කොළඹ දිදුලවන කේබල් පාලම | Page 4 | සිළුමිණ

කොළඹ දිදුලවන කේබල් පාලම

 

“උපන්දා සිට කරපු පව් නැත

වරක් වැන්දොත් කැලණියේ”
 

 

බුදුරජාණන් වහන්සේ තෙවැනි ලංකාගමනය නිසා ම මෙරට බෞද්ධ ජනතාව අතර පුද පූජාවලට ලක්ව ලොව පරසිදුවූ කැලණි පුරවරය යළිත් ලොව පුරා ජනතාවගේ අවධානයට දැන් ලක්වෙමින් තිබේ. ඒ වනාහි ‘එතෙර මෙතෙර ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුවිශේෂී වාර්තාවක් තබමින්, මෙරට කාන්තා ඉංජිනේරු නායකත්වයක් යටතේ කැලණි ගඟ හරහා කේබල් 96 කින් එල්ලෙන ලෙස නව තාක්ෂණය අනුව ඉදිකළ නව කැලණි පාලම ලබන මස අගදී ජනතා අයිතියට පත්වීමයි. ලොව විවිධ රටවල මෙවැනි පාලම් තිබුණත් ඒවා ඉදිකිරීමට බොහෝ විට නායකත්වය දී ඇත්තේ ඉංජිනේරුවන්ය. නමුත් පෑලියගොඩ ඉදිකළ එල්ලෙන අලුත් කැලණි පාලම ඉදිකිරීමට නායකත්වය දුන්නේ මෙරට සුවිශේෂී වරලත් ඉංජිනේරුවරියකි. ඇය වනාහි නව කැලණි පාලම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකරයි.

 

ව්‍යාපෘති අධ්‍යක්ෂ දර්ශිකා ජයසේකර පවසන පරිදි නව කැලණි පාලමේ වැඩ සියයට 99 ක් අවසන්ය. “ලංකාවේ මේ වගේ පාලමක් ඉදිවෙලා තිබුණේ නැහැ. මීටර් 382 ක් දිග මීටර් 21 ක් පළල මේ පාලම තනිකරම ඉදිකළේ වැර ගැන්වූ කේබල් 90 ක් මඟින් පාලමේ බර දරා ගන්න විදියට. සෑම කේබල් එකක්ම වැර ගැන්වූ කමිබි 7 කින් සමන්විතයි.

“මේ කැලණි පුරවරයේ මේ දිනවල ඉදිවන නව කැලණි පාලම ඇතුළත් සම්පූර්ණ ව්‍යාපෘතියට වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි 5300 කි. ඉන් රුපියල් කෝටි 3100 ක් වැය කරනු ලබන්නේ මේ දිනවල ඔරුගොඩවත්ත පෑලියගොඩ ප්‍රදේශවල ඉදිවෙන ගුවන් පාලම් අධිවේගී මාර්ග පද්ධතියට හා අධිවේගී මාර්ග අන්තර් හුවමාරු මධ්‍යස්ථානය සඳහාය. කැලණි පාලම් ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1000 ක් වැය කළා. ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර පවසයි.

වයඹ, උතුරු මැද, මධ්‍යම, උතුර, නැගෙනහිර හා සබරගමුව පළාත්වල සිට එන වාහන 100000 - 115000 ක් අතර ගණනක් දිනකට කැලණි පාලම් ඔස්සේ එහා මෙහා ධාවනය කෙරේ.‍

නුවර පාරෙන්, මීගමු පාරෙන් කොළඹ - කටුනායක අධිවේගයෙන් එන යන මේ වාහන නිසා සතියේ දිනවල පෙරවරු 6 සිට 9.30 පමණ වන තෙක් මෙන්ම සවස 1.30 සිට රාත්‍රි 7 දක්වාම මේ පෑලියගොඩ ප්‍රදේශයේ ඉතා අධික වාහන තදබදයක් පවතී.

ඒ වාහන තදබදය පිළිබඳව මීට වසර 10 කට පමණ පෙර සිටම මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවී තිබිණ. ඒ පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වතුන් කළ අධ්‍යයනය අනුව යෝජනා වූයේ පෑලියගොඩ වාහන තදබදය අවම කිරීමට නම් පෑලියගොඩ දැන් ඇති කැලණි පාලමට ඉහළින් හෝ සමාන්තරව අලුත් කැලණි පාලමක් ඉදි කළ යුතු බවයි.

