
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම් මාර්ග විවිධාකාරය. අදාළ රටෙහි ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ලැබෙන මාසික වැටුපට සහ රට වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමෙන් උපයා ගන්නා මුදලට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිටියෙන් ඔබ්බට තවත් ආදායම් මාර්ග එමටය. දෙස් විදෙස් ලීග් තරගාවලි සඳහා (ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ) මෙන්ම ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කිරීමෙන් ද, ලොව පුරා ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම සමඟ ගිවිසුම් ගත වීමෙන් ද තම ආදායම සරු කර ගැනීමේ අවස්ථාව ක්‍රීඩකයන්ට ලැබී තිබේ. එවැනි ආදායම් මාර්ග බොහෝ විට අදාළ ක්‍රීඩකයාට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව සිය ආර්ථිකය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.
එසේ වුවත් ලොව සෙසු ක්‍රීඩාවන් සමඟ සංසන්දනය කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් තවමත් පවතින්නේ පහළ මට්ටමකය. ඊයේ පෙරේදා ජාත්‍යන්තර ‘ෆෝබ්ස්‘ සඟරාව විසින් නිකුත් කරනු ලැබූ මේ වසරේ ලොව ධනවත්ම ක්‍රීඩකයන් පළමු පනස්දෙනා අතරටවත් ක්‍රිකට් ක්‍රීඩකයකු ඇතුළත් වී නැත. එම ලැයිස්තුවේ පළමු තැන පසුවන්නේ ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආජෙන්ටිනාවේ ලයනල් මෙසීය. ඔහු පසුගිය වසරේ මැයි මස 1 වැනිදා සිට මේ වසරේ මැයි මස 1 වැනිදා දක්වා ගත වූ කාලය ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන 130ක් උපයා ගැනීමට සමත් විය. ඉන් ඩොලර් මිලියන 75ක් ක්‍රීඩා කිරීමෙන්ද, තවත් ඩොලර් මිලියන 55ක් පිටියෙන් පිට වෙනත් බාහිර කටයුතුවලින් ද උපයා ගැනීමට ඔහුට හැකි වී ඇත. ඉන් පැහැදිලි වන්නේ ක්‍රීඩකයන්ගේ ආදයම් මාර්ග පිටියට පමණක් සීමා වූවාක් නොවන බවය. ක්‍රීඩාවෙන් ඔබ්බට යමින් සිය ජනප්‍රියත්වය හා ප්‍රතිරූපය අලෙවි කරමින් ආදායම් මාර්ගය දෙගුණ තෙගුණ කරගැනීමට ඔවුන්ට දොරටු විවර වී ඇත. එහෙත් ඒ සඳහා ඔවුන්ට කිසිවකුගේ සහායක් සහ මඟ පෙන්වීමක් අවශ්‍ය වේ. පෞද්ගලික කළමනාකරුවන්, ඒජන්තවරුන් සහ ක්‍රීඩකයන් කළමනාකරණ කිරීමේ සමාගම් ඇත්තේ ඒ සඳහාය.
ක්‍රීඩා ඒජන්තවරුන්ගේ භූමිකාව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සාමාන්‍ය කරුණක් වූවත් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නම් එවැනි ඒජන්තවරුන් කෙරෙහි ප්‍රසාදයක් නැත. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් ද නැත. ඊට හොඳම නිදසුන පසුගිය කාලයේ මෙරට ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් ලොව ප්‍රමුඛතම ක්‍රීඩා සන්නාම බවට පත්වීමේ පසුබිම නිර්මාණය කළ චාලි ඔස්ටින් අරභයා ඉස්මතු වූ ආන්දෝලනාත්මක කතා පුවතය. චාලි ඔස්ටින් පමණක් නොව ඔහුගේ සේවය ලබා ගැනීමට ගිවිසුම් ගත වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ද දැඩි විවේචනයට ලක් වී තිබිණි. එහි කරුණු රැසක් ‘ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උඩු යටිකුරු කළ කවුද මේ ඔස්ටින්‘ නමින් ලියුම්කරු විසින් පසුගිය සතියේ සටහන් කරනු ලැබීය. එම ලිපියෙහි දිගුවක් ලෙස අද පළවන්නේ ක්‍රිකට් ඒජන්තවරුන් සහ ඔවුන්ගේ භූමිකාවත්, ඉන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇති වැදගත්කමත් පිළිබඳ ලොව අංක එකේ ක්‍රිකට් ඒජන්තවරයකු පසුගියදා එංගලන්තයේ සිට ‘සිළුමිණ‘ට කී කතාවය.
