කිතලගම සීලාලංකාර හිමියෝ පා ගමනින් මාතර සිට දිඹුලාගලට | සිළුමිණ

කිතලගම සීලාලංකාර හිමියෝ පා ගමනින් මාතර සිට දිඹුලාගලට

 

කටුක දිවි ගෙවන සිය ජනවර්ගයාගේ සුබසිද්ධිය වෙනුවෙන් උන්වහන්සේ නොපැකිළව පෙනී සිටියහ. දෙමළ බෙදුම්වාදීන්ගේ තාඩනපීඩනවලට ලක්වී උතුරුමැද පළාතේ ගම්බිම් හැරදමා ගොස් සිටි දහස් සංඛ්‍යාත සිංහල ජනයා යළි සිය දිවිපෙවෙත ආරම්භ කළේ උන්වහන්සේගේ මහා සටනේ ප්‍රතිඵලයක් ලෙසටය. නොබියව නොපැකිළව සතුරු බලවේගවලට මුහුණ දුන් දිඹුලාගල හාමුදුරුවෝ දෙමළ බෙදුම්වාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව දැයෙන් සමුගත්හ.

 

මේ, එම යතිවර සෙන්පතියාගේ චරිතය පිළිබඳ අසිරිමත් කතාවේ පළමු වැන්නයි

 

දිඹුලාගල හාමුදුරුවෝ නූතන සංඝ සමාජයෙන් බිහිවූ වීරවරයෙකි. සාම්ප්‍රදායික යති චරිතයට සපුරා වෙනස් මඟක් ගත් දිඹුලාගල හාමුදුරුවෝ යතිවර භූමිකාවට නව හැඩයක් ලබාදුන් භික්ෂුවකි. යතිවරයා වූ කලී සිය හාත්පස සමාජය අමතක කොට නිවන් මඟ සොයන්නකු පමණකැයි අමතක කළ උන්වහන්සේ සිය ජන වර්ගයාගේ සුභ සිද්ධිය ද ඉතිසිතින් පැතූ ජන නායකයෙකි. තමන්ට එරෙහි නඟුණ සතුරු බලවේගවලට එරෙහි වෙමින් සිය ජනවර්ගයා වෙනුවෙන් සටන් කරමින් ද උන්වහන්සේ ප්‍රදර්ශනය කළේ කහ සිවුරේ රැඳුණු මහා බල මහිමයයි.

කලකට පෙර මා සේවය කළ පුවත්පත් කාර්යාලය වෙත අමුතු ආකාරයේ පුද්ගලයෙක් පැමිණියේය. කාර්යාලයට ඇතුළුවීමට පෙරාතුව දැවැන්ත වෑන් රථයක පුරවාගෙන සිටි අත්පා කැඩුණු බිඳුණු පිරිසක් ද එම රථයෙන් බස්සවා මහා හඬක් නඟමින් පුවත්පතේ කර්තෘ මහතා සොයා ඉක්මන් ගමනින් ඇතුළට ගමන් ගත්තේ ය.

“මම තමයි දිඹුලාගල හාමුදුරුවො. මේ අහිංසක මිනිස්සුන්ගේ අත් කකුල් කඩලා. අද තමයි දිඹුලාගල හාමුදුරුවො කවුද කියල මහ එකා දැනගන්නෙ.”

එදා අපේ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූයේ එඩ්මන්ඩ් රණසිංහ ය. ඔහු ඉදිරියේ දිඹුලාගල හාමුදුරුවෝ තම ප්‍රදේශවාසීන්ට සිදුවූ අතවරය ගැන කියන්නට පටන් ගත්තේය.

