බල උණෙන් බන්ධ­නා­ගා­ර­යේ­දීත් රඟන රිෂාඩ් | සිළුමිණ

බල උණෙන් බන්ධ­නා­ගා­ර­යේ­දීත් රඟන රිෂාඩ්

 

රිෂාඩ් බදුර්දීනගේ වැඩකිඩ ගැන අටුවාටීකා කීමට අවශ්‍ය නොවේ. සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් තරම් පසුගිය කාලයේ කතාබහට ලක්වූ මන්ත්‍රීවරයෙක් නොමැති තරම්ය. ඒ බොහෝ කතාබහ ඔහුගේ හොඳ වැඩ ගැන නොව සිදු කරන ලද නොහොබිනා වැඩ ගැනයි.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන් පිළිබඳව ගෙවී ගිය සතියේ නැවතත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූයේ මන්ත්‍රීවරයා විසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට කරන ලද මැර තර්ජනයක් හේතුවෙනි. වෛද්‍ය ප්‍රියංග ඉඳුනිල් පුපුලේවත්ත නමැති එම වෛද්‍යවරයා විසින් පසුගිය 15 වැනිදා කොළඹ මැගසින් බන්ධනාගාර ඖෂධ ශාලාවේදී රැඳවියන් පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරමින් අවැසි සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා දෙමින් රාජකාරියේ නිරතව සිටියේය. එම අවස්ථාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසාවෙන් වෛද්‍යවරයා වෙත රෝගීන් කැඳවා තිබුණේ නිසි ක්‍රමවේදයකට අනුවයි. එහෙත් එම ක්‍රමවේදයෙන් පරිබාහිරව රැඳවියකු වෛද්‍යවරයා සිටි කාමරයට ගොස් තිබුණේය. එම අවස්ථාවේ වෛද්‍ය ප්‍රියංග විසින් නිසි ක්‍රමවේදයකට රෝගීන් පරීක්ෂා කරන බවත් තමාගේ වාරය පැමිණෙන තෙක් පිටත රැඳි සිටින ලෙස එම රැඳවියාට දැන්වීය. ඒත් සමඟ එම රැඳවියා වෛද්‍යවරයාට බැණ තර්ජනය කරන්නට වූයේය.

“උඹ ලොකු දොස්තර කෙනෙක්ද... මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට මෙතැනට ගෙන්වාගන්න පුළුවන්. මගේ වැඩ කරන්න තමුසේ ඕන නෑ... තමුසේ දන්නෙ නැද්ද මං මොකක් කරලද ආවේ කියලා... තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්... පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්... තමුසේ වැඩිය දැඟලුවොත් එළියෙ පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළුවෙලා තියෙයි... ඒක හොඳට දැනගන්නවා... එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහත් ළමයින්ට තාත්තත් නැතිවෙයි... තමුසෙ දැනගන්නවා මම රිෂාඩ් බදුර්දීන් බව...“

එලෙස තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ වෛද්‍ය ප්‍රියංගගේ පැමිණිල්ලෙ වැඩිදුරටත් සඳහන් වී තිබුණේ,

“මට පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙනවා... ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා... උඹෙ ආයු කාලය කෙටියි. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතැනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්...“

එලෙස තර්ජනාත්මක ස්වරූපයෙන් බැණ වදිමින් ඔහු රිෂාඩ් මන්ත්‍රීවරයා යැයි පවසන තෙක්ම වෛද්‍යවරයා එම රැඳවියා කවුරුන්ද යන්න දැන නොසිටි බව වෛද්‍යවරයා පවසා තිබේ. මන්ත්‍රීවරයා මුව ආවරණයක්ද පැලඳ සිටි හෙයින් වෛද්‍යවරයාට ඔහුව නිසි පරිදි හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නැත.

