බුදුසමයෙන් පෝෂිත බෞද්ධ කැටයම් | සිළුමිණ

බුදුසමයෙන් පෝෂිත බෞද්ධ කැටයම්

 

චාල්ස් රණතුංග

බස්නාහිර පළාත් හිටපු සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ

 

බුදුසමය සහ කලාව එකිනෙකට වෙන්කර නිගමනයන්ට එළඹීම දුෂ්කර කාර්යයකි. බුදුසමය හා සබැඳි කලා කෘති අතර චිත්‍ර මූර්ති හා කැටයම් ප්‍රධාන වේ. බුදු දහමින් කලාවත් කලාවෙන් බුදු දහමත් පෝෂණය විය. ඒ සංකල්පය බුදුදහමට පමණක් නොව හින්දු හා කතෝලික ආගමටත් බලපෑවේ ය.

බෞද්ධ කැටයම් කලාව ඉතා පුළුල් විෂය පථයකි. සියලු කලාවන්හි අලංකාරයට මෝස්තර රටා හා සැරසිලි ඉවහල් වන්නා සේ ම කැටයම් ත්‍රිමාණ ස්වරූපයක් ගනී. බෞද්ධ කලා කෘතිවලට සමානවම හින්දු දේව ප්‍රතිමා සියුම් කැටයමින් අනූනය.

බොදු සිත්තමක අලංකාරය විදහා දක්වන්නේ සැරසිලි රටා හා මෝස්තරවලින් පරිපූර්ණ වූ විටය. එමෙන් බුද්ධ ප්‍රතිමා ඇඳීමේ ඇඹීමේ හා නෙලීමේ ක්‍රියාවලිය සමඟ නෙලුම් මල් හා ලියවැල් ආශ්‍රිත රටා යෙදීම සම්ප්‍රදාය වේ. බුද්ධ ප්‍රතිමාවක ප්‍රභා මණ්ඩලය බාහිර තීරුව රටා සැරසිලි යෙදීමෙන් පසු එහි පූර්ණ බවක් දැක්වේ.

මෙම ලක්ෂණ අතීතයේ සිට මේ දක්වා සෑම බුදු මැදුරකම ඉඳි, හිටි, සැතපෙන සෑම ප්‍රතිමාවක් ම අලංකාර කොට ඇත. බෞද්ධ කැටයම්හි ආරම්භය හා විකාශනය කෙටි ලිපියකින් විග්‍රහ කිරීම අසීරු ය. පරමාදර්ශී වූ බුදු රජුන් ගේ ප්‍රතිමාවේ ආරම්භය හා විකාශනය ද මෝස්තරා කාරයි. උන්වහන්සේ ගේ සූවිසි වියරණය හා පන්සිය පනස් ජාතිකය ද මෝස්තරාකාර ය.

නෙළුම්මලක පෙති විහිදී යන අයුරු ජ්‍යාමිතික හා මෝස්තරාව පිහිටා ඇත. බුදුන් වහන්සේගේ උපත, බුදුවීම හා පිරිනිවීම ත්‍රිකෝණාකාරය. මෙම ත්‍රිත්ව අවස්ථා කේන්ද්‍ර කොටගෙන බුදු දහමේ විකාශනය හා ව්‍යාප්තිය සිදු විය. සියලු න්‍යායන්, සියලු ප්‍රශ්නවලට විසඳුම් බෞද්ධ දර්ශනයේ අන්තර්ගතයේ ඇතුළත් වේ.

එමෙන් එය විද්‍යානුකූලවේ. බුදු සමය හා මාක්ස්වාදය හා වෙනත් න්‍යාය වාදවල සුබ අසුබ තැන් ද බුදු දහම ආගමටත් විද්‍යාවටත් සම විසම වන අයුරුද විග්‍රහ වන්නේ බෞද්ධ දර්ශනය තුළය.

මේ සියල්ල මෝස්තරාකාරය. ඊට අනුව බුදු සමයෙන් පෝෂිත චිත්‍ර, මූර්ති කැටයම් සහ සියලු වාස්තු විද්‍යා නිර්මාණ කෙරෙහි රටා හා මෝස්තර බල පා ඇත. චෛත්‍ය හා චෛත්‍ය අවට කලා කෘති සියල්ල සංඛ්‍යාත්මකව හා විද්‍යානුකූලව ද අධ්‍යාත්මික හා භෞතික වශයෙන් ද මෝස්තරාකාරය.