ඒ අනුව 2013 දී පමණ එවකට ජනපති හා එවකට මහාමාර්ග ඇමැති වූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් ප්‍රේමසිරි ගේ මෙහෙයවීමෙන් මේ නව කැලණි පාලම ඉදිකිරීමේ පිඹුරුපත් සකස් කෙරිණි.

නමුත් පසුගිය ‘යහපාලන’ රජය මේ පිළිබඳව කටයුතු කළ අලස බව නිසා පාලමේ වැඩ කටයුතු ප්‍රමාද වූ බවත්, 2019 බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනපතිදුන්ගේ උපදෙස් හා උනන්දුව මත පාලමේ ඉදිකිරීම් වේගවත් වූ බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මේ පිළිබඳ කරුණු දක්වන ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසන්නේ පෑලියගොඩ වාහන තදබදය නිසා දෛනිකව අපතේ ගිය ඉන්ධන ලීටර් ලක්ෂ ගණනක් හා මිනිස් ශ්‍රම පැය ලක්ෂ ගණනක් මේ පාලම නිසා රටට ඉතිරිවන බවයි.

‘සිළුමිණ’ ට විශේෂයෙන් කරුණු දැක්වූ නව කැලණි පාල‍ම් ව්‍යාපෘති අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර පවසන්නේ මේ දිනවල පාලම ආලෝකවත් කිරීම පිළිබඳව පෙරහුරු පරීක්ෂණ සිදු කරන බවයි.

“මෙතනින් තමයි අපේ රටට සංචාරකයන් එන ප්‍රධානම ද්වාරය. ඒ අනුව සංචාරක ආකර්ෂණය පිණිසත් අපේ රටේ ජනතාවට සුන්දර දසුනක් ලබාදීම පිණිසත් අපි මේ ආලෝකවත් කිරීම සිදු කරනවා.”

“මෙහි කේබල් එකක් ඇර එකක් ආලෝකවත් කර තිබෙනවා. ඊට අමතරව ‘ෆයිලින්’ කණුත් ආලෝකවත් කර තිබෙනවා. ආලෝක වර්ග එකිනෙක මිශ්‍රවීම නිසා තවත් අලුත් වර්ණ බිහිවී අමුතුම සුන්දර පාලමක් ලෙස මෙය රාත්‍රියට දැක ගන්න පුළුවන්.”

“මේ පාලම් ව්‍යාපෘතියට අදාළ ණය ගිවිසුම අවසන් කළේ 2013 දී. ඒ අනුව අපට ජපානයේ ජයිකා ආයතනයෙන් යෙන් මිලියන 35000 ක ණයක් ලැබුණා. තව මාසයකින් මෙය ජනතා අයිතියට ලබාදෙන්න පුළුවන්. ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය පවසන්නීය.

කැලණි පාලම් නව ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු තිලක් සෙනරත් පවසන පරිදි මෙම පාලම තනිකරම වැර ගැන්වූ යෝධ කේබල් 96 කින් එල්ලා ඇත. එම කේබල් 96 ගඟට පිටතින් සවිකර ඇති යෝධ කොන්ක්‍රීට් කණු (ෆයිරන්) හතරකට සම්බන්ධ වෙයි. එක් ෆයිරන් කණුවකට දෙපැත්තට කේබල් 24 ක් බැගින් සම්බන්ධ කර තිබේ.

“මෙම කුලුනක විශ්කම්බය මීටර් දෙකක්, මෙම කුලුනුවල බර දරනු ලබන්නේ ඊට යටින් ඇති පොළොවේ ගල තෙක් කිඳා බස්සවන ලද ෆයිල් කණුවලටයි. මේ අයුරින් එක් පැත්තකට ෆයිල් කණු 35 බැගින් දෙපැත්තකට ෆයිල් කණු 70 ක් ඉදිකර තිබේ. පාලමේ කේබල් 96 සම්බන්ධ වන ‘ෆයිරන්’ කණු ඉදිකර ඇත්තේ මේ එක් එක් පැත්තේ ඇති ෆයිල් කණුවල හිස එකට එක්කර දමන ලද යෝධ කොන්ක්‍රීට් ස්තරයක ඉහළ මට්ටමටය. ඒ එක් පැත්තක කොන්ක්‍රීට් ස්තරය සඳහා කොන්ක්‍රීට් කියුබ් 2000 ක් පාවිච්චි කළ බවත් එක් කොන්ක්‍රීට් ස්තරයක දෙපැත්තේ ‘ෆයිරන්’ කණු දෙක බැගින් සිටුවා ඇති බවත් නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ තිලක් සෙනරත් කියයි. මේ පාලම වසර 100 ක් වත් හොඳින් පාවිච්චි කළ හැකි බවත් මෙය භූමි කම්පාවලට ඔරොත්තු දෙන බවත් ඔහු කීය.

