මුඩු බිම්- වැලි­ බිම් - මඩ බිම් - ගොවි බිම් කළ ‘දිවි නැඟුම’ යළි උපදී | Page 2 | සිළුමිණ

මුඩු බිම්- වැලි­ බිම් - මඩ බිම් - ගොවි බිම් කළ ‘දිවි නැඟුම’ යළි උපදී

දිවි නැඟුම නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජ­ප­ක්ෂ­යන්  එකල දිවි නැඟුම ප්‍රති­ලා­භීන්ගේ ක්ෂේත්‍ර චාරිකාවකදී.
දිවි නැඟුම නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජ­ප­ක්ෂ­යන් එකල දිවි නැඟුම ප්‍රති­ලා­භීන්ගේ ක්ෂේත්‍ර චාරිකාවකදී.

මීට වසර 10 කට පෙර 2011 දී මෙරට ප්‍රථම වරට එළවළු මිල බිත්තර මිල අල බතල අමු මිරිස් මිල සියයට 40 - 60 අතර මුදලක් අඩු වූවා මතකද? 2011 දී සියලු ගෙවතුවල මල් ගස් ගලවා ගොවි බිම් කළා මතකද? අපේ රට බඩ ඉරිඟුවලින් ස්වයංපෝෂිත වූවා මතකද?

 

මීට වසර 10 කට පමණ පෙර අපේ රටේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබල වර්ධනයක් ඇති විය. එයට ප්‍රධාන හේතුව වූයේ එවකට ආර්ථික සංවර්ධන ඇමැති ධූරය දැරූ බැසිල් රාජපක්ෂයන් ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ ‘දිවි නැඟුම‘ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනයි.

එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ පූර්ව මඟ පෙන්වීම අනුව ක්‍රියාත්මක කරන ලද දිවි නැඟුම වැඩසටහන ආරම්භ වූයේ 2011 මාර්තු 12 වැනිදා ය. “ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මවුබිමක්‘ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ දිවි නැඟුම වැඩසටහන නිසා අපේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබල ප්‍රවර්ධනයක් සිදු විය.

මෙරට මුඩුබිම්, වැලිබිම්, මඩබිම්, පුරන් බිම් සියල්ල මහ ගොවිබිම් බවට පත් කරමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වූයේ ග්‍රාම නිලධාරි මට්ටමෙන් කොළඹ නගරයේ වටරවුම්වල පාසල්වල සියලු බිම් හා සියලු ගෙවතු ද සරු ගොවි බිම් බවට පත්විය.

ඒ නිසා ම 2011 මුල් මාස 6 - 7 ඇතුළත මෙරට එළවළු මිල සියයට 60 - 80 දක්වා අඩු විය.

2011 පෙබරවාරි මාසයේ රුපියල් 320 - 350 වූ අමු මිරිස් කිලෝව 2011 අගෝස්තු වනවිට රුපියල් 85 - 90 පමණ දක්වා අඩු විය. 2011 පෙබරවාරිවලදී රුපියල් 120 - 130 දක්වා ඉහළ ගිය කරවිල කිලෝව 2011 අගෝස්තුවල රුපියල් 40 - 60 දක්වා අඩුවී තිබිණි. මේ අනුව මාස 6 ක් ඇතුළත 2011 දී මෙසේ එළවළු මිල සියයට 60 - 75 කින් පමණ අඩු විය. එලෙස 2011 දී මුළු රටේම ජීවන වියදම අඩු කළ මේ තත්ත්වය ඇති වූයේ 2011 දී ආර්ථික සංවර්ධන ඇමැති හා වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් ක්‍රියාත්මක කළ දිවි නැඟුම වැඩසටහන නිසා ය.

එදා ‘දිවි නැඟුම‘ යටතේ රට පුරා පුද්ගලයන් කෝටියකට පමණ සහන සලසවමින් ඔවුන්ගේ ගෘහ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කළේ ය.