“මම කල්ලතෝනියෙක් නෙමෙයි. මාතර කිතලගම ඉඳලා පොළොන්නරුවට පයින්ම ගිය මිනිහෙක්. මට නිකාය බේදයක් නැහැ. ඔය තියෙන්නෙ ගොටු අතු නිකාය, පොල් කටු නිකාය කිය කිය එක එක නම්බු නාම. මම පොළොන්නරුවට ගිහින් දිඹුලාගල කියන මහ කැලෑවක ගල්ගේකට වෙලා ඇවිදගෙනම ගියා. ගිහින් වට පිටාව බැලුවම පළාතෙ කිසිවකුටවත් ඉන්න හිටින්න ගෙයක් දොරක් නෑ. වරිච්චි බිත්ති දාල තිබුණ ගෙවල් හතරක් පහක් විතරයි තිබුණෙ. අනිත් ඔක්කොම අය හිටියෙ ගල් ගෙවල්වල පුංචි කිරි සප්පයො ගස් ගල් අස්සෙ සෙල්ලම් කරනවා.

මම උන් හැදුව. උන්ට ඉස්කෝල එක් කොටසක. එක කොටසක මිනිස්සු. ගම්මුලාදෑනියො වෙලා හිටිය හින්ද නම් ගම් දීල තිබුණෙ, ඒ අයගෙ නම් ගම්. මම සිංහල මිනිස්සු පදිංචි කළා. ඒක ඉවසන්න බැරිව ආණ්ඩුවෙ මහ එකා දිඹුලාගලට පොල් අත්තක්වත් අරගෙන යන්න ඉඩ දෙන්නෙ නෑ. මම මේ අරගෙන ආවෙ මහ එකාගෙ ගෝලය කරපු හපන්කම්වලින් අත පය කඩාගත්ත අහිංසක මිනිස්සු. මම කවුද කියන එක රටටම පෙන්වන්න තමයි අද ආවෙ. කවුරු හරි කෙනෙක් මාත් එක්ක එවන්න මහත්තයො.”

දිඹුලාගල නායක හාමුදුරුවන් සමඟ පැමිණි අත පය කැඩුණු පිරිවර සමඟ මම ද ගියෙමි. වාහනය නතර වූයේ කොළඹ වෝර්ඩ් ප්‍රදේශයේ පිහිටි එදා ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ නිවෙස ඉදිරිපිටය.

හිමි ගමන ඉක්මන් විය. දොරටුව අසලට ගිය දිඹුලාගල හාමුදුරුවන්ට දොරටුව විවෘත නොවීය. එහෙත් අඩි 3ක් පමණ උසට තනා තිබූ තාප්පයට දෙඅත් තබා දෙතුන් විටක් දෙපස විපරම් කර බැලූ හිමියන් කෑ මොර දෙන්නට විය.

“බලපන් මහ එකෝ. මේ ගෙදර ඉස්සරහ ඉන්න එකෙක් ඇවිත් මගේ මිනිස්සුන්ගෙ අත පය කැඩුවා. උන් අහිංසකයො. ඉන්න හිටින්න තැනක් නැතිව ගෙයක් දොරක් හදාගන්න මගේ වැයික්කියට පොල් අතු ගෙනාවා කියල. මම මේ මොර ගහන්නෙ මහ එකාට විතරක් නෙමෙයි. ඉස්සරහ ගෙදර ඉන්න පෝල් පෙරේරාටත් ඇහෙන්නයි.”

තමන්ගේ නිවෙස ඉදිරියට විත් කෑගසන දිඹුලාගල නාහිමියන් සතු ශක්ති විශේෂය මේ වනවිට ජනාධිපති ජයවර්ධන ද දැනගෙන සිටි නිසාදෝ කිසිදු බාධාවක් එල්ල නොවී ය.