මෙම පාලම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී කොටසක් තිබේ. ඒ පෑලියගොඩ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ මේ දිනවල ඉදිවන ගුවන් පාලම් හා අධිවේගී මාර්ග එක්වන අධිවේගී මාර්ග ජාලයයි.

ඒ අනුව බණ්ඩාරනායක වටරවුමේ සිට ඔරුගොඩවත්ත දක්වා ද කැලණිතිස්ස බලාගාරය අසල සිට ඉඟුරුකඩේ ප්‍රදේශය දක්වාද මංතීරු හතරක මීටර් 20 ක් පළල අධිවේගී මාර්ග දෙකක් වානේ කණු මත ඉදිවෙමින් පවතී.

මෙම ඉදිකිරීම් බාරව කටයුතු කරන නව කැලණි පාලම ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු චන්දන අභයන්ත පැවසුවේ මෙම මාර්ග දෙක දැනට තිබෙන මාර්ගවලට මීටර් 5.2 ක් (අඩි 20 ක්) පමණ ඉහළින් මේ නව අධිවේගී මාර්ග ඉදිවන බවයි.

“මෙම මාර්ග දෙකෙන් කැලණිතිස්ස බලාගාරය අසල සිට ඉඟුරු කඩේ දක්වා වානේ කණු මත ඉහළින් ඉදිවන අධිවේගී මාර්ගය. වරාය නගරයේ සිට එන නව අධිවේගී මාර්ගය හා සම්බන්ධවෙයි. එමඟින් පෑලියගොඩ සිට වරාය නගරයට විනාඩි 8 - 10 ක් ඇතුළත ද කොළඹ වරායට විනාඩි 5 - 7 දක්වා කාලයක් ඇතුළත ද ළඟාවිය හැකියි” ඉංජිනේරු චන්දන පවසයි.

ඒ සමඟම බණ්ඩාරනායක වට රවුමේ සිට බේස්ලයින් පාර ඉහළින් ඔරුගොඩවත්ත දක්වා ද වානේ කණු මත මීටර් 425 ක දිග මංතීරු හතරක අධිවේගී මාර්ගයක් ඉදිකර ඇත. මෙම මාර්ගය අතුරුගිරිය හා රාජගිරිය දෙසට ගමන් කරන නව අධිවේගී මාර්ගය හා සම්බන්ධ වෙයි. පෑලියගොඩ සිට අතුරුගිරියට ඉදිවන නව අධිවේගී මාර්ගය මංතීරු හතරකි. එය කිලෝමීටර් 17 දිගය. පළල මීටර් 20 කි.

ඒ මඟින් පෑලියගොඩ සිට අතුරුගිරියට විනාඩි 12 - 15 ක් ඇතුළට ගමන් කළ හැකිය.

දැනට ඉදිවී ඇති කටුනායක අධිවේගී මාර්ගයෙන්, අලුතෙන් ඉදිවෙමින් පවතින පෑලියගොඩ අතුරුගිරිය නව අධිවේගී මාර්ගයෙන් හා පෑලියගොඩ කොළඹ වරාය නගරය අධිවේගී මාර්ගයෙන් එහා මෙහා ගමන් ගන්නා සියලු වාහනවලට කිසිම බාධාවක් නොමැතිව තම ගමනාන්තය වෙත ළඟාවීමට මෙම නව පෑලියගොඩ ප්‍රදේශයේ දැන් ඉදිවන ගුවන් පාලම් හා අධිවේගී මාර්ග හුවමාරු මාර්ග ජාලය මඟින් අවස්ථාව ලැබී ඇත.

මෙම පෑලියගොඩ ගුවන් පාලම් අධිවේගී මාර්ග සංකීර්ණයට ඇතුළත් වන ඉහළම මට්ටමේ මාර්ගය මීටර් 7 ක් පළලට බේස්ලයින් පාරේ සිට මීටර් 24 ක් (අඩි 90 ක්) ඉහළින් ඉදිකෙරේ.

2013 දී මහින්ද චින්තනයෙන් ඇරඹුණු මේ නව කැලණි පාලම් ව්‍යාපෘතිය 2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ මඟින් යථාර්ථයක් බවට පත්වී තිබේ.

Comments