මිනිසාගේ ඉතිහාස කථාවේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික නායකයා බුදුන් වහන්සේ ය. එය ලොව පිළිගත් සත්‍යයයි. උන් වහන්සේ දේශනා කළ ධර්මය නිසා එය ස්ථාපිත වී ඇත. ‘බුද්ධ‘ යන වචනයෙහි අර්ථය ‘අවධි වූ තැනැත්තා‘ යන්නයි. එය දාර්ශනික මතයයි. ඒ තුළින් බෞද්ධ කලාව ද ජනයා ද අවධි විය. අවධි වූ බෞද්ධ කලාවේ බොදු කැටයම් සුවිශේෂී තැනක් ගනී.

මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති සංස්කෘතිය වෙනස් මගක් ගත්තේ ය. මහින්දාගමනයට පෙර හා පසු ආසන්න සිද්ධි මෙරට කලා ශිල්ප කෙරෙහි බලපෑ අයුරු විමසීමේදී දේශීය කලා ශිල්පියාගේ නිපුණතාවය, කුසලතාවය හා බැඳීම කලාවේ විකාශනයට හේතුවක් විය.

බුදුන් තෙවරක් (එනම් වංශ කථාවල සඳහන් පරිදි) බුද්ධත්වයෙන් සත් මසකට පසු පළමු ගමන, බුද්ධත්වයෙන් වසර පහකට පසු දෙවන ගමන, බුද්ධත්වයෙන් වසර අටකට පසු තෙවන වර ගමන ශ්‍රී ලංකාවට වැඩි බව වංශ කථාවල සඳහන් වේ.

එසේ නම් බුදුන් ජීවමානව සිටියදීම මෙරට වැසියා බුදු දහම හඳුනා ගත් බවත් බුදුන් සරණ ගිය බවත්, මහින්දාගමනයෙන් සිදුවූයේ එහි ප්‍රතිසංස්කරණයක් වූ බවට තර්ක කළ හැකි ය.

හෙළ කලා ශිල්පියාගේ විශිෂ්ටතම නිර්මාණ ලෙස සලකන මකර තොරණ හා සඳකඩපහණ බොදු සංකල්පය නිරූපණය කරයි.

මේ දෙකෙහි ගැඹුරු අර්ථ දෙකක් නිරූපිතය. මකර තොරණ තනිකර බෞද්ධ අර්ථයකට වඩා ගාම්භීර හා අනභිභවනීය අර්ථය ගෙන දෙන අතර මකර රුව දෙපස ඉහළ ඉර සඳ යෙදීමෙන් සදාකාලික බව නිරූපිතය. සඳකඩපහණේ පොදු අර්ථය නිවනට මඟ යන්නයි. සඳකඩපහණේ කවයෙන් කවය ආගමික අර්ථය ගෙනදේ.

ඒ අනුව හෙළ කැටයම් ශිල්පියාගේ සෑම කලා කෘතියකම අර්ථයක් ඇත. නෙළුම් මලින් පවිත්‍රත්වය ද පුන්කලසින් පිරිපුන් බව ද මුරගලින් හා බහිරව හා වාමන රූපවලින් ද දෙන පණිවුඩය වැදගත් ය.

ඇඟිලි තුඩයි ගල් කටුවයි ඉවසීමයි තැන්පත් මනසයි යහපත් චේතනාවයි කුසලතාවයයි නිපුණත්වයයි එක්වූ ශිල්පියාගෙන් බිහිවූයේ අතිශය රමණීය නිර්මාණයකි. මේ සමඟ සිද්ධාන්ත හා ශිල්පිධර්මවලට අනුකූලව නිර්මාණයේ නියැළීමට ඔහු අමතක කොට නැත.

මකරා ජලජ සතෙකි. චීනය ජපානය මකරා ඔවුනගේ සංස්කෘතික අංගයක් ලෙස සලකති. මකරා කල්පිත නිර්මාණයකි. ඇත් සොඬ, සිංහ පාද, ඌරු කන්, වඳුරු ඇස්, මාලු ඇඟ හා ගුරුලු පියාපත් ඒකාබද්ධ කොට නිර්මාණය කොට ඇත. ඉසුරුමුණි විහාරයේ සහ රත්න ප්‍රාසාදයට අයත් මුරගලෙහි ද කලාත්මක මකර රුව දක්නට ඇත. සත්ව කොටස් ආශ්‍රිත කලා කෘති නිර්මාණය ග්‍රීක හා මිසර කලා කෘති හා චිත්‍රවල බහුලව දක්නට ඇත.

