
අපට විදුලිය නැතිවම බැරිය. නමුත් අපේ රටේ විදුලි ඉල්ලුම වසරකට සාමාන්‍යයෙන් සියයට 10 - 8 ක් පමණ ඉහළ යන බව කියති. ඒ අනුව ඊට සරිලන සේ අලුත් විදුලි බලාගාර ඉදිකිරීම හෝ තිබෙන ඒවා නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. නැත්නම් 2002 - 2004 සිටියා සේ පැය 5 - 6 අඳුරේ සිටීමට සිදුවනු ඇත.
අපේ රටේ අලුත් විදුලි උත්පාදනයට තව ඇත්තේ ජල විදුලි බලාගාර කිහිපයකින් ලැබෙන විදුලිය බලය පමණක් ය. ඊට අමතරව විදුලිය ලබාගැනීමට පුනර්ජනනීය විදුලි බලාගාර වෙත යා යුතු ය. කෙසේ වුවත් මොන ආකාරයේ අලුත් විදුලි බලාගාර පිහිටුවීමට පිටරටින් අදාළ තාක්ෂණික උපකරණ විදුලි ජනන යන්ත්‍ර ආදිය ගෙන්වීමට සිදුවේ. ඒ සඳහා අපට විදේශ විනිමය නැතිවම බැරි ය. නමුත් මේ දිනවල අපට විදේශ විනිමය සොයා ගැනීමට ගැටලු මතුවී තිබේ.
එයට විසඳුමක් ලෙසත් මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ නව සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසත් රජය දැන් සිදු කර ඇත්තේ කෙරවලපිටිය යුගදනව් බලාගාරය කොටස් සියයට 40 ක් සඳහා ඇමෙරිකන් සමාගමක ආයෝජන සැලසුමක් ඉදිරිපත් කිරීමයි.
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය මෙරට පෞද්ගලික ආයතනයක් මඟින් ඉදිකළ මෙරට විශාලතම තාප විදුලි බලාගාරයයි. එය මෙරට ඇති විශාලතම පෞද්ගලික විදුලි බලාගාරය වේ.
මෙමඟින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300 ක් එක් කරන අතර එය ජාතික විදුලිබල ඉල්ලුමෙන් සියයට 15 කි.
මුදල් අමාත්‍යාංශය මඟින් “විදුලිබල උත්පාදන පිරිවැය අඩු කිරීම සඳහා වෙස්ට් කෝස්ට් පෞද්ගලික සමාගමේ ආයෝජනය කිරීම” යන හිසින් යුතුව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව NEW FORTRESS සමාගම හා ශ්‍රී ලංකා රජය අතර රාමුගත සාමූහික ගිවිසුමකට අස්සන් කර ඇත. ඒ අනුව කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ කටයුතු සිදුකරන වෙස්ට් කෝස්ට් (ෆවර්) නම් සමාගමේ රජය සතු කොටස්වලින් සියයට 40 ක කොටස්වලට ආයෝජනය කිරීමටත් එම බලාගාරයට LNG වායු සපයන නළ පද්ධතිය හා ප්‍රවේග වායු ගබඩා පර්යන්ත ඉදිකිරීමටත් ඇමෙරිකන් සමාගමට අවස්ථාව ලැබේ. මේ බව තහවුරු කරන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම පවසන්නේ වර්තමානයේ කෙරවලපිටියේ පවතින යුගදනව් බලාගාරය මෙන්ම ඒ අසල ඉදිරියේදී ඉදිවන මෙගාවොට් 700 ක ධාරිතාවෙන් යුත් විදුලි බලාගාර සඳහා වායු සැපයීමට හැකියාව මෙම ගිවිසුම හරහා ලැබෙන බවයි.
මේ පිළිබඳ කරුණු දක්වන විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ පවසන්නේ කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ 40% කොටස් ඇමෙරිකන් සමාගමකට විකිණීමක් කිසිසේත් සිදු කර නැති බවයි.
“මෙහිදී සිදු වී ඇත්තේ මෙම බලාගාරයේ කොටස් 40 ක් පමණ ප්‍රමාණයක් සඳහා ඇමෙරිකන් සමාගමක ආයෝජනයක් ලබාගෙන තිබීමයි. මෙමඟින් රටට වාසි රැසක් ලැබෙනවා.”
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබෙනවා, රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව වත්මන් රජය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා කියලා. ඒ අනුව තමයි අපි මේ ගිවිසුමට එළඹ තිබෙන්නේ. මොන ගිවිසුම් ගැහැව්වත් මේ විදුලි බලාගාරයේ අයිතිය 100% ක් ම තිබෙන්නේ එහි අයිතිකාර පෞද්ගලික සමාගමට හා රජයට පමණයි. ඒ අනුව මෙම බලාගාරයෙන් නිපදවන විදුලිය ජනතාවට ලබාදෙන්නේ විදුලිබල මණ්ඩලය නීති රීතිවලට හා මිල ගණන් අනුවයි. එනිසා මේ ගිවිසුමෙන් පාරිභෝගිකයන්ට හොඳක් මිස නරකක් සිදුවන්නේ නැතැයි ඇමැති ලොකුගේ කියයි.