දිවි නැගුම යටතේ රටපුරා පවුල් ලක්ෂ 21 කට බීජ ඇට හා පැළ මෙන් ම කුකුළු පැටවුන් හා පෝර නොමිලේ ලබා දුනි. ඒ අනුව ‘දිවි නැඟුම‘ මෙරට නිදහසින් පසු ක්‍රියාත්මක වූ ඓතිහාසික ගෘහ ආර්ථික හා රට අස්වද්දන සුවිශේෂී වැඩසටහනක් වූ බව ආර්ථික විශේෂඥයෝ හා කෘෂිකර්ම විද්‍යාඥයෝ ඇගැයීමට ලක් කළහ.

මේ දිවි නැඟුම වැඩසටහන නිසා අපේ රට 2012 වනවිට බඩඉරිඟු, උදු හා බිත්තරවලින් ස්වයංපෝෂිත විය. එළවළු මිලද අඩුවී එළවළු පරිභෝජනය වැඩි විය. රටපුරා බිත්තර ගොවි පළවල් ඇති කරන ලද පුද්ගලයන් ගණන හා එළවළු හා පලතුරු වවන කුඩා පරිමාණ ගොවීන් ගණන 30 %කින් වැඩි විය. එදා 2011 දී බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ දිවි නැඟුම වැඩසටහනට සමාන ජීවනෝපාය සංවර්ධනය හා ආහාර බෝග වැවීමේ නව දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ඉදිරි යල කන්නයේ යළි ආරම්භ කිරීමට දරිද්‍රතාව තුරන් කිරීම හා ආර්ථික ප්‍රවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සූදානම් වෙයි.

රටේ සියලු නිලධාරීන් හා බලධාරීන් ‘දිවි නැඟුම‘ සාර්ථක කිරීමට පියවර ගත් ලෙසම මේ වැඩසටහනට ද සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ 6 ක් මෙම වැඩසටහනට එක්වෙයි. බීජ ඇට හා පැළ වර්ග මෙන් ම නව කෘෂි තාක්ෂණය මේ යටතේ ගොවි ජනතාවට ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා පවසන්නේ අපේ රටේ වැවිය හැකි දේවල්වලින් මුළු රටටම ප්‍රයෝජන ලබාදීම පිණිස හා ජීවනෝපාය සංවර්ධනය පිණිස නව වැඩසටහන ඉදිරියේදී ආරම්භ වන බවයි.

“මෙම වැඩසටහන ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අපි ජීවනෝපාය සංවර්ධනයට ප්‍රතිපාදන සියයට 40% ක් වෙන්කර තිබෙනවා. ඒ අනුව සමෘද්ධි ආධාර ලබන සියලු දෙනාගේ ම ජීවනෝපාය වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා. සරලව කිව්වොත් මේ අපි යළි පටන් ගන්නේ දිවි නැඟුම තමයි. නමුත් මේක සහනාධාර සංවර්ධන වැඩපිළිවෙළක් නොවෙයි. ස්වයං උත්සාහයෙන් තම දිවිය නඟා සිටුවන වැඩසටහනක්. මෙම ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළ සමඟම ඊට සමාන්තරව ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව හැම කෙනෙකුම තම ගෙවත්ත අස්වද්දාගෙන හොඳ අස්වැන්නක් ගන්නවා නම් ඒ අයට රජය රුපියල් 5000 - 10000 දක්වා මුදලක් ලබාදෙනවා. මුදල් ඇමැතිතුමාගේ උපදෙස් අනුව අපේ රටට අවශ්‍ය දේවල් අපිම හදාගෙන රටේ ජනතාවගේ හා රටේ දියුණුව ඉහළ නැංවීමයි මේ වැඩපිළිවෙළ යටතේ සිදු කරන්නේ. ඒ සඳහා අපේ සමෘද්ධි නිලධාරී බළකායේ ද පූර්ණ සහාය ලබා දෙනවා.