මීට දශක තුනකට පෙර ඇතැම් විද්වතුන් සඳකඩපහණ කලා කෘතියක් නොව පූජනීය ස්ථානයන්හී ගෙබිම සරසන අලංකාර අඩ සඳක හැඩය ගත් සැරසිල්ලක් හෝ පා පිස්නක බවට තර්ක කළහ. එහෙත් ඔවුනට එම මතය සනාථ කිරීමට සාධක නොමැති විය.

භාරතීය ආන්ද්‍රාදේශයේ බෞද්ධ සිද්ධස්ථානවල සඳකඩපහණවල් තිබී ඇත. එකල කැටයම් රහිත පැතලි අර්ධ චන්ද්‍රාකාර ගල් පුවරුවක් නාගර්පූනි කොණ්ඩ ස්ථානයෙන් හමු විය. අමරාවතී ජග්ධෛර්යප්‍රේන වැනි ස්ථානවලත් මෙවැනි සඳකඩපහණවල් හමු විය. මෙරට ගල් කැටයම් ශිල්පියා මෙහි ආභාෂය ලබන්නට ඇත.

සඳකඩපහණේ විකාශනය යුග අනුව වෙනස් වේ. අනුරාධපුර යුගයේ හොඳම කලාත්මක සඳකඩපහණ හමුවන්නේ බිසෝ මාලිගය ඉදිරිපිටින් ය.

අනුරාධපුර යුගයේ සත්ව වැලෙහි සිටි සතුන් හතර දෙනාගෙන් ගොන් රුව ඉවත් කිරීමට පොළොන්නරු කැටයම් ශිල්පියාට සිදුවිය. මේ කාලය වනවිට සොලී හා පාණ්ඩ්‍ය ආක්‍රමණ හේතු කොට ගෙන එය කලා කෘති කෙරෙහි ද බලපෑවේ ය. ගවයා හින්දුවරුන්ගේ පූජනීය වස්තුවක් වන නිසා සඳකඩපහණින් ගව රූපය ඉවත් කළ අතර මෙකළ සිංහල කැටයම් ශිල්පීන්ට වඩා දකුණු ඉන්දීය ගල් වඩුවන් පැමිණෙන්නට ඇතැයි සිතිය හැක. මේ යුගයේ ඉදිවූ අංක 1 හා අංක 2 ශිව දේවාල මෙහි ප්‍රතිඵලයකි.

පොළොන්නරු යුගයෙන් පසු මහනුවර යුගයේදී මූලික හැඩය පවා වෙනස් විය. කල්යාමේදී එහි වූ රූකම් පවා අඩු විය. ඇතැම් සඳකඩපහණවල් ලියවැලට සීමා විය. මේ යුගයේ හොඳම සඳකඩපහණ හමුවන්නේ දළදා මාලිගය අභියසයෙනි. මේ යුගයේ කලාකෘති අතර කැපී පෙනෙන්නේ නෙළුම් මල හා ලියවැල් සහිත වියන්තල රටාවන්ය. මේ යුගයේ කලා කෘතිවල කලාත්මක බව ගිලිහී යාමක් දක්නට ඇත.

ශිල්පීය ක්‍රම අනුව කැටයම් වර්ග කර ඇත. අල්ප උන්නත එක් වර්ගයකි. බොහෝ විට සඳකඩපහණ අල්ප උන්නතය. අර්ධ උන්නත හා අධි උන්නත නැතහොත් පූර්ණ උන්නත කැටයම් යනුවෙන් වර්ග කොට ඇත. ඉසුරුමුණි කැටයම් පිළිබඳව විවිධ මත පවතී.

ඇතමකු එහි ලෞකික බවක් පෙන්වන අතර සියලු ලෙස විග්‍රහ කිරීමේදී එහි ආගමික නැඹුරුවක් තිබෙන බවට තර්ක කළ හැක. එහෙත් නාලන්දා ගෙඩිගෙයට අයත් මිථුන කැටයම් හා යාපහුව කැටයම්හි පවතින්නේ ආගමික නැඹුරුවකින් වෙනස්වූ බවකි.

