විඩා­බර සිතට සහ­න­යක් දෙන්න ඉංගි­රිය රෝහලෙන් ‘ඉම­ගිර සුව­විරු වින්දන’ | සිළුමිණ

විඩා­බර සිතට සහ­න­යක් දෙන්න ඉංගි­රිය රෝහලෙන් ‘ඉම­ගිර සුව­විරු වින්දන’

 

කොරෝනා වයිරසයට ගොදුරුවන්නන් කායිකව මෙන්ම මානසිකවද විඳින පීඩාව ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම රෝගයට ගොදුරුව රෝහල්ගතවන්නන්ගේ තත්ත්වය නිවෙස්ගතව ප්‍රතිකාර ලබන්නන්‍ට වඩා කිහිප ගුණයකින් ශෝචනීයය. රෝහලේ සිටින අවමය දින දහයක් හෝ ඊට වැඩි කාලය තුළ අඩුම වශයෙන් තම නිවැසියන්ගේ මුහුණ හෝ දැකගැනීමට ඔවුන්ට නොහැක. බාහිර කිසිවෙකුටවත් මෙම රෝගීන් හමුවීමට ද නොහැක. තම ආදරණීයයන් ගැන සිහිකරමින්, පාළුව කාන්සිය විඳදරා ගනිමින් ඔවුන් විඳින චිත්ත පීඩාව සුළුපටු නැත.

රෝගයක් සුවවීමට ඖෂධ මෙන්ම මානසිකව ලබන ප්‍රතිකාරද එකසේ වැදගත්වුවත් මෙවන් රෝගීන් හට මානසිකව සුවසහනය ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලයට ඉඩහසර ඇත්තේ ඉතා අවම මට්ටමකය. මන්දයත් රෝගය නොවැලඳුනද කොරෝනා රෝගීන් තරමටම හෝ ඊටත් වැඩියෙන් ඔවුන්ද කායිකව මෙන්ම මානසිකව අන්තයටම ඇදවැටී සිටිති.

ඔවුන්ගෙන්ද බහුතරය දීර්ඝ කලකින් සිය ආදරණීයයන්ගේ මුහුණු දැක නැත. රෝහලක කටුක පරිසරයට කොටුව බෝවන රෝගීන් සමඟින් කල්ගත කරන ඔවුන්ගේ තත්ත්වයද අතිශයින් කනගාටුදායකය.

මෙවන් පිරිසකගේ මානසික සුවසහනය වෙනුවෙන් විනෝදාස්වාදය පදනම් වූ වැඩසටහන් විවිධ පිරිස් විසින් රටපුරා සංවිධානය කර පවත්වනු අප කොතෙකුත් දැක තිබුණද රාජ්‍ය උත්සවයක මට්ටමින් එවන් දෙයක් කළ අවස්ථාවක් නම් මතකයේ නොමැති තරම්ය. එවන් වකවානුවක රාජ්‍ය අංශ කිහිපයකම නිලධාරීන් සමඟ කලාකරුවන් පිරිසක් අත්වැල් බැඳගනිමින් පවත්වනු ලැබූ විනෝදාත්මක වැඩසටහනක් ගැන පසුගියදා ඉංගිරිය දිසා රෝහලේදී පැවැත්වුණි.

"ඉමගිර සුවවිරු වින්දන" ලෙසින් නම්කර තිබූ මෙය පසුබිම්ගත වූයේ ඉංගිරිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබන ගණනින් පනහක් වූ කොවිඩ් ආසාදිතයින් වෙනුවෙනි.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය සහ බෞද්ධ කටයුතු අංශය මූලිකත්වය ගෙන පැවැත්වූ මෙම උත්සවයේ විශේෂත්වය වුයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ මූලිකත්වයෙන් සංවිධානය වූ අවසාන රාජ්‍ය වැඩසටහන වීමයි.

තවත් නොබෝ දිනකින් සේවා මාරුවක් මත ඉංගිරියට සමුදීමට අපේක්ෂිත ඇයගේ බලාපොරොත්තු වූයේ සමුගෙන යාමට පෙර සියල්ලන්ගේ හදවත්හි නොමැකෙන මතකයක් ඉතිරි කිරීමට සමත් යමක් කිරීමටය. "ඉමගිර සුවවිරු වින්දන" කරළියට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිය.

