කොරෝනා තිබු­ණත් මුළු රටම වැඩ බිමක් | Page 3 | සිළුමිණ

කොරෝනා තිබු­ණත් මුළු රටම වැඩ බිමක්

මොරගහකන්ද ව්‍යාපෘතියට අනුබද්ධ උතුරු මැද මහ ඇළේ ඉදි­කි­රීම්
මොරගහකන්ද ව්‍යාපෘතියට අනුබද්ධ උතුරු මැද මහ ඇළේ ඉදි­කි­රීම්

සංවර්ධනය රටකට අත්‍යවශ්‍ය දෙයකි. මොන බාධක තිබුණත් රට සංවර්ධනය කිරීම වත්මන් රජයේ අභිප්‍රාය වේ. අපේ රටේ සංවර්ධන කටයුතු කවදත් වේගවත් ලෙස සිදු වූයේ රාජපක්ෂ පාලන කාල‍ය තුළදීය.

2005 - 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී මෙරට මාර්ග, වරාය, විදුලි බලාගාර, වාරි ජලාශ, ගුවන් තොටුපළ, ජල සම්පාදන හා ග්‍රාමීය සංවර්ධන ක්ෂේත්‍රයේ නොවූ විරූ සංවර්ධනයක් ඇති විය. එකල මුළු රටම වැඩ බිමක් වී තිබුණ ද 2015 - 2019 වකවානුව රටේම සංවර්ධනය වේගයෙන් සිදු නොවන මුඩු බිමක් බවට පත්වෙමින් තිබිණ.

නමුත් 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමත් සමඟ යළි අපේ රටම වැඩ බිමක් බවට පත් කිරීමට සියලු කටයුතු ආරම්භ විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ද බලවත් උනන්දුවෙන් රටපුරා ක්‍රියාත්මක වන මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම 280 ක් හා කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම 25000ක් ක්‍රියාවට නංවා ඇත. ඒ පිළිබඳව සියලු අධීක්ෂණ කටයුතු සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා තරුණ කටයුතු, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයන් විසින් සිදු කෙරෙමින් පවතී.

 පොළො­න්න­රුව නව දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය ඉදි­කි­රීම්

ඒ අනුව නාමල් ඇමැතිවරයා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය පිණිස රටේ සියලු දිස්ත්‍රික්කවල නිරීක්ෂණ චාරිකාවල නිරත වෙයි.

නාමල් රාජපක්ෂයන් මුලින් ම ගොස් ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ කටයුතු අධීක්ෂණයටයි. ඒ අනුව යාපනය නගර සංවර්ධනය හා ඒකාබද්ධ මාර්ග වැඩසටහන, යාපනය රෝහල් පාරේ වාහන නැවතුම්පළ සංවර්ධනය, යාපනය නාගරික උද්‍යාන ප්‍රතිසංස්කරණය, නගර 100 ක සංවර්ධන වැඩසටහන යටතේ මරුදනාර්මඩම් නගරය සංවර්ධනය, කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය වරුත්තලයිවිලාන්හි නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණ කටයුතු පසුගියදා නාමල් ඇමැතිවරයාගේ පූර්ණ අධීක්ෂණයට ලක්විය.

එහිදී නාමල් රාජපක්ෂ ඇමැතිවරයා අවධාරණය කළේ එන්නත්කරණය මඟින් කොරෝනා පාලනය කරන අතරම ‘සෞභාග්‍යයේ දැක්ම’ හරහා රටට ලබාදුන් රටේ සංවර්ධන හා ආර්ථික සංවර්ධන සැලැස්ම ඉදිරියට රැගෙන යන බවයි.

මේ වනවිටත් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 280 කට වැඩි ප්‍රමාණයක් සහ ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 25,000 කට වැඩි ප්‍රමාණයක් සෑම අමාත්‍යාංශයකින්ම පළාත් පාලන ආයතනවලින් ක්‍රියාත්මක වෙනවා.

දිවයින පුරා සිදුවන එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අධීක්ෂණයෙන් ආරම්භ කරනවා.

ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සිදුවන ආකාරය, ඒවායේ අඩුපාඩු සහ ප්‍රමාද දෝෂයන් ඇත්නම් හඳුනාගෙන එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරනවා.

මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමය

ර‍ටේ ජනතාවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ආණ්ඩුව ලබාදුන් එම සංවර්ධනීය බලාපොරොත්තුව යථාර්ථයක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමයි අපේ අදහස.

ඒවගේ ම සෑම සංවර්ධන යෝජනා ක්‍රමයක් ම කඩිනමින් සහ නිවැරැදිව ක්‍රියාත්මක වීම සහ නියමිත ප්‍රමිතියෙන් හා නියමිත කාල වකවානුවල දී එම ව්‍යාපෘති අවසන් කිරීම පිළිබඳව අධීක්ෂණය කරමින් ගමේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම අපේ ඒකායන අපේක්ෂාවයි.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා එම සංවර්ධන ව්‍යාපෘති අද අපේ රටේ ක්‍රියාත්මක වන බව ද නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කීය.

අනුරාධපුර උතුර ජල යෝජනා ක්‍රමය, අනුරාධපුර පූජා නගර ව්‍යාපෘතිය, අනුරාධපුර ක්‍රීඩා පාසල, අනුරාධපුරය ජයන්ති විහාරයේ ගෙවතු වගා වැඩසටහන ද මෙහිදී නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසුවේ නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ සංචාරය නිසා ළඟදීම මෙම ව්‍යාපෘතිවල ඉහළ ප්‍රගතියක් ඇතිවෙනු ඇති බවයි.

ඇමැති නාමල් රාජපක්ෂයන් අනුරාධපුරයේ පැවැති සංවර්ධන කටයුතු පිළිබඳ අධීක්ෂණ චාරිකාවේදී වැඩි අවධානය යොමු කළේ අපේ ඉංජිනේරුවන් හදන රජරට ලොකුම ජලාශය වන පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ කටයුතුවලටය.

පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට වැඩිම වී අස්වැන්නක් ලබාදෙන මන්නාරම ‘සහල් නැළියේ’ අස්වැන්න තෙගුණ කිරීම හා අනුරාධපුර, පුත්තලම, වවුනියාව ජනතාවගේ පිපාසය හා බඩගින්න තුරන් කිරීමයි.

මෙරට දෙවැනියට විශාලතම ගංගා ද්‍රෝණිය වන මල්වතු ඔය මඟින් කිසිම වැඩක් නොගෙන වසරක් ඇතුළත මහ මුහුදට යන ජල ප්‍රමාණය ඝන මීටර් දස ලක්ෂ 700කි. මේ මහ ජල ස්කන්ධයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බව මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු සනත් ගුණසේන පවසයි.

ඒ මහතා තවදුරටත් අප සමඟ පැවසුවේ මෙම ව්‍යාපෘතිය යටතේ මුලින්ම කරන්නේ මල්වතු ඔය හරහා තන්තිරිමලේ බෝගොඩදි මහ වේල්ලක් බැඳ අක්කර අඩි 170,000ක් විශාල තන්තිරිමලේ ජලාශය රජරට විශාලතම ජලාශය ලෙස ඉදිකිරීම බවය.

තන්තිරිමලේ මල්වතු ඔය හරහා බදින වේල්ලේ දිග කිලෝමීටර් 3.6කි. මෙහි වේල්ලේ උස මීටර් 23.5ක් වන අතර මුදුනත පළල මීටර් 6කි. පස් කියුබ් ලක්ෂ 20කින් ඉදිවන මේ වේල්ල මඟින් මන්නාරමේ යෝධ වැව හා අකත්තිමුරුප්පු වැව ඇතුළු වැව් 200ක් පෝෂණය වන මහ ජලාශය සම්පූර්ණ වෙයි.

 අනු­ර­පු­රයේ ජල ගැටලු ගැන ඇමැති නාමල් රාජපක්ෂ සොයා බලමින්

ඒ අනුව මේ ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර, පුත්තලම, මන්නාරම ඉඩම් අක්කර 36680 ක් යල මහ අස්වැද්දීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබාදෙයි.

මෙම ජලාශයේ ජලයෙන් මන්නාරම සහල් නැළියේ තවත් කුඹුරු අක්කර 6500 පමණ යල මහ අස්වැද්දීමට අවස්ථාව ලැබේ. එමෙන්ම සහල් නැළියෙන් ලැබුණු අස්වැන්න ද දෙගුණ තෙගුණ වීමට මේ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය හේතු වනු ඇතැයි වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.

