
අයවැයක් හැදීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. මාස 6 ක් තිස්සේ හදන අයවැය සාමාන්‍යයෙන් අපේ රටේ නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙවර අයවැය දොළොස්වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන අතර එය ජනතාව ගැන සිතන නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ මංගල අයවැය නිසා ලක්ෂ 210 කට අධික අපේ ජනතාව ඒ දෙස දෑස් දල්වා බලා සිටිති.
රාජ්‍ය අයවැයක් යනු ඉදිරි වසරට රජය ලබාගැනීමට යන ආදායම්, සිදු කිරීමට යන වියදම්, ඒ දෙක අතර පරතරය හෙවත් අයවැය හිඟය හා එය පියවන ආකාරය පෙන්වන විශේෂ ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාවේ 1955 සිට ම වාර්තා වන්නේ අයවැය හිඟයකි. මෙම අයවැය ප්‍රධාන ලෙස සකස් කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය විසිනි. ඒ සඳහා පහත අයුරින් විධි ක්‍රම අනුගමනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ හා ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු පවසයි.
මුලින්ම අදාළ වසරට කලින් වසරේ ජුනි, ජූලි වනවිට මහා භාණ්ඩාගාරය විසින් රටේ තිබෙන සියලුම අමාත්‍යාංශවලින් හා දෙපාර්තමේන්තුවලින් වියදම් ඇස්තමේන්තු ලබාගනී. ඒවා කොටස් දෙකකි. එනම් පුනරාවර්තන වියදම් හා රාජ්‍ය ආයෝජන වියදම් ය. පසුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මෙම තොරතුරු ආශ්‍රය කරගෙන අයවැය කෙටුම්පත් සකස් කරනු ලැබේ. ඉන් අනතුරුව මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ආදායම් ඇස්තමේන්තුව හා අයවැය සකස් කිරීම ආරම්භ කරන බව ද වින්සන් මර්වින් ප්‍රනාන්දු පවසයි.
ඒ අනුව අයවැය සකස් කිරීමට රාජ්‍ය ආයතනවල ගිණුම් අංශ, අමාත්‍යාංශවල ගිණුම් අංශවල වාර්තා මෙන් ම ඇමැතිවරුන්ගේ හා විධායකයේ අදහස් ද යෝජනා ද එකතු කරගනු ලැබේ. අයවැය සැකසීම ආරම්භ කරන්නේ සාමාන්‍යයෙන් සියලුම රාජ්‍ය ආයතනවල ගිණුම්, ජාතික විගණන කාර්යාලය මඟින් විගණනය කිරීමෙන් පසුව බව මහාභාණ්ඩාගාරය පවසයි. පාර්ලිමේන්තු කාරක සභා විසින් මූල්‍ය ලේඛන සහ බාහිර විගණනයන් තක්සේරු කිරීම ඉන්පසු සිදු කරනු ලැබේ.
එක් එක් වර්ෂයේ ජූලි මාසයේ දී දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ආදායම් වියදම් ඇස්තමේන්තු පිළියෙල කර භාණ්ඩාගාරයට එවනු ලැබේ. පසුව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් එක් එක් ඇස්තමේන්තු සංසදනය කිරීම සිදු කෙරේ.
අයවැය චක්‍රය අනුව මුලින්ම අයවැය හදන විට සිදුවන වාණිජ විද්‍යාත්මක ක්‍රියාමාර්ගය හඳුන්වන්නේ සූත්‍රකරණය ලෙසයි. ඉන්පසු සිදුවන්නේ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමයි.
අයවැය සකස් කිරීමේදී ප්‍රධාන ලෙස රජයේ විධායකය, අගමැති හා මුදල් ඇමැති ඇතුළු රාජ්‍ය ප්‍රධානීන්ගේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ද උපදෙස් ලබාගැනීම සාමාන්‍ය සිරිතයි. අයවැය කෙටුම්පත් කෙරෙන අවස්ථාවේදී මුලින් ම සාර්ව ආර්ථික රාමුව සැකසීමේ ක්‍රියාවලිය ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු වේ. සාර්ව ආර්ථික රාමුව යනු වසර තුනක් සඳහා රජයේ ඉලක්ක සඳහන් කරමින් සකසා ඇති ඉදිරිය වෙත යොමු වුණු රාජ්‍ය ලේඛනයකි. මුදල් වැය කරන ආයතනවල වියදම් එක් එක් මූල්‍ය ක්‍රමෝපාය යටතට ගැනීම මෙම ලේඛනයේ අරමුණයි. ජූලි මස දී එම ලේඛනය කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කෙරේ.
ඊට පසු ජූලි මස අවසන් වන කාලයේදී ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් , අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා පළාත් සභාවලට අයවැය කැඳවීමක් සඳහා නිකුත් කර ඇති නව සාර්ව ආර්ථික රාමුව හඳුන්වා දෙනු ලැබේ. ඒ සමඟම අයවැය සැලසුම් කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ද විස්තර කරයි.