නව ගිවිසුමට සම්බන්ධ වූ NEW FORTRESS සමාගම 2019 වසර මුලදී ඉදිරිපත් කළ යෝජනාවක් වූයේ ද්‍රවකෘත ස්වාභාවික වායු (LNG) මඟින් විදුලි ජනනය කරන නව ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකරන ව්‍යාපෘතියකි. එමඟින් රුපියල් 18 කට ආසන්න මුදලකට ඒකකයක් ලබාදීමට පොරොන්දු වී තිබිණි. එසේ වුව ද 2015 - 2019 පසුගිය රජය කාලයේ කිසිම විදුලි බලාගාරයක් ඉදිවූයේ නැත. වත්මන් රජය 2020 දී බලයට පත්වීමෙන් පසු කලින් විදුලි බලාගාරය සෑදීම සඳහා කළ යෝජනාව වෙනත් මඟකට යොමු කෙළේ ය. රජය සතු නමුත් ගෙන යාමට අපහසු විදුලි බලාගාර සමාගමක් සඳහා එය සම්බන්ධ කිරීමට වත්මන් රජය හා විදුලිබල අමාත්‍යාංශය සමත් විය. ඒ සඳහා ‘යුගදනවි’ බලාගාරයට නව ගිවිසුමක් සකස් කළ අතර එමඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අපට විදුලියත් ඩොලර් මිලියන 250 කට අධික මුදලකුත් ලැබෙන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ පවසයි.
මෙම ගිවිසුම යටතේ යුගදනව් බලාගාරයට පමණක් නොව ඒ අසල අලුතින් ඉදිකරන ‘සොබා දනව්’ බලාගාරයට LNG සැපයුම නව ඇමෙරිකන් සමාගම මඟින් සිදු කරන බවත්, එය පරිසර හිතකාමී කටයුත්තක් බවත් ඇමැතිවරයා කියයි.
“යුගදනවි බලාගාරය ඩීසල්වලින් හෝ දැවි තෙල් වලින් දුවන විට එහි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 28 - 30 ක් අතර වනවා. එහෙත් එය LNG මඟින් දුවන විට ඒකකයක නිෂ්පාදන වියදම වන්නේ රුපියල් 15 - 16 ක් පමණයි. එමෙන්ම LNG වලින් සිදුවන්නේ ඩීසල්වලට හා දැවි තෙල්වලට වඩා අඩු පරිසර දූෂණයක් යැයි ද ලොකුගේ ඇමැතිවරයා පවසයි.
එසේ වුවත් මේ පිළිබඳව සිළුමිණට කරුණු දක්වන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු පවසන්නේ මේ ගිවිසුම නිසා අපේ රටට ‘හෙජින් ගිවිසුම’ටත් වඩා පාඩුවක් සිදුවන බවයි.
“ජාතික බලශක්ති ප්‍රතිපත්තිය අනුව ලංකාවේ පළමුවැනි LNG පර්යන්තය සඳහා ගෑස් සැපයුම ආණ්ඩුවේ පාලනය යටතේ සිදු විය යුතුයි. නමුත් ආණ්ඩුව ඒ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරලා ගිවිසුමකට අස්සන් කරලා තිබෙනවා. මෙවන් ගිවිසුමක ප්‍රධාන මෙහෙයුම් කටයුතුවල බලය තිබිය යුත්තේ ආණ්ඩුව යටතේයි. නමුත් මේ ගිවිසුම අනුව ප්‍රධාන ලෙස බලය ලැබී ඇත්තේ අදාළ සමාගමේ යෝජනාවලටයි.”
“කෙරවලපිටිය දැන් තිබෙන බලාගාරයටත් ඉදිරියේදී හැදෙන සොබා දනවි බලාගාරයටත් ස්වාභාවික ගෑස් සපයන කොන්ත්‍රාත්තුව මේ ඇමෙරිකානු සමාගමට ලැබුණොත් ඔවුන්ට ඩොලර් කෝටි 150 ක බිස්නස් එකක් ලැබෙනවා. ඒ බිස්නස් එක ඉදිරියේදී දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. ඒ අනුව අඩු ගණනේ ඩොලර් කෝටි 600 ක LNG බිස්නස් එකක් මේ සමාගමට ලැබෙන්න ඉඩ තිබෙනවා. මෙම ගිවිසුම අනුව LNG යම් පරිමාවක් අපි වාර්ෂිකව අනිවාර්යයෙන් මිලදී ගත යුතුයි. මේ ක්‍රම අනුව අපි දිගටම ගිවිසුම් ගත වුවහොත් අවුරුදු 5 ට අපට සිදුවන පාඩුව ඩොලර් මිලියන 350 කට වැඩියි. නමුත් ඒ සමාගමට ටෙන්ඩර් එක දෙන්න හදන්නේ ඩොලර් මිලියන 250 ක් ගන්න යැයි ද සෞම්‍ය කුමාරසිරි පවසයි.