මෙම ජලාශ ව්‍යාපෘතිය මඟින් ලැබෙන අනෙක් ප්‍රයෝජනය ප්‍රදේශයේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමයි. ඒ අනුව මේ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය මඟින් අනුරාධපුරය, පුත්තලම, මන්නාරම පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් 50,000කට පමණ පානීය ජලය නළ ජලය ලෙස ලබාදීමට කටයුතු කෙරේ.

ඊළඟට ඇමැති නාමල් රාජපක්ෂයන් සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහා ගියේ පොලොන්නරුවටය. ඒ අනුව මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය, වෙඩිකච්චිය පේරමඩුව මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිය, මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 අදියර ඉදිකිරීම පොලොන්නරුව නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු හා කදුරුවෙල සංහිඳියා පාසලේ සංවර්ධන කටයුතු යන සංවර්ධන කටයුතු අධීක්ෂණයට ඇමැති නාමල් රාජපක්ෂයන් කටයුතු කළේ ය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කළ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා වැඩිපුරම අවධානය යොමු කළේ මොරගහකන්ද ව්‍යාපෘතියේ ජලය දෙන උතුරු මැද මහඇළ ඉදිකිරීම පිළිබඳව මොරගහකන්ද හා කළුගඟ ප්‍රදේශවල පදිංචිව වී සිටි ජනතාව නැවත පදිංචි වී සිටින මැදිරිගිරිය ප්‍ර‍ද්ශයේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳවයි.

උතුරු මැද මහ ඇළ යනු මෙරට ඉදිවන දිගම ඇළ මාර්ගයයි. එහි දිග කිලෝමීටර් 97කි. පළල අඩි 30කි. මොරගහකන්ද හා කළුගඟ ජලාශ එකතු කර සාදා ඇති උමග අසලින් ආරම්භ කරන උතුරු මැද මහ ඇළ මඟින් උතුරු මැද හා උතුරේ මහ වැව් කුඩා වැව් 1200කට පමණ ජලය ලබාදෙයි.

පරිසර හිතකාමි ලෙස ඉදිවන පවුල් ලක්ෂ 15කට අඩු නැතිව වාරි හා පානීය ජලය දෙන මේ උතුරු මැද මහ ඇළෙන් උතුරේ ජනතාවටත් මොරගහකන්දේ ජලය ලබාදෙන බව වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී. විජේරත්න පවසයි.

දකුණු ආසියාවේ ඉදිවන දිගම උමඟද මෙම ඇළට අනුබද්ධව ඉදිවීම විශේෂත්වයකි. ඒ අනුව බකමූන දිය බෙදුම කොදුරාව ප්‍රදේශයේ සිට පලුගස්වැව මීගස්වැව දක්වා කිලෝමීටර් 28ක් දිග මෙම උමග ඉදිකරනු ලැ‍ෙබ්. එහි පළල අඩි 30කි.

මෙහි එන ජලය මඟින් උතුරු මැද මහ වැව් හා කුඩා වැව් ඊට අනුබද්ධ එල්ලංගා පද්ධති 1200ක් පමණ පුරවන බවත් ඉදිකිරීමේදි මේ ජලය ඉරණමඩු ජලාශයට ගෙන ගොස් උතුරු පළාතට ද ජලය දීමට යෝජිත බවත් උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී. විජේරත්න පවසයි.

මෙම ඇළ මඟින් තවත් ප්‍රතිලාභ රැසක් ඉටුවෙයි. ඒ අනුව හුරුළුවැව, මාන්නකට්ටිය වැව, ඒරුවාව හා මහකනදරාව වැවට අඛණ්ඩව ජල සැපයුමක් ලබාදීම මඟින් අක්කර 30,000කට හිඟයකින් තොරව අස්වැද්දීමට ජලය ලැබේ. උතුරු මැද පළාතට මේ ව්‍යාපෘතිය මඟින් ජල ඝන මීටර් දසලක්ෂ 92.4ක් ලබාදෙයි.

මහඇළ ව්‍යාපෘතිය මඟින් මොරගහකන්ද ජලාශයේ දියවර සපයන පැරැණි ඇළහැර ආශ්‍රිත ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ පරාක්‍රම සමුද්‍රය ජලාශ සඳහා දියවර සපයයි. එමඟින් පවුල් 136,000කට පමණ වසරේ දින 365 පුරාම ජලය ලබාදෙයි.

Comments