එතෙක් මෙතෙක් ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ක්‍රීඩාවෙන් ලොව දිනුවත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ‘සන්නාමය‘ (brand) බවට පත් කරනු ලැබුවේ ක්‍රිකට් ඒජන්තවරයකු විසිනි. ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් ඒජන්තවරයකුගේ හෝ පෞද්ගලික කළමනාකරුවකුගේ හෝ සේවය හඹා යෑමේ අඩිතාලම වැටුණේ මාක් මැස්කරන්හෙස් නමැති ක්‍රිකට් ඒජන්තවරයා විසින් සචින් තෙන්ඩුල්කාර් එසේ ගෝලීය සන්නාමයක් බවට පත් කිරීමෙන් ලද උත්තේජනය හේතුවෙනි. අනූහය ලෝක කුසලාන තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය දිනා ගනිමින් ඩොලර් ලක්ෂ ගණනක ආදායමක් උපයා ගත් වර්ල්ඩ් ටෙල් සමාගමේ හිමිකරුවා ද ඔහු විය.
අතීතයේ සිට ටෙනිස්, ගොල්ෆ් සහ පාපන්දු වැනි ලොව ධනවත් ක්‍රීඩාවන්හි නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ආර්ථික පසුබිම සුරක්ෂිත කර ගැනීමේ සහ ක්‍රීඩාවෙන් පිට විවිධාකාරයේ ක්‍රියාකාරකම් තුළින් මුදල් උපයා ගැනීමේ අරමුණ ඇතිව ඒජන්තවරුන්ගේ සහ පෞද්ගලික කළමනාකරුවන්ගේ සේවය ලැබුවද එය ක්‍රිකට් ක්‍රීඩාවට ව්‍යාප්ත වූයේ අනූව දශකය තරම් මෑත ඉතිහාසයේදීය. ක්‍රිකට් ඒජන්තවරුන් විසින් සිදු කරනු ලබන්නේ තණ තීරුවේ දස්කම් දක්වන විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් ඔපමට්ටම් කර ‘තරු‘ බවට පත් කිරීමේ රාජකාරියයි.
‘ඔබ සැබැවින්ම දක්ෂ ක්‍රීඩකයෙක් නම්, ඔබට ඉහළට යෑමේ බලවත් අරමුණක් සහ ලොව පුරා විවිධ රටවල ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය නම් ඔබට විශිෂ්ට කළමනාකරුවකුගේ සේවය ලැබිය යුතුමයි.‘ නම ගම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් ඔහු විසින් ‘සිළුමිණ‘ට සපයනු ලැබූ තොරතුරුවලට එසේ ප්‍රවේශයක් ගත්තේය.
ඔහු කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයට ඒජන්තවරුන්ගේ හෝ කළමනාකරුවන්ගේ භූමිකාව අමුත්තක් වූවද, එය ජාත්‍යන්තරයට සාමාන්‍ය දෙයක් බවය. එමෙන්ම එවැනි දායකත්වයන් තුළින් අදාළ ක්‍රීඩකයාට සිය ජීවිත කාලය පුරාම සැහැල්ලුවෙන් සිටීමට තරම් ප්‍රමාණවත් ආදායම් මාර්ග සකස් කර ගත හැකි බවය.
‘ලෝකය පුරාම ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයකට එවැනි කළමනාකරුවන් සිටිනවා. හැමෝටම වගේ ඉන්නවා. සමහර ක්‍රීඩකයන්ට විවිධාකාරයේ කළමනාකරුවන් ඉන්නවා. විවිධ කටයුතු වෙනුවෙන් කළමනාකරුවන් දෙදෙනකුගේ විතර සේවය ලබාගන්නා ක්‍රීඩකයනුත් ලෝකයේ ඉන්නවා. ක්‍රීඩකයන් කළමනාකරණය කිරීමේ සමාගම් ඇති තරම් ලොව තිබෙනවා. ශ්‍රී ලංකාවට අසාමාන්‍ය වුණාට නූතන ක්‍රිකට් ලෝකයට මේක සාමාන්‍ය දෙයක්.‘ ඔහු එසේ පැවැසීය.
ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඒජන්තවරයකු හෝ පෞද්ගලික කළමනාකරුවකු හෝ සිටීමේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කරමින් ඔහු කීවේ එමගින් අදාළ ක්‍රීඩකයාට පිටියෙන් පිටත ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීමේ අවස්ථාවක් ඉන් උදා වන බවය.
‘ක්‍රිකට් ක්‍රීඩකයන්ට කළමනාකරුවන් සිටිය යුත්තේ ඔවුන්ට පිටියෙන් පිටත කටයුතු කළමනාකරණය කරගන්න වෙලාවක් නැති නිසයි. ඔවුන්ට ක්‍රීඩාව වෙනුවෙන් වැඩි අවධානය වගේම වැඩි කාලයක් යොදවන්න සිදුවෙනවා. ඔබේ රටේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයන් දෙන්නා උදාහරණයකට ගන්න. කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන. මේ දෙන්නම ඉහත කී කාරණාව වේලාසනින්ම අවබෝධ කර ගත්තා. ඒ නිසා ඔවුන් හොඳ කළමනාකරුවකුගේ සේවය ලබා ගත්තා. මොකද එවකට දවසින් දවස ඔවුන් දෙදෙනාම ක්‍රීඩාවෙන් ඉදිරියට යමින් කාර්යබහුල වෙලයි හිටියේ. බාහිර කටයුතු වැඩි වෙමින් තිබෙන බව ඔවුන් දුටුවා. පාසල්වල විවිධ උත්සවවලට සහභාගි වෙන්න, විවිධ අවස්ථාවල කතා පවත්වන්න, සන්නාම තානාපතිවරු විදිහට වැඩ කරන්න, නොයෙකුත් ප්‍රවර්ධන වැඩසටහන්වලට එකතු වෙන්න වගේම අනුග්‍රාහකත්ව ගිවිසුම්, ඒවාට කාලය වෙන් කරගැනීම් හා සම්බන්ධ වීම් වෙනුවෙන් ඔවුන්ට කළමනාකරුවකුගේ සහාය අත්‍යවශ්‍ය වුණා. මොකද ඔවුන්ට සියයට සියයක්ම ඔවුන්ගේ ක්‍රීඩාව සහ ශාරිරික යෝග්‍යතාව කෙරෙහි අවධානය යොමු කරන්න සිදුවී තිබුණා. කවුරුහරි කෙනෙක් ඔවුන්ගේ බාහිර වැඩ කටයුතු පරිපාලනය කරනවා නම් එය ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාව හා සැහැල්ලුවට රුකුලක් වුණා. එහෙ මෙහේ දුවනවාට වඩා ක්‍රීඩාවට බාධාවක් නොවී නිසි සැලසුමක් යටතේ වැඩ කටයුතු කරගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට තදින්ම දැනී තිබුණා. ඒ නිසා ක්‍රීඩාවට හානියක් නොවන විදිහට කළමනාකරුවකුගේ සේවය ලබා ගෙන මේ දෙන්නම බාහිර වශයෙන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න සමත් වුණා. එය ඔවුන්ට වාණිජ වශයෙන් අනාගතය සුරක්ෂිත කර ගැනීමට ලොකු වාසියක් වුණා.‘ ඔහු කියා සිටියේය.
ක්‍රීඩකයන් සිය පවුල්වල සාමාජිකයන්ගෙන් යම් සහයක් ලැබුවද, ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ට ඉන් ඔබ්බට බාහිර පුද්ගලයකුගේ උපදෙස් සහ සහාය අත්‍යවශ්‍ය වන බව මේ ක්‍රිකට් ඒජන්තවරයා කීවේය. විශේෂයෙන් විවිධ වයස් මට්ටම්වලදී ශාරිරිකව මෙන්ම ක්‍රීඩා රටාවෙන්ද ක්‍රීඩකයන්ගේ වෙනස්කම් සිදුවන බවත්, එතැන් සිට ඉදිරියට ඔහුගේ බාහිර ක්‍රියාකාරකම් වර්ධනය වීම ආරම්භ වන බවත් ඔහු සඳහන් කළේය.