LNG වලින් විදුලිය ලබාගැනීම ලාභ නමුත් ඔය ඇමෙරිකන් ගිවිසුම අනුව කෙරවලපිටියේ බලාගාර දෙකටම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා LNG ඔවුන්ගේ මිලට අප ලබාගත යුතුයි. ඒ වගේ ම මේ ගිවිසුම ප්‍රකාරව ඔවුන් කියන LNG ප්‍රමාණයම අප මිලදී ගත යුතුයි. LNG සැපයුමට පහසුකම් හා ඒවා එළීමට ඉඩම් ලබාදිය යුතුයි. එවිට දැන් පවතින ජල විදුලිබලාගාර පවා LNG වලින් ක්‍රියාකිරීමට සිදුවේවි යැයි ද ඉංජිනේරු සංගම් සභාපති සෞම්‍ය කුමාරසිරි කියයි.
කෙසේ වුවත් විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ කෙරවලපිටියේ යුගදනවි හා ඉදිරියේදී ඉදිකරන සොබා දනවි බලාගාර LNG වලට පරිවර්තනය කිරීම මඟින් එහි වත්මන් නිෂ්පාදන ධාරිතාව 20% කින් පමණ ඉහළ යන බවයි. ඒ අනුව යුගදනවි බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 350 ක් දක්වා වැඩිවෙයි.
මේ පිළිබඳ කරුණු දක්වන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. පර්ඩිනැන්ඩු පවසන්නේ මේ ඇමෙරිකන් සමාගම අස්සන් කළ රාමුගත ගිවිසුම අනුව අපට ලොව අඩුම මිලට LNG ලැබෙන බවයි.
එමෙන් ම කවුරු කෙසේ කීවත් යුග දනව් බලාගාරය රජයේ එකක් නොවන බවත් එය පෞද්ගලික සමාගමකට අයිති බවත් මෙරට ඇති විදුලිබලාගාර රැසක් ම පිටරටවලට සම්බන්ධ ඒවා බවත් සභාපතිවරයා පවසයි.
මේ ගිවිසුමට විරෝධය දක්වන අය ඒ අපේ රටේ කැලණිතිස්ස වැනි ස්ථානවල ඇති සමහර පිටරටවලට අයත් බලාගාරවලට හෝ පෞද්ගලික බලශක්ති සමාගම්වලට විරෝධය නොදැක්වීම හාස්‍යයට කරුණක් බවත් පවසන සභාපතිවරයා මේ නව ගිවිසුම අනුව රුපියල් 11 ක් වැනි අඩු මිලකට ජනතාවට LNG විදුලි ඒකකයක් ලබාදිය හැකි බවත් අවධාරණය කරයි.
ආන්දෝලනයට ලක්වී ඇති මේ ඇමෙරිකන් සමාගම අස්සන් කළ ගිවිසුම අනුව ඒ සමාගමට යුගදනවි බලාගාරයෙන් ලැබෙන්නේ අඩු ප්‍රතිලාභයක්. එසේ වුවත් ඒ අයට තමන්ගේ LNG නළ පද්ධතිය ඉදිකිරීමට ඉඩම් හා යටිතල පහසුකම් අපි ලබාදිය යුතුයි.”
“ලංකාවට LNG සැපයීමට කිසිම නීතියක් නැහැ. ලංකාවට විවෘත වෙළෙඳපොළේ ඕනෑම අයකුට LNG සපයන්න පුළුවන්. එසේ වුවත් එතෙර හෝ මෙතෙර කිසිම සමාගමක් ලංකාවට LNG ලබාදෙන්න මැදිහත් වුණේ නැහැ. 2002 සිට මේ ගැන කතා කළත් ආණ්ඩුවවත් ඒකට මැදිහත් වුණේ නැහැ.”