එහෙත් මෙරට කැටයම් ශිල්පියාගේ දක්ෂතාවය ඉස්මතු වන්නේ අනුරාධපුර යුගයට අයත් බුද්ධ ප්‍රතිමා දෙස බලන විට ය. මහමෙවුනාවේ සමාධි ප්‍රතිමාව, තොලුවිල ප්‍රතිමාව හා අවුකන හිටි පිළිමය සහ මේ යුගයේ සෙසු සෛලමය ප්‍රතිමා ඉන්දීය ප්‍රතිමාවලටත් වඩා අධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන් ය.

පොළොන්නරු ගල් විහාරයට අයත් ඉඳි, හිටි, සැතපෙන පිළිම තුන විශිෂ්ට නිර්මාණවේ. අවලම්බා කාරව පිහිටි ගලේ ම හැඩයට අනුරූපීව පිළිම නෙලීමට ශිල්පියා සමත්වී ඇත. ඉඳි පිළිමයේ කලා ලක්ෂණ අනුව ඉන්දීය ගුප්ත යුගයේ පිළිමවලටත් වඩා ශාන්ත බව දැක්වේ. මේ පිළිමයේ පිටුපස වූ තොරණ ඉන්දීය පල්ලව ගෘහ නිර්මාණ ශිල්පීය කලා ලක්ෂණ මතුවී පෙනේ.

සැතපෙන පිළිමයේ ලුහු කර දැක්වීමේ ලක්ෂණ තුළින් කැටයම් ශිල්පියාගේ දක්ෂතාවය ඉස්මතු වේ. සැතපෙන පිළිමය අසල වූ හිටි පිළිමය කලා විචාරකයින්ගේ ආන්දෝලනාත්මක මතවලට භාජන විය.

පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් නෙලා ඇති මේ ප්‍රතිමාවෙන් බුදුන් වහන්සේ නිරූපණය වන බව ඇතැමෙකු පවසයි. තවත් විචාරකයින් මෙය ආනන්ද හිමියන්ගේ බවට කියත්. ගල්විහාරයට අයත් මෙම ප්‍රතිමාවන්හි චීවරය අමරාවතී ශෛලිය අනුව කැටයම් කර ඇතැයි පිළිගත් මතය වේ.

පොළොන්නරු යුගයෙන් පසු මහනුවර යුගයේදී ගලින් පිළිම නෙළීම ක්‍රමයෙන් අඩුවූ අතර බදාමයෙන් ප්‍රතිමා ඇඹීම ආරම්භ විය. මේ අතර සියුම් කැටයම් නෙලීමේ ශිල්පීහු ඇත්දළින් ප්‍රතිමා නෙලීම දක්නට ලැබේ.

මේ යුගයේ බුද්ධ ප්‍රතිමාවේ පිරිහුණු කලා ලක්ෂණ වර්ධනය වන අතර හින්දු දේව ප්‍රතිමාවන්හි පෙනෙන ලක්ෂණ මෙකළ ශිල්පියාට බලපෑවේය. තවද ලෙන් චිත්‍ර හා විහාර බිතු සිතුවම් කෙරෙහි අවධානය යොමුවීම තවත් ලක්ෂණයකි.

දේශීය බෞද්ධ කැටයම් සේම විදේශීය බෞද්ධ කැටයම් අතර භාරතීය ගුප්ත යුගය අතිශය වැදගත් වේ. බුදුදහමේ ඓතිහාසික උරුමය, බෞද්ධ සාහිත්‍යෙය් රසාලිප්ත බව ආරක්ෂා කරගනිමින් බුද්ධ කාලීන සියලු ස්ථාන සංරක්ෂණය කිරීම කෙරෙහි ඉන්දීය රජයට අප ණයගැති විය. විශේෂයෙන් අශෝක යුගයේ කැටයම් තවදුරටත් ආරක්ෂා කරගැනීම වත්මන් පරපුරේ වගකීමකි.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ක්‍රි. පූ. 486 සහ 360 අතර වසරක සිදුවූ බව වංශ කථාවල සඳහන් ය. බුද්ධ පරිනිර්වාණය සිදුවූ ඒ ආසන්න කාලයේ ම සංගායනාවන්ගෙන් පසු බුදුන් දේශනා කළ ධර්මය ලේඛනගත කිරීම සිදු විය.

වසර ගණනාවකට පසු බුද්ධ චරිතය හා ජාතක කථා ප්‍රතිනිර්මාණය කිරීම කලා ශිල්පීන් දෙසට යොමු කිරීම එකල පාලකයින් විසින් කරන්නට ඇත.