‘මොකද ක්‍රීඩකයන්ට විවිධ හා වෙනස් අවස්ථා ඇති තරම් ලැබෙනවා. මුල් කාලීනව ක්‍රීඩා සමාජවලින් හෝ ජාතික සංචිතයට එකතු වීමෙන් යම් මුදලක් ලැබෙනවා තමයි. නමුත් ඉන් ඔබ්බට ගිහින් සිය ජීවිතයේ ආර්ථික සාර්ථකත්වය උදෙසා ඔවුන්ට පිටියෙන් පිටත යම් යම් ක්‍රියාකාරකම්වලට එක් වෙන්න සිදුවෙනවා. මොකද ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ලැබෙන අවස්ථා ඉතා වැදගත්. විශේෂයෙන් ඔවුන්ගේ අනාගතයට. විවිධ සන්නාම සමාගම් ඔවුන් සොයා එනවා. අනුග්‍රාහකත්වයන් සැපයීමට හා ගිවිසුම් අත්සන් කිරීමට ඔවුන්ගෙන් ඇරියුම් ලැබෙනවා. ඒ වගේ වෙලාවට කළමානාකරුවෙක් සිටීම ඔවුන්ට ඉතා පහසුයි. මේ වගේ කරුණු කාරණා දෙපාර්ශ්වයටම සාධාරණ ආකාරයේ ආර්ථික වාසියක් ලැබෙන විදිහට සාකච්ඡා මට්ටමින් සිදු විය යුතුයි.
ගිවිසුම් ගත වීමට පෙර ක්‍රීඩකයා සොයා බැලිය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම එම ගිවිසුම ක්‍රීඩකයාට අවදානම් නොවන, හානියක් නොවන ආකාරයේ ගිවිසුමක් දැයි සොයා බැලිය යුතුයි. ගිවිසුමට ඇතුළත් කොන්දේසි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම සමහර වෙලාවට නියමිත කාලයට ගෙවීම් සිදු නොවෙන්න පුළුවනි. ඒ වගේම අදාළ සමාගමේ නීත්‍යා නුකූලභාවය සොයා බලන්න වෙනවා. සමාගමේ පසුබිම සොයා බලන්න ගිවිසුම් ගත කිරීම, සාකච්ඡා කිරීම වගේ වැදගත් කරුණු කාරණා සිදු කිරීම වගේ දේවල්. මේවා ක්‍රීඩාවේ නිරත වෙන ගමන් ක්‍රීඩකයාට කළ හැකි දේවල් නොවෙයි. ඒකට කාලය අවශ්‍යයි. එහෙම නැතිනම් ලැබෙන හැම බාහිර අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ක්‍රීඩකයාට සාධාරණ විදිහට වැඩි වටිනාකමක් අත්කර දීමට හොඳ කළමනාකරුවන් නිරතුරුවම කටයුතු කරනවා. වත්මන් තත්ත්වයට අනුකූලව ක්‍රීඩකයාගේ ජනප්‍රියත්වය මත පදනම්ව එවැනි කටයුතුවලදී අදාළ ක්‍රීඩකයාගේ ගිවිසුම් මුදල දෙගුණ තෙගුණ වෙන්නත් ඉඩ තියෙනවා.‘ ඔහු වැඩිදුරටත් කීවේය.
ඔහු කියන්නේ ඕනෑම රටක කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධව ලොව ප්‍රමුඛතම සමාගම්වල වැඩි අවධානය යොමු වන බවය. සිය ජනප්‍රියත්වය තුළින් එවැනි සන්නාම සඳහා තානාපතිවරයකු ලෙස කටයුතු කිරීමෙන් ලැබෙන ආර්ථික වාසිය ක්‍රීඩකයාට සිය ක්‍රීඩාව සඳහා කිසිදු බාධාවකින් තොරව සැහැල්ලු මනසකින් අවධානය යොමු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බවය. කළමනාකරුවකු හෝ කළමනාකරණ සමාගමක සේවය ලැබීමෙන් ඔහුට ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගත හැකි බවය.