රිෂාඩ් මන්ත්‍රීවරයා සිදු කළ එම මැර තර්ජනය නිසාවෙන් තමාගේ සහ තම පවුලේ ආරක්ෂාව පතා වෛද්‍ය ප්‍රියංග විසින් එසැණින් බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය වෙත ලිඛිතව පැමිණිලි කර තිබුණේය. අනතුරුව ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය විසින් ඒ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවටද ලිඛිතව පැමිණිලි කළාය.

ඒ අනුව රිෂාඩ් මන්ත්‍රීවරයාගේ මැර තර්ජනය පිළිබඳව වෛද්‍යවරයා විසින් පසු දින එනම් 16 වැනිදා වැලිකඩ පොලිසියට පැමිණිලි කළත් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ බන්ධනාගාරය බල ප්‍ර දේශය අයත් පොලිස් වසම වන බොරැල්ල පොලිසියට බව සැලවීමත් සමඟ වෛද්‍යවරයා විසින් පසුගිය 21 වැනිදා බොරැල්ල පොලිසියටද තමාට එල්ල වූ මැර තර්ජනය පිළිබඳව පැමිණිලි කෙරිණි.

අනතුරුව බොරැල්ල පොලිසියට ලැබුණු එම පැමිණිල්ල ගැන වැඩිදුර විමර්ශනය සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයද එක්කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දනගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇනස්ලම් සිල්වා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් විසින් පසුගියදා වෛද්‍ය ප්‍රියංගද කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ සටහන් කැරගත්තේය. එහිදී රිෂාඩ් මන්ත්‍රීවරයා විසින් වෛද්‍යවරයාට සිදුකරන ලද මැර තර්ජනය පිළිබඳව බොහෝ තොරතුරු ඔහු විසින් අනාවරණය කැරිණි.

කෙසේ හෝ සිදුවීම වූ මොහොතේ වෛද්‍යවරයාගේ සහායට තවත් රැඳවියකු සහ බන්ධනාගාර නිලධාරියකුද ඒ අසල සිටි බවකි. එම ස්ථානයට පැමිණි වෙනත් බන්ධනාගාර නිලධාරින් තිදෙනකු විසින් රිෂාඩ් බදුර්දීන් එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් තිබුණේය.

එලෙස වගකිවයුතු රාජකාරියක නිරත රාජ්‍ය නිලධාරියකුට බැණ තර්ජනය කිරීමට තරම් රිෂාඩ් මන්ත්‍රීවරයාට තිබෙන ‘හයිය‘ කුමක් ද? මන්ත්‍රීවරයකු වූ පළියට එලෙස රාජ්‍ය නිලධාරින්ට බැණ තර්ජනය කිරීමට හැකියාවක් තිබේද? නැතිනම් ඔහුට මානසික ආබාධයක් තිබේද යන්න වහා සොයා බැලිය යුතුය.

මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් පසුගිය 23 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කෙරිණි. ඒ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක සඳහන් කෙළේ එම මැර තර්ජනය සහ අපහාසාත්මක බැණ වැදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර බන්ධනාගාර අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන්ද පරීක්ෂණයක් සිදු කරන බවයි.

මේ අතර වෛද්‍ය ප්‍රියංගට බැණ තර්ජනය කිරීමෙන් පසු රිෂාඩ් මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක රඳවා තැබීමට බන්ධනාගාර පරිපාලනය විසින් කටයුතු කර ඇති බව සැල වේ. එසේම එම සිදුවීම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහකාර බන්ධනාගාර අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද විමර්ශන කටයුතු අවසන්ව ඇති බවත් එහි වාර්තාව සාක්ෂි මහේස්ත්‍රාත්වරයකුගේ මූලිකත්වයෙන් බන්ධනාගාරයේ පැවැත්වෙන බන්ධනාගාර විනිශ්චය සභාවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එමඟින් තීන්දුවක් ගැනීමට නියමිතව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පැවැසීය.

කෙසේ හෝ එම පරීක්ෂණවලට අදාළව මේ වන විට මැගසින් බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන්ද ඇතුළුව 13 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ අතර රිෂාඩ් මන්ත්‍රීවරයා සහ අදාළ වෛද්‍යවරයාද වේ.