මා ලේක්හවුස් ආයතනයේ කටයුතු කරද්දී එවකට ‘සිළුමිණ’ පුවත්පතට දිඹුලාගල නායක හාමුදුරුවන් පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බෙනඩික්ට් දොඩම්පෙගම මහතා විසින් ලියන ලද දීර්ඝ ලිපියක් කියවා තිබුණ නිසා ඇත්තටම උන්වහන්සේගේ ගමන් මඟ පිළිබඳව ක්‍රමවත් තොරතුරු එක් කිරීමක් කළ යුතු යයි සිතක් පහළ විය. පසුදාම හිමියන් සමඟ දිඹුලාගලට යා යුතු යයි තීරණය කළෙමි. උන්වහන්සේ සමඟ එය පැවසූ විට අතිශය සතුටට පත් හිමියන් එයට අවසරය දුනි. කොළඹ පිටකොටුවෙන් රෑ දොළහට පොළොන්නරුව බලා ගමන් ගන්නා බස් රථයකින් අපි ගමන ආරම්භ කළෙමු. රෑ දොළහේ සිට එළිවන තුරා හාමුදුරුවන් සමඟ එකම අසුනේ හිඳගෙන වසර තිහ - හතළිහක අතීත පුවත් එකින් එක අසා දැනගතිමි. අදින් ඇරැඹෙන්නේ හිමියන් එදා පැවැසූ ඒ අපූරු කතා පුවතයි.

 

* * * *

 

මාතර කිතලගම උපන් දිඹුලාගල හාමුදුරුවන්ගේ ගිහි කල නාමය වූයේ ‘හේවාදූලිගේ චාර්ලිස්’ ය. දෙමහල්ලෝ ගමේ අනෙක් පවුල්වල අය මෙන් ම කටුක දිවි පෙවෙතක් ගත කළහ. පවුලට සිටි එකම දරුවාට අධ්‍යාපනයක් ලබාදිය යුතු හෙයින් ගමේ පාසලට යැවීය. පාසලේ මුල් ගුරුවරයා සැර පරුෂ පුද්ගලයකු වූ නිසා චාර්ලිස්ගේ පාසල් ගමන එතරම් ආසාවෙන් සිදුවූවක් නොවීය. දඟකාර කොලු වයස පසු කරමින් සිටි තම දරුවා එන තුරු අම්මා හැම දිනකම මඟ බලා සිටියාය. දිගට ඇඳගෙන ආ සරොම් කඩ මාල්ල ද තුත්තිරිවලින් පිරී තිබෙන නිසා තුත්තිරි ගලවමින් ආ චාර්ලිස් ගල්ලෑල්ල, ගල් කූර පසක තැබුවේය.

“අම්මෙ මට මහන්සියි වතුර ටිකක් දෙන්න”

එක හුස්මට වතුර වීදුරුවක් දිගටම බීගෙන බීගෙන ගිය චාර්ලිස් විනාඩි කීපයක් ගොම මැටි ගා තිබූ නිවෙසේ පසකට වී සිටියේය.

“මොකද පුතේ අද වෙනද වගේ නෙමෙයි කවුරු හරි පුතාට මඟදි කරදරයක් කළාද?”

“අම්මන්ඩි මෙන්න බලන්න. මගේ ඔළු කට්ට හිල් වෙන්න අර මහ ගුරා ටොකු පාරක් දුන්න. මට ආයෙමත් ඔය ඉස්කෝලෙ පැත්ත පළාතට යන්න බෑ.”

චාර්ලිස්ගේ අම්මා තම පුතණුවන්ගේ හිස අත ගා බැලීය. කුද්දෙටුවක් තරම් මහතට පුතාගේ හිසේ බිබිලක් මතු වී තිබිණ. හනි හනිකට කුස්සියට ගිය මෑණියන් උණු අළු පොට්ටනියක් ගෙනැවිත් චාර්ලිස්ගේ හිස තවන්නට විය.

“අන්න තාත්තා එනවා. උඹ කියාපන් තාත්තට ඉස්කෝලෙදි වෙච්ච සංහදිය.”

චාර්ලිස් පසකට වී සිටියදී අම්මා තාත්තාට කියන දේ අසාගෙන සිටියේය.

“අපේ කොල්ල මොකටද මේ පර හැත්ත ගෙන් ගුටි කන්නෙ. ඉස්කෝලෙ යන්නත් කැමති නැත්නම් මූ මහණ කරමු. සාසනයට වුණත් වැඩක් කරාවිනේ.”