මෙම වැඩසටහනේ නිර්මාතෘ වූයේ සංවර්ධන නිලධාරී වසන්ත කුමාර කරුණාරත්න මහතාය.

"අපි කවුරුවත් නොකරපු වැඩක් කරමු..." ඔහුගේ අදහසට සැමගෙන්ම ලැබුණේ ධනාත්මක ප්‍රතිචාරයන්ය.

ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහගේද උපදෙස් පරිදි සංවිධානය වූ මෙම වැඩසටහනට අවසානයේදී ඉංගිරිය ප්‍රදේශයේ කලාකරුවන්ද එක්වූයේ එහි සාර්ථකත්වයට අත්වැල් සපයමිනි.

සියල්ල අවසානයේදී ඉංගිරිය දිසා රෝහලේ කොවිඩ් රෝගීන්ගේ වාට්ටු සංකීර්ණයට යාබද බිම් තීරුවේ මැවුණේ මනරම් සංගීත සංදර්ශනයක් යැයි කිවහොත් නිවැරදිය.

රෝගීන් පදනම් කරගනිමින් එය සංවිධානය වුවද ශබ්ද විකාශන යන්ත්‍රයන්ගෙන් දසත සංගීත රාවය පැතිරයද්දී රෝහල් කාර්ය මණ්ඩලයේ එකිනෙකාද ක්‍රමයෙන් ඊට එබිකම් කළේ කලකින් සවනට වැකුණු ගීත නාදය රසවින්දනය කරමිනි.

තවත් සුළු මොහොතක් ගතවද්දී රෝහල් භූමියේ මැවුණේ අමුතුම පරිසරයකි.

කොවිඩ් රෝගීන් කලාකරුවන්ගේ ගීත රාවය විඳිමින් නටමින් ගයමින් ප්‍රීතිවන අතරතුර එක් කොරෝනා රෝගියෙකු එක්වරම ප්‍රීතිය දරාගත නොහැකිව කරණම් සංදර්ශනයක්ද ඉදිරිපත් කළේ සිය රෝගී බව මොහොතකට අමතක කර දමමිනි.

වැඩසටහනට එක්වූ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ, ඉංගිරිය පොලිස් ස්ථානාධිපති නලීන් දර්ශන, ඉංගිරිය රෝහලේ වෛද්‍ය අධිකාරී මැණික් ඒකනායක ඇතුළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ද, ඉංගිරිය සහකාර ප්‍රාදේශීය ලේකම් මංජුලා හෙට්ටිආරච්චි, සැලසුම් අධ්‍යක්ෂ ලාල් ප්‍රියන්ත, ඉංගිරිය සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරී සුගත් මෛත්‍රී, සංස්කෘතික නිලධාරී යොහාන් රණසිංහ ආදී නිලධාරීන් ඇතුළු සහභාගි වූ සියල්ලන්ගේම දෑස් නළලට ගියේ කොරෝනා රෝගියෙකුගෙන් කිසිසේත්ම අපේක්ෂිත නොවූ එම ප්‍රතිචාරය දැකීමෙනි.

ගතවූයේ තවත් මිනිත්තු ගණනක් පමණි. රෝහල් කාර්ය මණ්ඩලයේ එකා දෙන්නා බැගින් ක්‍රමයෙන් ගීත ගයමින් නර්තනයේ යෙදීම ආරම්භ කළේ සිය අවිවේකී රාජකාරී දිවියට මොහොතක විරාමයක් තබමිනි.

ඊට අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සහභාගි වුහ. ඉංගිරියේ එරංග නිලූක පීරිස් මහතා බලාසිටි සැමට නව අත්දැකීමක් ලබාදෙමින් ද්‍රෝන කැමරා තාක්ෂණයෙන් සියල්ල රූපගත කළේ, වසංගත රෝගයක් පැතිරෙන වාතාවරණයකදී වුවද දැඩි සෞඛ්‍ය සීමාවන්ට ගරුකරමින් සියල්ලෝම අවිහිංසකව සිය සතුට සමරද්දීය.

ගලහිටි‍යේ සෝනුත්තර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සැම‍ට සෙත්පිරිත් සජ්ඣායනය කර‍ සෙත්පතා, කවිබණ දේශනාවක්ද පවත්වා, පිරිත් නූල්ද බැඳ ආශිර්වාද කළේ වැඩසටහනෙහි කිසිදු අඩුපාඩුවක් වීමට ඉඩක් නොතබමිනි.

 

 

Comments