නමුත් අපේ රටට ප්‍රථම වරට LNG ලැබෙන්නේ මේ ගිවිසුම යටතේ පමණයි. ඇමෙරිකාවේ LNG සපයන උසස් පෙළේ ආයතනයක් වන NEW FORTRESS සමාගම ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළේ ඉහළ මට්ටමේ ඉන්න ප්‍රසිද්ධ ආයතනයක්. ඔවුන් අපේ යුග දනවි හා සොබා දනවි බලාගාරවලට ලොව අඩුම මිලට LNG ලබාදීමට පොරොන්දුවී තිබෙනවා. අපේ රටට මේ සමාගම රෙකමදාරු කළේ ඇමෙරිකානු රජයෙන්. ඒ අනුව මෙතන ඩීල් එකක් නැහැ. මේ ගිවිසුම රාජ්‍යයන් අතර අන්‍යොන්‍ය සහයෝගය හා බලශක්ති විද්‍යානුකූලව ක්‍රියාත්මක කරන අපට වාසි සහගත ව්‍යාපෘතියක්.”
“අපේ කෙරවලපිටිය විදුලි බලාගාරයෙන් ඩීසල්වලින් විදුලිය ජනනය කිරීමට ඒකකයට රුපියල් 30 ක් යනවා. නමුත් ස්වභාවික වායු සැපයූවිට අපට පුළුවන් ඒකකයක වියදම රුපියල් 16 අඩු කිරීමට. කෙරවලපිටියෙම අලුතින් ඉදිවන සොබා දනවි තාප විදුලි බලාගාරයේ නිෂ්පාදන කටයුතු 2023 දී ආරම්භ වනවා. මේකෙන් අපට මෙගාවොට් 300 ක් ලැබෙනවා. ඒ බලාගාරය අයිති සමාගම විදුලිබල මණ්ඩලය සමඟ ඇති කරගත් ගිවිසුම අනුව විදුලි ඒකකයක් ඩීසල්වලින් ජනනය කරන්නේ මුල් අවුරුද්දේ රුපියල් 28 කට. දෙවන අවුරුද්දේ එය ස්වාභාවික වායුවලට පරිවර්තනය කරන්න පුළුවන්. එම බලාගාරය දැනට ගිවිසුම් ගතවෙලා තිබෙන්නේ LNG වලින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 18 දෙන්න. නමුත් අලුත් ඇමෙරිකන් සමාගම LNG ඉතා අඩු මිලකට ලබාදෙන නිසා සොබා දනවි බලාගාරයෙන් 2023 දී විදුලි ඒකකයක් රුපියල් 11 කට නිපදවන්න අපට පුළුවන් වෙනවා.”
“දැනට විදුලිබල මණ්ඩලය ඒකකයක් විකුණන්නේ රුපියල් 16 කට. නමුත් අපට විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 23 ක් වැය වනවා. ඒ නිසා මණ්ඩලයට හැම විදුලි ඒකකයකින්ම රුපියල් 7 ක පාඩුවක් සිදුවනවා. ඒ නිසා තමයි විදුලිබල මණ්ඩලයට හැමදාම පාඩුයි කියන්නේ. දිගටම මිනිස්සුන්ට මේ පාඩුව දමනවා ද?, නැත්නම් විදුලිය නිපදවීමට යන පිරිවැය අඩු කරනවාද කියලා මණ්ඩලය තීරණය කළ යුතුයි. මේ අලුත් ගිවිසුම අනුව විදුලි බලය නිපදවීමට යන පිරිවැය අඩු කරන්න පුළුවන්. ඒ අනුව එහි ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි. ඒ බව ඔය කෑගහන අයත් ජනතාවත් තේරුම් ගත යුතුයි. මේ ගිවිසුම ක්‍රියාත්මක වූවොත් ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ටත් වාසි ලැබෙයි” විදුලිබල මණ්ඩල සභාපතිවරයා කියයි.
මේ පිළිබඳව කරුණු දක්වන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ යුගදනවි බලාගාරය පිළිබඳව රජය හා ඇමෙරිකන් සමාගම මහ රෑ අස්සන් කළ හොර ගිවිසුම අතීතයට බලපාන පරිදි වහාම අවලංගු කළ යුතු බවයි.
“මේ ගිවිසුම නිසා අප රටේ බලශක්ති නිපැයුමේ හා සැපයුමේ බල අධිකාරිය එම ඇමෙරිකන් සමාගමට ලැබෙනවා. එය අපේ රජයක තිබිය යුතු බලශක්ති ඒකාධිකාරියට ලොකු අහිතකර බලපෑමක්. එපමණක් නොවෙයි එය රටේ ආරක්ෂාවටත් තර්ජනයක්. අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. දැන් ආණ්ඩුවේ සමහර කොටස් පවා මේකට විරුද්ධ වෙලා. කැබිනට් එකේ ඇමැතිවරුත් මේ ගිවිසුම දැකල නැතිලු. විපක්ෂයත් සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි. මේක තනිකරම රටට අහිතකර හොර ගිවිසුමක්. අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුව හැමදේම ‘රිවස්’ කරනවා වගේ මේ ගිවිසුමත් වහාම අවලංගු කරන ලෙස යැයි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරන්නීය.