දෑත් උඩුකරගෙන ඇඳ සිටි සරොම පිටින්ම ගේ වටා රවුමක් දෙකක් දුවගෙන ගිය චාර්ලිස් මොනවත් නොදුටු ලෙස සිටියේ මහණ වෙන්න පෙරුම් පුරාගෙන සිටියකු ලෙසිනි.

“පුතේ මෙහෙ වරෙන්. උඹ ඉස්කෝලෙ ගියා ඇති. හැමදාම මොකටද අනුන්ගෙන් ටොකු කකා ඉස්කෝලෙ යන්නෙ. උඹට මහණවෙලා බණ දහම් රකින්න පුළුවන් නම් අපේ පන්සලට ගිහුන් මහණ කරවන්නම්.”

මහණ වෙලා බණ කියන්න ඇත්නම් කොච්චර හොඳද? ඔහුගේ සිතට දැඩි සතුටක් දැනිණ.

“තාත්තෙ මම මහණ වෙන්න ආසයි.”

දෙමාපියන් සහ නෑදෑයින් සමඟ අටපිරිකරක් හිස මත තබාගෙන ගමේ පන්සලට චාර්ලිස් ගියේ මහණ වීමේ අදහසිනි. පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ එන පිරිස දෙස ඈත තියාම බලා සිටියේය.

“මුන්ගෙ පරම්පරාවෙ එවුන් පන්සල අයිති කරගන්න කරන උප්පර වැට්ටියක්. ආපුදෙන්කො මෙතැනට.”

එතනින් මේ පිරිස පන්නා ගැනිණ.

අසල පිහිටි විල්පිට ආරණ්‍ය සේනාසනයට ගිය කණ්ඩායම සේනාසනාධිපතිව වැඩ සිටි උඩුපිහිල්ලේගොඩ පඤ්ඤාලංකාර හිමි ඉදිරියේ වැඳ වැටුණහ. නා හිමියන්ට ජ්‍යොතිෂය පිළිබඳව ගැඹුරු දැනුමක් විය. වේලාපත්කඩය බැලූ හිමියෝ දැඩි සතුටකට පත්වූහ.

“මහ පින්වන්ත දරුවෙක්. රටක් හොල්ලන කෙනෙක් වෙනවා. මම මේ දරුවා මහණ කරනවා.”

දෙමාපියෝ දැඩි සතුටකට පත්වූහ. කලක් ගත විය. සම වයසේ පසුවූ හාමුදුරුවරුන් සමඟ මහණ දම් පුරන්නට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර හදාරන්නට වූයේ දැඩි ආශාවකිනි. පාසලේදී මෙන් පුටු යට රිංගවන්නට එක පිට එක ටොකු අණින්නට, පිට හරහට වේවැල් පහර දෙන්නට ගුරු හිමියන් කිසි විටෙකත් ඉදිරිපත් නොවීය. ගුණ කරුණාව, දයාව ලැබිණි.

කිතලගම සීලාලංකාර නමින් පැවිදි ජීවිතය ගත කරන මේ හිමියන්ට එක් දිනක් තරමක නරක ආරංචියක් ලැබිණ.

“නායක හාමුදුරුවො මහ රෑ දොළහට හැමදාම හොර ගමන් යනවා.”

“ඉතින් අපි පිටි පස්සෙන් ගිහින් බලමු. යන්නෙ කොහේද මොන තැනකටද කියල...” සීලාලංකාර හිමියෝ කීහ.

“මහ රෑ දොළහට? යක්කු ගස් නඟින වෙලාවෙ අපිට නම් බෑ. උන්නාන්සෙට යන්න බැරියැ. අනිත් එක අපට මොකද කොහේ ගියත්.”