දැනට මෙම වැඩසටහන සඳහා භාණ්ඩාගාර මුදල් වෙන් කිරීමේ හා මූලික ප්‍රවර්ධන සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙයට ගමේ සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් මෙන්ම විශේෂ සේවා නිලධාරීන්ගේත් පූර්ණ සහාය ලබාගන්නවා. කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග, ඉඩම් හා මුදල් යන අමාත්‍යාංශයත් සමඟ බැසිල් රාජපක්ෂයන් සභාපති ධූරය දරන දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ හා ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය මේ සඳහා සහාය ලබා දෙනවා. ඒ අනුව සමස්ත ලෙස මේ වැඩසටහන ක්‍රියාත්මක වූ විට රටේ කිසිම ආහාර හිඟයක් ඇතිවීමට ඉඩක් නැහැ... සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් බණ්ඩාර අබේසිංහ පැවසූයේ මේ ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළ සමඟ ගෙවතු සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු සමෘද්ධි නිලධාරීන් ඇප කැපවීමෙන් කටයුතු කරනු ඇති බවයි.

“අද රටේ තිබෙන ඩොලර් ප්‍රශ්නයටත් ප්‍රධාන විසඳුම පිටරටින් ගෙනෙන ආහාර වෙනුවට අපිම වවා අපිම අනුභව කිරීමයි. ඒ අනුව තමයි පර්චස් 20 ට අඩු ගෙවතු සංවර්ධනය කළ විට රුපියල් 5000 ක් ගෙවනවා. ඒ කටයුතු කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරු අධීක්ෂණය කළ යුතු බවට අලුත් චක්‍රෙල්ඛ නිකුත් වෙයි.

අලුත් වැඩපිළිවෙළ අමාත්‍යාංශ ලේකම්වරු පස් දෙනෙක් අත්සන් කළ යුතුයි.

කෘෂිකර්ම, මුදල්, වැවිලි කර්මාන්ත, රාජ්‍ය පරිපාලන, වාරිමාර්ග හා පරිසර ඒ අතර වෙනවා.

කෙසේවුවත් මේ බැසිල් ඇමැතිතුමා මෙහෙයවන ජීවනෝපාය සංවර්ධන හා ගෙවතු සංවර්ධන වැඩපිළිවෙළ මඟින් රටේ ජනතාවට ආහාර හිඟකමක් ඇති නොවීමට කටයුතු කරන්න පුළුවන්.“ ඉන්ද්‍රජිත් බණ්ඩාර පවසයි.

ජනාධිපති කාර්ය සාධක බළකායේ ඉහළම නිලධාරියෙක් පවසන්නේ මේ වැඩපිළිවෙළ අනුව රටම අස්වැද්දුවොත් අපට මොන ආහාර හිඟයක් ආවත් මුහුණ දෙන්න පුළුවන් බවයි.“

මේ යටතේ සමෘද්ධිලාභී නොවන අඩු ආදායම් ලාභීන්ට සහ පර්චස් 20 සිට අක්කර 1 දක්වා ඉඩම් හිමි ඕනෑම අයකුට වගා කිරීමට අවශ්‍ය බීජ හා පැළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබාදීමට කටයුතු කෙරෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමඟම ගෙවතු වගා කරන අයට සමෘද්ධි ලාභීන්ට යම් වගාවක් කිරීමට සහන අඩු පොලී යටතේ ණය ආධාර ලබාදීමටත් කටයුතු කෙරේ. ඊට අමතර එම පවුල්වල තරුණ තරුණියන්ට රැකියා පුහුණුව සඳහා මුදල් ආධාර ලබාදෙයි.

මේ අනුව මේ නව ගෙවතු අස්වැද්දීමේ හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මඟින් මෙරට ගෙවතු ලක්ෂ 40 ක් අස්වද්දන අතර පුද්ගලයන් කෝටියකට පමණ සෙත සැලසේ. ඒ අනුව බැසිල් රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළට අපේ සියලු බලධාරීන් නිලධාරීන් මෙන් ම මාධ්‍ය ආයතන හා උදව් දිය යුතුව ඇත.

 

Comments