ගල් කටුව පාවිච්චි කිරීමට පෙර කලාකරුවා තම මතකය අලුත් කරගැනීමට සහ ප්‍රතිනිර්මාණය කිරීමට යන සිද්ධිය තහවුරු කරගැනීම පිණිස බුද්ධ චරිතාපදාන කථාවකින් උපදෙස් ලබාගත්තේය. එයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. කලාකරුවෝ තම නිර්මාණාත්මක උද්දීපනයක් කෘතීන් තුළින් ලබාගත්හ.

බුදුරුව සිත්තමට නැඟීම ක්‍රමයෙන් ඇඹීම නෙලීම බුදුන් ජීවමාන කාලයේම ආරම්භ වූ බවට සාධක ඇත. අනෙකුත් චරිත වස්තු හා පරිසරය කලාත්මක අංශයට යොමු වූයේ ඉන්පසුවය. ඊට ආසන්න කාලය ගුප්ත යුගයේ අශෝක සමයයි. මෙය බෞද්ධ කලාවේ ආරම්භක ස්වර්ණමය අවධියයි.

ඉන්දියානු ඉතිහාසයේ මෞර්ය සමයෙන් පසු බලයට පත් අශෝක අධිරාජයා කාලිංග මාඝ සටනින් පසු යුද්ධයෙන් පීඩාවට පත් වැසියා දැක දුකට පත්වූ ඔහු නීග්‍රෝධ සාමනේරයන් වහන්සේ කෙරෙහි පැහැදී බුදු සමය වැළඳ ගත්තේය. ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ කලාත්මක ස්වරූපය කැටයම් කලාව මෞර්ය සමයට පෙර දියුණුව තිබූ බවට නටඹුන් සාක්ෂි දරයි. අශෝක රජු විසින් කළ සාන්චි තොර‍ණෙහි හතර පැත්තේ වූ සෛලමය තොරණ හතර කැටයම් ශිල්පියාගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණවේ.

තොරණ හි මූලික හැඩය බෞද්ධ සංකල්පය අනුව නිර්මාණය ඇරඹේ. සිරස් කණුමත හරහට ඇති පුවරු තුනෙහි මැදින් ඉහළට නෙරාගිය ස්වභාවය අග සර්පිලාකාරව වක්‍රවූ හැඩය තල් පතක් දිග හැරියාක් වැනි ය.

දිග හැරී හඳහනක් සේ ය. මෙම සිරස් හා තිරස් ගල් තලමත ඇතුළත හා පිටත බුද්ධ චරිතය හා ජාතක කථා අර්ධ උන්තව නෙලා ඇත.

මෙම තොරණ හතරේ කැටයම් එකම කාලයකට අයත් නොවේ. එමෙන් එකම ශිල්පි කණ්ඩායමක් විසින් නොකළ බව ද කියැවේ. ජාතක කථා අතර වෙස්සන්තර, ඡද්දන්ත, මහා කපි කථා ප්‍රධාන වේ. මීට අමතරව සත්ව රූප ආශ්‍රිත ලියවැල් හා මල්කම් රටා කැටයම් කර ඇත.

සාන්චි කැටයම්වලට අමතරව අශෝක ස්ථම්භ වැදගත් වේ. සතම්භ ශිර්ෂ කැටයම් සහිතය. අශෝක ශිලා ස්තම්භ අතුරින් සුන්දරත්වය අතින් අතිශය වැදගත් සතම්භය සාරානාත් සතම්භයයි.

කැබලි කීපයකට වෙන්ව තිබූ මෙහි සිරසෙහි සතර දිසාවට මුහුණලා සිටින සිංහ රුව හතරකි. යට කවයෙහි ඇත්, අස්, ගව, සිංහ රුවත් ඒ මැද විද්‍යානුකූල ගරාධි සහිත වෘත්තාකාර චක්‍රය වේ. මෙය බුදු සමය හා බැදුණු කැටයමකි. මෞර්ය සමයේ කලා කෘතියකි. මෙය ඉන්දීය සමූහාණ්ඩුවේ නිල ලාංඡනය ලෙස යොදා ගැනුණි. මෙවැනි අර්ථාන්විත ලාංඡනයක් වෙනත් රාජ්‍යයන්හි නොමැති බව විචාරක මතයයි.

භාරතීය ගන්ධාර කලාව අලංකාරත්වයෙන් තනිව නැගී සිටි කලාවක් නොවේ. ග්‍රීක රෝම කලා කෘති ආභාෂයෙන් නැඟී සිටි ගන්ධාර කලාවේ එක් රාමුවක් තුළ සිද්ධි කීපයක් නිරූපණය වීම විශේෂත්වයකි.