ඉන් අනතුරුව පිරිවැය පිළිබඳව ඇඟයීම් හා මෙහෙයුම්වල ශක්‍යතාව උපයෝගී කරගනිමින් මුදල් වැය කරන ආයතන විසින් පුනරාවර්තන හා රාජ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කෙරේ.
අයවැය සකස් කිරීමේදී විවිධ අමාත්‍යාංශ, මහාභාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල ඊට සම්බන්ධ නිලධාරීහු මාස හයක් තිස්සේ මහ මෙහෙයක් ඉටු කරති.
2022 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා මෙවර තවත් සුවිශේෂී පිරිසකගෙන් ද අදහස් ලබාගැනීම සිදු විය. ඒ නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි ය. ඒ අනුව ජනාධිපති මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා විසින් සංවිධානය කළ ‘ගම සමඟ පිළිසඳර’වැඩසටහනෙන් ඉදිරිපත් වූ සංවර්ධන යෝජනා ද මෙවර අයවැයට ඉදිරිපත් කිරීම සිදු විය. ඊට අමතරව මෙවර අයවැය සඳහා ග්‍රාමීය සංවිධානවල හා ජනතා නියෝජිතයන්ගේ අදහස් එක් කිරීමට රටපුරා සාකච්ඡා සම්මන්ත්‍රණ 150 කට ආසන්න ගණනක් පැවැත්විණි. ඒ ජනතා අදහස් ද මෙවර අයවැය සකස් කිරීම සඳහා අයවැය දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වින්සන් මර්වින් ප්‍රනාන්දු පවසන්නේ අයවැය සැකසීම කොටස් 5 කින් සමන්විත බවයි. ඒ අනුව එකතු කරන ලද යෝජනා හා අදහස් මුලින් ම විසර්ජන කෙටුම්පතක් ලෙස සකස් කරනු ලැබේ. පසුව එසේ සකස් කළ විසර්ජන කෙටුම්පත විසර්ජන පනතක් බවට පත් කෙරේ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් එය තෙවරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. පළමුවැන්න කියවීම ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කරනු ලැබීය. එය විසර්ජන පනත ඉදිරිපත් කිරීමෙනි. 12 වැනිදා සිදු කරන්නේ 2022 අයවැය දෙවැනි වර කියැවීමයි. පළමුවර කියවීමේදී පුනරාවර්තන වියදම්, ප්‍රාග්ධන වියදම් හා අයවැය හිඟය ඉදිරිපත් කරනු ලැබේ. දෙවැනිවර කියැවීම නිතරම දීර්ඝ දේශනයකි. හිටපු මුදල් ඇමැති රොනී ද මැල් ඇතුළු 2000 ට පමණ පෙර සිටි මුදල් ඇමැතිවරු මේ සඳහා පැය 7 – 8 ක් ගත කරනු ලැබීය. නමුත් මෑත වකවානුවේදී ඒ සඳහා ගත කරන්නේ පැය 2 – 3 ක් පමණි.
අයවැය කතාව කියවීමෙන් පසු දින සිට කාරක සභා අවස්ථාව එළැඹේ. එහිදී අයවැය තුන්වැනි වර කියවීම සිදු කෙරේ. පසුව අයවැය සඳහා ඡන්දයක් තබනු ලැබේ. එය ජයග්‍රහණය කළොත් ඉදිරි වසර සඳහා සම්මත වූ අයවැය ලෙස කථානායකවරයා අත්සන් කර අනුමත කරනු ඇති බවත් වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා පවසයි.
වත්මන් රජය 2020 සඳහා මහ මැතිවරණය නිසා අයවැය ඉදිරිපත් කළේ නැත. ඒ වෙනුවට රජය 2020 දී අතුරු සම්මත ගිණුම් දෙකකින් ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලදී. පසුව 2021 අවසානයේදී මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂයන් අයවැය ඉදිරිපත් කර රජයේ වැඩකටයුතු වලට මුදල් ලබා ගත්තේ ය.
ආර්ථික, සාමාජික, කෘෂිකාර්මික, අධ්‍යාපනික ගැටලු රැසක් තිබුණත් ලබන වසරේ මුල් කාර්තුවේදී 6.5% ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ ‘ඉදිරි සය මසක පෙරදැක්ම’ මඟින් පවසා ඇත.
එවන් තත්ත්වයක් යටතේ මෙම අයවැයෙන් පොදු ජනතාවට ද රටේ ආර්ථිකයට ද යම් සෙතක් ලැබෙනු ඇතැයි අපේ රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටිති. එය අන් කිසිවක් නිසා නොව රටේ ආර්ථික, සාමාජික හා දේශපාලන ක්ෂේත්‍ර පිළිබඳ නැණවතෙක් මෙන් ම ජනතා සිත් සතන් වලින් නැඟෙන අදහස් පිළිබඳව නිසි අවධානය යොමු කරන දේශපාලනඥයෙක් වන බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිතුමාගේ මංගල අයවැය මේ වන බැවිනි.