපිත කළේය.
සිරස ප්‍රවෘත්ති ආරම්භ කිරීමට තීරණය කළ අවස්ථාවේදී එහි ප්‍රථම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වීමට මට අවස්ථාවක් ලැබුණි. සිංගප්පුරු ජාතික විධායක අධ්‍යක්ෂ පැවැත් වූ මුලික සම්මුඛ පරික්ෂණවලට පසු අවසන් තීරණය සඳහා අප තිදෙනකු රාජමහේන්ද්‍රන් වෙතට යොමු කෙරුණි. මා ප්‍රථම වරට ඔහු හමු වු අවස්ථාවේදී මා තෝරා ගතහොත් මට ඉතාමත් කෙටි කලකදී රටේ ජනප්‍රියතම ප්‍රවෘත්ති නාළිකාව බවට සිරස පත් කළ හැකි බව මා කියා සිටියේ එවකට පැවති රජයේ එ්කපාකෂික ප්‍රවෘත්ති ප්‍රචාරය කළ සේවා සමඟ තරග කිරීම අපහසු නොවන බැවිනි.
“පූර්ණ මාධ්‍ය නිදහසක් කියා දෙයක් තිබේද?” කියා ඔහු ප්‍රශ්න කළේය. එවැන්නක් නොමැති බව මා පිළිගන්නා බවත් මා අදහස් කළේ ‘මහරාජා ව්‍යාපාරයේ සමාගම්වල හානිකර කටයුතු ගැන යම් ප්‍රවෘත්තියක් ලැබුණොත් එය පළ කිරීමේ නිදහස ගැන නොව දේශපාලන වශයෙන් සම්පූර්ණ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් සිරස ප්‍රවෘත්ති සේවයේ අපක්ෂපාතීත්වය පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟීම පිළිබඳ මාධ්‍ය නිදහස’ යැයි මා පැවසීය.
ඒ අනුව මට කිසිම බලපෑමකින් තොරව ප්‍රවෘත්ති කරගෙන යෑමට අවසර ලැබුණ අතර 1996 මහ බැංකුවට එල්ල වූ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය, කොලොන්නාවේ තෙල් ටැංකියට එල්ල වූ ප්‍රහාරය ආදි සිදුවිම් වලදී එම ස්ථානවලටම ගොස් අශෝක ඩයස් (දැනට සිරස ප්‍රධානි), මෙනෙල් ෆර්නැන්ඩස් (දැනට අල් ජසීරා නියෝජිතවරිය), කුල ශ්‍රී කාරියවසම් (දැනට දිනපතා අරුණ කර්තෘ) ආදීන් ඉදිරිපත් කළ ජිවමාන තොරතුරු ජනතාවගේ අතිශය ආකර්ෂණයට ලක් විය. රාජමහේනද්‍රන්, ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස මගෙන් ඉල්ලා සිටියේ එකම අවස්ථාවක දී පමණි. ඒ ඔහු හඳුනන පුජකතුමකුට එල්ල වූ චෝදනාවක් ඔප්පු වනතුරු ප්‍රවෘත්ති වලට ඇතුළත් නොකරන ලෙස කළ ඉල්ලීම පමණි.
සිරසේ දී මාධ්‍ය නිදහස හා මාධය මර්දනය ගැන දැඩි කතිකාවතකට අනපේක්ෂිත ලෙස එක් වීමට සිදු වූයේ ප්‍රවෘත්ති පරිවර්තනයේ දී හදිසි නිතීය පැනවීම වෙනුවට ඇඳිරි නිතීය පැනවූවා යැයි වූ අත්වැරුද්ද නිසාය. දවල් 12.30 ප්‍රවෘත්ති ප්‍රචාරයේ දී සිදු වූ මෙම වරද මිනිත්තු 7ක් තුළ නිවැරදි කළ නමුත් එදා පැවැති රජය පුද්ගලික අංශයේ මාධ්‍ය මර්දනය සඳහා මෙය උපයෝගී කර ගත් නිසා අර්බුදයක් පැන නැඟුණි.