ගන්ධාර කැටයම් බිතු සිතුවමක් පහසුවෙන් වටහා ගත හැකිය. බුද්ධෝත්පත්තිය හා බුදුන්ගේ දුෂ්කර ක්‍රියාව, ලෞරියායන්තංගෙයි නම් ස්ථානයෙන් හමුවූ උන්වහන්සේගේ පරිනිර්වාණය දැක්වෙන අධිඋන්නත කැටයමයි. මෙහි අන් රූපවලට වඩා බුදුන්ගේ රුව ලොකුවට නෙලා තිබීම විශේෂත්වයකි.

ආජි කීඩේරි හා චීමාරාන් ස්ථානවලින් හමුවූ ධාතු කරඬු දෙක අලංකාර කැටයමින් යුක්තය. ගන්ධාර කලාවේ ඊළඟ විශේෂත්වය ශෛලමය ප්‍රතිමා කලාවයි.

නවදිල්ලියට නුදුරින් ගලා බසින යමුනා ගංතෙර පිහිටි මථූරා නගරය ඉන්දීය මූර්ති හා කැටයම් පිළිබඳ බෞද්ධ මධ්‍යස්ථානයකි. මථූරාව හඳුන්වන්නේ ද දෙවියන්ගේ මථූරාව කියායි. මේ යුගයේ විදේශීය සම්ප්‍රදායෙන් මිදී දේශීය මුහුණුවරක් ගත් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය විය. දැනට සාරානාත් කෞතුකාගාරයේ තැන්පත් කොට පිළිම දෙක හා සමාධි පිළිමයෙහි ප්‍රභා මණ්ඩලය මල්ලිය කමින් යුත් කැටයමින් සරසා ඇත.

බෞද්ධ විහාර 12 කින්ද හින්දු කෝවිල් 17 කින් ද ජෛන විහාර 5 කින් ද ඉන්දියාවේ ප්‍රධාන ආගම් තුනකට අයත් සිද්ධස්ථාන ලංව පිහිටි එකම ස්ථානය ඇල්ලෝරාවයි. බෞද්ධ විහාර පැරණි මෙන් ම ඒවායේ කැටයම් ඉතා චාම් ය. අජන්තා ලෙන් මෙන් මෙහි විශාල ලෙන් තුළ කුළුණු නිර්මාණය විශ්මය ජනකය.

සාන්චි චෛත්‍ය ආශ්‍රිත කැටයම් මෙන් ම භාරුත් චෛත්‍යයට අයත් බෞද්ධ කැටයම්, එහි ගරාධි කැටයම්වල නෙළුම් මල හා පෙති කැපී පෙනේ.

පසු කලක මෙරට යාපහුවේ කැටයම් ශිල්පියා භාරුත් කැටයම් අනුගමනය කර ඇත. මේ කැටයම්හි විශේෂත්වය වන්නේ බුදුන් වෙනුවට ධම්ම චක්කය බොරුක වැනි සංකේත යෙදීමයි.

මෙරට මිහිඳු මාහිමියන්ගේ පැමිණීමෙන් පසු සිදුවූ පරිවර්තනය චිත්‍ර මූර්ති, කැටයම් වැනි කලාවන්ට පමණක් නොව වාස්තු විද්‍යාව කෙරෙහි ද ලේඛන කලාව කෙරෙහි ද බලපෑවේය.

ඉන්දීය අජන්තා ලෙන් තුළ තිබෙන චිත්‍රවලට වඩා ලෙන් තුළ නිර්මාණ හා චෛත්‍ය ශාලා හා කැටයම් මිනිසාගේ නිර්මාණ ද කියා කිව නොහැකි ය. එමෙන් ඉන්දියාවේ සාන්චි, භාරුත්, ගන්ධාර, මථුරා, ඇල්ලෝරා, අමරාවතී හා අජන්තාවල චිත්‍ර, මූර්ති, කැටයම් තවත් වසර දහස් ගණනාවක් සංරක්ෂණය කිරීම සංස්කෘතිය, සභ්‍යයත්වය, කලාව හා නිවන් මඟ විශ්වාස කරන වත්මන් මිනිසාගේ පරම යුතුකමය. අතීත කලාකරුවා මිනිසෙකු නොව විස්කම් පරපුරේ දෙවියෙකි. අප ඔහුට ණය ගැති ය.

Comments