“සීලාලංකාර හිමියන්ට මෙය ඇදහිය හැකි නොවීය. සීලවන්ත හිමි නමක් ලෙස නායක හාමුදුරුවන්ට මුළු පළාතම ගරු කරන හෙයිනි. එහෙත් මෙය පුංචි හාමුදුරුවන්ට ඇදහිය නොහැකි විය. ඇසිල්ලකින් ලැගුම් ගෙයි දොර පියන් ඇරෙන හඬක් ඇසිණ.

“හරියට හරි. ඔය එළියට බැස්සෙ මමත් යනව පිටිපස්සෙන්. වෙන දෙයක් වුණාවෙ.”

හඳ එළියක් නොවුවද අහසේ විසිර තිබූ තරු එළිය මිනිසකු හඳුනාගත හැකි තරම් විය. නාහිමියෝ කෙළින්ම වැඩම කළේ සොහොන් පිටියටය. අලුත වැළලූ මළ මිනියක් සහිත මිනී වළක් ඉස්මත්තේ උන්වහන්සේ හෙමින් ගමන් කරති. වරක හිඳගෙන භාවනා කරති. පැයක් පමණ මේ දුෂ්කර භාවනාවේ යෙදී ආපසු වඩින හිමි කෙරේ සීලාලංකාර පුංචි හිමියෝ තුළ දැඩි භක්තියක් ඇති විය.

සම වයසේ වූ අනෙක් හිමිවරු තම කටයුතුවල යෙදෙද්දී සීලාලංකාර හිමි නායක හාමුදුරුවෝ අනුව සොහොන් පිටිවලට පාළු කෑලෑවලට ගොස් භාවනා කරන්නට පටන් ගති. කැලෑ ගහකොළ සතා සිවුපාවුන් කෙරේ ළදරු සිතක වන බිය සැක තුරන් වීය. උපන් මේ අත් බවෙහි අනුනට කළ හැකි මෙහෙවරක යෙදෙන්නට තරම් සිත තුළ දැඩි උද්‍යා්ගයක් පැන නැඟිණ.

පන්සලේ සිට තම මාපියන් රැක බලාගන්නට වැඩම කරන සීලාලංකාර හිමියන්ට තම පියා ගැන නරක ආරංචියක් අසන්නට ලැබිණ. තාත්තා බේබදුකමට ඇබ්බැහිවී හවස් කාලයම සිහි මඳ ගතියෙන් සිටින බව මවගෙන් දැන

ගන්නා සීලාලංකාර හිමියෝ ඒ නරක පුරුද්ද නතර කරන ලෙස තාත්තාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. දින කීපයක් මේ ගැන අවවාද කළත් පියාගෙන් එයට ප්‍රතිචාර නොලැබිණ.

“උදේ ඉඳල හවස් වෙනකම් පොළොව එක්ක හැප්පෙනව. හවසට ඇඟපත මහන්සිය යන්න රා ටිකක් බොනවා. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?” පියාගේ උත්තරය එය විය.

“ඔය කැත පුරුද්ද අත් ඇරියෙ නැත්නම් මම මේ ගෙදර පස් පාගන්නෙ නෑ.”

පන්සලට ගිය හිමියන්ට සිහිපත් වූයේ කලකට පෙර ලොකු හාමුදුරුවන් සමඟ පොළොන්නරුවට ගිය වන්දනා ගමනයි. කිසිවකුටත් නොදන්වා සීලාලංකාර හාමුදුරුවෝ 1948 අවුරුද්දේ පොළොන්නරුවට වැඩම කළහ. පොළොන්නරුවේ කදුරුවෙල ශ්‍රී බුද්ධ ජයන්ති විහාරයට වැඩම කළ හිමියන්ට ගම්වැසියෝ ගරු සත්කාර කළහ. එහෙත් මෙතෙක් කල් පුහුණු කළ වත්පිළිවෙත් ඉදිරියට ගෙන යාමට එහි පරිසරයක් නොවීය. එතනින් පලුගස්දමනට ගිය සීලාලංකාර හිමියෝ පාළු බිම් කඩක තුරු සෙවණකට වී භාවනා කරමින් වත්පිළිවෙත් පුරන්නට වූහ. පිණ්ඩපාතයේ වඩිමින් භාවනා කරමින් ගෙවූ ජීවිතය තුළ මානසික සැනසීමක් දැනෙන්නට විය. ක්‍රමයෙන් සිය පෙදෙස ජනාකීර්ණ වත්ම ගෙවූ ආගමික පරිසරය දෙදරා යන්නට විය.