මා සමඟ සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයාත්, නිවේදිකාව සහ නිවේදකයාත් පොලිසිය විසින් කාර්යාලයේ දී ප්‍රශ්න කළ අතර, ඉහළින් පැමිණි නියෝගයක් මත මා සමඟ මාධ්‍යවේදී රංජන් අමරසිංහව පොලීසියේ සී.අයී.ඩී යට ගෙන ගොස් දින 2ක් ප්‍රශ්න කිරීමෙන් පසු උසාවියට ඉදිරිපත් කෙරුණි. රජයේ ප්‍රබලයකු වූ මංගල සමරවීර ඇතුළු පිරිසක් පෞද්ගලික මාධ්‍යයට පාඩම් ඉගැනීම සඳහා දින 14ක රැඳවීම් නියෝග මත අප දෙදෙනාව තබා ගත යුතු බව යෝජනා කළ නමුත්, ඇමතිවරුන් දෙපළක් වූ මහින්ද රාජපක්ෂයන් සහ එවකට මාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකයන් එයට තදින් විරෝධය දැක් වූ බැවින් රජයේ උත්සාහය ව්‍යර්ථ විය. සිරසේ එදා පැවති ප්‍රවෘත්ති වල අපක්ෂපාතීත්වය බව ඔප්පු වූයේ පක්ෂ භේදයකින් තොරව රජයේ ඇමතිවරුන් මෙන්ම දිනේෂ් ගුණවර්ධන, කුමාර පොන්නම්බලම්, ජයලත් ජයවර්ධන, වාසුදේව නානායක්කාර, ඩී.ව්. ගුණසේකර මෙන්ම කතෘ සංසදය ඇතුළු මාධ්‍ය සංවිධාන සියල්ල සිරස ප්‍රවෘත්ති තහනම් කිරීමේ නියෝගයට විරුද්ධ වීමෙනි. මා ප්‍රසිද්ධියේ වරද ගැන වගකීම බාර ගනිමින් සිරසෙන් ඉල්ලා අස් වූ බැවින් රජයට ප්‍රවෘත්ති තහනම ඉවත් කර ගැනීම හැර වෙන විකල්පයක් නොවීය. එබැවින් සිරස ප්‍රවෘත්ති අංශයේ සියලු දෙනාගේම රැකියා සුරක්ෂිත විය.
මා ඉල්ලා අස්වුවද සිරස අධිපති රාජමහේන්ද්‍රන් සිරස ප්‍රවෘත්ති සේවය පිහිටුවීමේ මෙහෙවර අගය කරමින් හය මසක වේතන වන්දි වශයෙන් ලබා දුන්නේ ඔහුගේ මානුෂීය ගුණධර්ම පිළිඹිඹු කරමින්ය.
එහෙත් මා සිරසෙන් ඉවත් වී බොහෝ කලකට පසුව රාජමහේන්ද්‍රන් සිරස ප්‍රවෘත්ති කෙළින්ම සියතට ගත් බව නොරහසකි. ඔහු සිය දේශපාලන අරමුණ මත ‘රජුන් තැනීමේ න්‍යාය පත්‍රය’ සඳහා සිරස මාධ්‍ය ජාලය පාවිච්චි කළ බව ද ඇත්තකි. ප්‍රවෘත්ති තදින් පාලනය කළ බව ද නොරහසකි.
එහෙත් ඔහු සිරස තුළින් ජනතා ප්‍රශ්න ඉදිරිපත් කිරීම, කවර රාජ්‍ය බලපෑමක් තිබුණද, දිගටම කරගෙන යාමට අවසර දී තිබුණි. සිරස මාධ්‍ය තුළින් අතිදක්ෂ මාධ්‍යවේදීන් ගණනාවක් බිහි කිරීමේ ගෞරවය ද රාජමහේන්ද්‍රන් ට හිමි වේ.
ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වු රාජමහේන්ද්‍ර මාධ්‍ය කේෂත්‍රයේ නොමැකෙන ලකුණක් තැබු බව අවිවාදයෙන් පිළිගත හැකිය. හින්දු භක්තිකයකු වූ රාජමහේන්ද්‍රන්ට එම දහමේ විශ්වාසයන්ට අනුව විමුක්තිය අත්වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
(මෙම ලියුම්කරු සිරස ආයතනයේ සමාරම්භක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාය.)