කෙටි කෑම­ව­ලට ඉන්දි­යාවේ කුණු අල යෙදූ අල ජාවා­ර­ම්කා­රයෝ දඹු­ල්ලේදී මාට්ටු | Page 2 | සිළුමිණ

කෙටි කෑම­ව­ලට ඉන්දි­යාවේ කුණු අල යෙදූ අල ජාවා­ර­ම්කා­රයෝ දඹු­ල්ලේදී මාට්ටු

දඹුල්ල නග­රා­ධි­පතිවරයා හා මූල­ස්ථාන පොලිස්  පරී­ක්ෂ­ක­ව­රයා ගබ­ඩාව පරික්ෂා කළ අයුරු
දඹුල්ල නග­රා­ධි­පතිවරයා හා මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා ගබ­ඩාව පරික්ෂා කළ අයුරු

න්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කෙටි කෑම නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කරගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතට නොවැම්බර් 28 දින පස්වරුවේ හැකි වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙ‍ෙළඳසලක සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක් තිස්සේ ඉන්දියාව, පාකිස්ථානය සහ වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන අර්තාපල් අල කන්ටේනර් රථ පිටින් දඹුල්ලට රැගෙන විත් ඒවා නැවත කාන්තාවන් යොදා සුද්ධ පවිත්‍ර කරමින් සූක්ෂම ලෙස රට පුරා මහා පරිමාණ සහ කුඩා හෝටල් වල කෑම නිෂ්පාදනයට අලෙවි කිරීම සිදුවන බවට ලද තොරතුරක් මත මෙය අනාවරණය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සිළුමිණට හෙළි කළේය.

ගබ­ඩාවේ ඇතු­ළත

ඒ අනුව තමන් 28 දින පස්වරුවේ ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක් පරික්ෂා කිරීමෙන් මෙය හෙළිදරව් කර ගැනීමට හැකිවූ බව ඔහු සඳහන් කළේය.

නිවාඩු දිනය නිසා නගරාධිපතිවරයා සහ දඹුල්ල පහළ වැව ග්‍රාම සේවා වසමේ නාගරික මන්ත්‍රී චරිත විජේරත්න යන දෙදෙනා සමඟ මෙම අනාවරණය සිදු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වූහ.

ගබඩාවේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම වසා පිටුපස කොටසේ කාන්තාවන් 25ක් පමණ යොදවාගෙන ඉන්දියාවෙන් ගෙනා තිබූ මෙම අර්තාපල් අල මුල් බැස ගෝනිවලින් ගලවා එහි ඇති මුල් සහ අලවල හටගෙන ඇති තවත් කුඩා අල ඉවත් කරමින් සිටින අයුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමඟ සේවයේ යොදවා සිටි කාන්තාවන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම කාන්තාවන්ට කියා සිටියේ ඔවුන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.

විශාල ගබඩාව තුළ අර්තාපල් අල කිලෝ 45000 ක පමණ ප්‍රමාණයක් ගොඩගසා තිබෙන බවත් ඒවා සියල්ල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම අර්තාපල් අල ගෙන් වූ බව කියන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙ‍ෙළඳසලක් බදු පදනම මත පවත්වාගෙන යන පුද්ගලයා දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වා ගැනීමට නාගරික මන්ත්‍රී චරිත විජේරත්න පියවර ගත්තේය.

ඒ අනුව ඒ ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයාගෙන් නගරාධිපති ජාලිය ඕපාත කළ ප්‍රශ්න කිරීම්වලදී මේවා ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් දඹුල්ලට සහ වරායෙන් පිට කළ කිසිදු ලියකියවිල්ලක් තමන් සතුව නොමැති බවද ව්‍යාපාරිකයා පැවසීය.

එමෙන්ම මෙම අර්තාපල් අල හෝටල් සඳහා ලබාදෙන බව පිළිගත් හෙතෙම මේවා ගෙන් වූ තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත් ආහාරයට නොගන්නා බවද මෙම ව්‍යාපාරිකයා පිළිගැනීම් විශේෂත්වයකි.

පසුව දඹුල්ල නගරාධිපතිවරයා වහාම මෙම සිද්ධිය පිළිබඳව දුරකථනය හරහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දැනුම්වත් කළේය.

ඒ අනුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

දඹු­ල්ලට පැමිණ ඇති කන්ටේ­නර් රථ

එම ව්‍යාපාරිකයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම අර්තාපල් අල මෙරටට ගෙන්වූ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

නාගරාධිපතිවරයා ව්‍යාපාරිකයාට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ මින් ඉදිරියට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන සෑම ආහාර ද්‍රව්‍යයකට ම මෙරටට ගෙන්වූ දිනය වරාය පිටත් කළ දිනය සහ ආහාරයට සුදුසු බවට වරාය මහජන සෞඛ්‍යය පරීක්ෂක අංශයෙන් ලබා දුන් ලියකියවිල්ලක් නොමැතිව අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බවය.

එමෙන්ම මෙම මහා පරිමාණ නරක් වූ කුණු අල ජාවාරම් සඳහා නගර සභාවක් ලෙස තමන්ට පමණක් වගකීම් බාර ගැනීමට නොහැකි බවත් මේවා ඉන්දියාවේ සිට නැව් මඟින් වරායට ලැබීමෙන් අනතුරුව වරායේ පවතින නීීති පද්ධතියෙන් එළියට පැමිණ රට මැදට එන්නේ කෙසේදැයි වෙනම පරික්ෂා කළ යුතු බව නගරාධිපතිවරයා පැවසීය.

රට පුරාම ජනතාව දැඩි සෞඛ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙන බවත් මේවා දඹුල්ලට ගෙන ඉන්නේ කෙසේදැයි සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවත් පාකිස්තානය ඉන්දියාව ඇතුළු කණ්ඩායම් වල නියෝජිතයන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා රට පුරා අලෙවි කර ගැනීම සිදුකරන බවද මෙම අර්තාපල් අල ,ලොකු ලූනු ආදී සියල්ල මෙරටට ගෙනවිත් වියදමට වඩා අඩු මුදලක් යටතේ අලෙවි කරන බව නගරාධිපතිවරයා පැවසීය.

දඹුල්ල පොලීසිය සහ මහ නගර සභාව එක්ව මෙම අර්තාපල් අල ගබඩාව සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා ඉදිරි කටයුතු සිදු කරන බව දඹුල්ල පොලීසිය කියා සිටියේය.

ඇසු­රුමේ පැළ වූ අල පෙන්වන  නාගරික මන්ත්‍රී චරිත විජේ­රත්න

නග­රා­ධි­පති ජාලිය ඕපාත  අල ගෙන්වා බෙදන වෙළෙ­න්දාට අව­වාද කළ අයුරු


 

Comments