වාසස්ථානය වෙනස් කළ යුතු යයි සිතමින් සිටියදී හඳපාන්විල ප්‍රදේශයට දිගින් දිගටම මහ වැසි වැටෙන්නට විය. ගං වතුරෙන් පිරී යන්නට විය. ධාරානිපාත මහ වැස්සේ තෙමි තෙමී සීතලෙන් ගැහි ගැහී ඉදිරියට ගමන් කළ සීලාලංකාර හිමිගේ ගමන ඉක්මන් විය. නොදන්නා පළාතක මහ කැලේ අතරමං විය. අලි කොටි වලසුන් ගහණ වනයේ හසරක් නොදැක ඉදිරියට යන හිමියන් ඉදිරියේ ගමන් ගන්නා මිනිසකු දක්නට ලැබිණ. හැඩි දැඩි පුරුෂයකු වූ ඔහුගේ කර මත කිරි කළ දෙකක් සහිත කඳක් විය.

“උන්නැහේ පොඩ්ඩක් නවතිනව. පිණ්ඩපාතයක් කරගන්න ගෙයක් දොරක් පෙන්වනවද? මම මේ අතරමංවෙලා.”

හැඩි දැඩි මිනිසා නතර විය. කිරි කළ සහිත කඳ බිම තැබීය. හිමියන්ගේ පාත්‍රය කිරෙන් පිරවීය. ආගන්තුකයාට පින්දුන් හිමියන් ඉදිරියට යද්දී හැඩි දැඩි මිනිසා පසු පසින් එයි. මිනිස් කටහඬක් ඇසෙන තෙක් මානයක ගමන් ගනිද්දී කිසිවක් නොදොඩා පසුපසින් එන මිනිසා දෙස බැලූහ. ඔහු අතුරුදහන්ව ඇත.

අලුත් ගම්මානයකට පැමිණි හිමියන්ට දැඩි සතුටක් දැනිණ. එයින් පැල්පත් රාශියකි. සීරුවෙන් දුව ඇවිදින කුඩා දරුවෝ හිමි දකිත්ම පැල්පත් තුළට ගොස් කෑ ගසති. ඉඳහිට වැඩිහිටියකු දුටුව ද ඒ කිසිවකුට තමන් අසන දෙයට උත්තර දෙන්නට නොහැකි වූයේ ඔවුන් දෙමළ බස පමණක් දන්නා අය වීම නිසාය. ඉදිරියට වැඩ කරන හිමියන්ට කුඩා දරුවකුගේ හඬ ඇසිණ.

“අන්න හාමුදුරු කෙනෙක් එනවා”හිමියෝ ඒ ගෙදරට වැඩම කළහ. තොරතුරු අසා දැනගත්හ. ගමේ නම සොරිවිල විය. ගම කෙළවර ගල්ලෙනක් ඇති බව ද ගෙහිමියා හිමියන්ට කීය. දැඩි සතුටට පත් උන්වහන්සේ ගම කෙළවර පිහිටි ‘කොටරාගල’ නමැති ගල්ලෙනට වැඩම කොට ඒ තුළ කොළ අතුරා වැඩ හිඳින්නට වූහ. භාවනා කරමින් දිවි ගෙවන්නට ලැබුණ හෙයින් පොළඟුන්, කරවලුන් ගැවසෙන තැනක් වුවද උන්ගෙන් හිමියන්ට ගැහැටක් නොවීය. ගමේ සිටි එකම සිංහල පවුල හිමියන්ට ඇප උපස්ථාන කරන්නට විය. 

Comments