රිෂාඩ් බදුර්දීන් බන්ධනාගාරගතව සිටින්නෙ පසුගිය අප්‍රේල් මස 24 වැනිදා අලුයම 3ට පමණ බෞද්ධාලෝක මාවත සිය නිවෙසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. පසුගියදා ඉෂාලිනි දැරිය පිලිස්සුණු එම නිවෙසේදී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනුණේ පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ එම පිරිස් සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. එදින රිෂාඩ් සමඟ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගෙන පැය 72ක අධිකරණ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කෙරුණු දෙදෙනා අප්‍රේල් 27 වැනිදා සිට දින 90 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණය අවසර දුන්නේය. ඒ අනුව ඔහු පසුගිය ජුලි මාසයේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඊට පෙරද රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා 2020 ඔක්තෝබර් 19 වැනිදා අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙහිවල, මහල් නිවෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තේය. එවර ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට එතරම් පහසු නොවූයේ මන්ත්‍රීවරයා දින හයක පමණ කාලයක් සැඟවී සිටි හෙයිනි. එදින මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ජනපතිවරණයේදී මහජන මුදල් අවභාවිත කිරීමක් පිළිබඳව වූ පැමිණිල්ලකට අනුවයි.

රජයට අයත් රුපියල් 95,02,960ක මුදලක් දේශපාලන ව්‍යාපෘතියකට යොදවා අවභාවිත කළේ යැයි මන්ත්‍රීවරයාට එරෙහිව 2019 දෙසැම්බර් 20 වැනිදා දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අක්මීමන දයාරත්න හිමියෝ පොලිසියට පැමිණිලි කළහ.

එම පැමිණිල්ල පිළිබඳව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ රිෂාඩ් බදුර්දීන් විසින් 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ජනපතිවරණයේදී මෙකී මහජන මුදල් අවභාවිත කර ඇති බවයි. ඔහු විසින් ජනපතිවරණයට පෙර දින එනම් නොවැම්බර් 15 වැනිදා සිය අමාත්‍යාංශයෙන් ඒසා මුදල් කන්දරාවක් ගෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 222ක් වෙන් කරවාගෙන පුත්තලමේ වෙසෙන අවතැන්වූ ජනයා 1,16,00ක ප්‍රමාණයක් මන්නාරම, සිලාවතුර ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීමට රැගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල විණි. එලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින්ද තොරව මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව පිළිබඳව පොලිසිය විසින් එවකට සිටි නීතිපති දප්පුලද ලිවේරාට කරුණු වාර්තා කෙරිණි. අනතුරුව නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී තිබිණි.

එවර අත්අඩංගුවට පත් රිෂාඩ් 2020 දෙසැම්බර් 11 වැනිදා ඇප මත නිදහස්ව පැමිණියේය. මේ අතර රිෂාඩ්ගේ බෞද්ධාලෝක මාවතේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදී පිලිස්සී මියගිය දැරියගේ නඩු විභාගයද ගෙවුණු සතියේ 22 වැනිදා අධිකරණය හමුවේ විභාග විණි. එදින එම නඩුවේ දැනට අත්අඩංගුවේ පසුවන රිෂාඩ්ගේ බිරිය, මාමණ්ඩිය, මස්සිනා සහ තැරැව්කරුවා යන සැකකරුවන් සිවුදෙනාට අමතරව පස්වන සැකකරු ලෙස රිෂාඩ් බදුර්දීන්ද නම්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළාය. ඒ අනුව එම නඩු විභාගය පැවැත්වීමට නියමිත ලබන 6 වැනිදා රිෂාඩ් මන්ත්‍රීවරයාද එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යමෙක් වරදක් කර තිබේ නම් ඊට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුමය. බන්ධනාගාරගතව සිටියදීත් තමන්ගෙ තරම පෙන්වීමට දඟලන රිෂාඩ්ලාගේ ඉරණම කෙලෙස විසඳේවිද යන්න සැවොම බලා සිටී.

 

Comments