‘ඒ වගේම ෆ්‍රැන්චයිස් ක්‍රිකට්. හොඳ ඒජන්තවරයකුට හෝ කළමනාකරුවකට ලොව පුරා එවැනි ෆ්‍රැන්චයිස් තරගාවලි නියෝජිතන් සමඟ සම්බන්ධතා තිබීම වැදගත් වෙනවා. එසේ නොමැති නම් ෆ්‍රැන්චයිස් පුහුණුකරුවන් සමඟ සබඳතා තිබිය යුතුයි. මොකද ක්‍රීඩකයකුට තනිවම මේ කාර්යය කරන්න බෑ. ඒකට කාගේ හරි උදව් අත්‍යවශ්‍යමයි. මොකද අදාළ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව එම ක්‍රීඩකයාගේ සහභාගීත්වය ලබා දීමට හැකි කාල සීමාවක්ද, ඒ වගේම අදාළ ක්‍රීඩකයාගේ වත්මන් ශාරිරික යෝගත්‍යාව මොන මට්ටමේද තියෙන්නේ කියලා තහවුරු කරගන්න වෙනවා. ඒ වගේම ක්‍රීඩකයාගේ හැකියාව, පිතිකරුවෙක්ද, පන්දු යවන්නෙක්ද යන්න සහ ඔහුගේ ක්‍රීඩා දත්ත වාර්තා සොයා බැලීමට ෆ්‍රැන්චයිස් ආයතනවලට අවශ්‍ය තොරතුරු සැපයීම. මේවා තමයි ෆ්‍රැන්චයිස් තරගාවලි නියෝජනය කිරීමේදී සිදුවන දේවල්. ඒවා කළමනාකරණය කරන්න, සම්බන්ධිකරණය කරන්න ජාත්‍යන්තර දැනුමක් සහිත හොඳ කළමනාකරුවකු හෝ ඒජන්තවරයකු සිටීම කොයිතරම් වැදගත්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.‘
‘අපි ගත්තොත් දකුණු අප්‍රිකානු ෆ්‍රැන්චයිස් තරගාවලිය වගේ දෙයක්. ඔවුන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩි දෙනකු ගැන පැහැදිලි අවබෝධයක් නෑ. කවුරු හරි ඉන්නවා නම් ඔහු ගැන පැහැදිලි කරලා විස්තර කරන්න ඒක ක්‍රීඩකයාට වාසියක්. මේ ක්‍රීඩකයා කවුද, ඔහුගේ දස්කම් මොනවාද, මොනවද ඔහුගේ ශක්තිය හා දුර්වලතා වගේ දේවල්. ඔහුට කළමනාකරුවකු හෝ කළමනාකාරිත්ව සමාගමක දායකත්වය ලැබෙනවා නම්, ඒ වගේම ඔවුන්ට අදාළ ක්‍රීඩකයාගේ පුහුණුකරු සමඟ සබඳතා තියෙනවා නම් මේ වගේ දේවල්වලදී ඒක වටිනවා. එතකොට ඒජන්ත හෝ කළමනාකරු එම ක්‍රීඩකයා ගැන පැහැදිලි අවබෝධයක් ෆ්‍රැන්චයිස් නියෝජිතයන්ට සපයාවි. ඔහුට ඒ සඳහා සහභාගි වීමේ පසුබිම නිර්මාණය වේවි.‘
‘ෆ්‍රැන්චයිස් විතරක් නෙවෙයි ඒජන්තවරුන්ගෙන් හෝ කළමනාකරුවන්ගෙන් තවත් සේවා රාශියක් ක්‍රීඩකයන්ට ලැබෙනවා. එකක් තමයි නීතිමය කටයුතු. අනික සියලු වාණිජ කටයුතු. ඒ වගේම ඔහුට අවශ්‍ය ක්‍රිකට් උපකරණ සපයා ගත හැකි හොඳම සමාගම්. උසස් තත්ත්වයේ ප්‍රමිතියෙන් යුතු ක්‍රිකට් උපකරණ සපයා ගැනීමට ඔහුට සහාය වීමත් ඒජන්තවරයාගේ හෝ කළමනාකරුවාගේ රාජකාරියක්. අනික ෆ්‍රැන්චයිස් තරගාවලි විතරක් නෙවෙයි විවිධ රටවල දේශීය ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් පවා සොයා දීමට ඔවුන්ට හැකියාව තියෙනවා.‘ ඔහු පැවැසීය.
ඔහුගේ අදහසට අනුව යම්කිසි ක්‍රීඩකයකුට සිය ක්‍රිකට් දිවිය සුරක්ෂිත කිරීමට මෙන්ම වැඩිදියුණු කරගැනීමටත්, මූල්‍යමය වශයෙන් අනාගතය තහවුරු කරගැනීමටත්, ක්‍රිකට් ඒජන්තවරයකුගෙන් ලැබෙන්නේ විශාල වාසියකි. ක්‍රමයෙන් දස්කම් අතරට පිවිසෙන ක්‍රීඩකයන් වටා ඒකරාශී වන විවිධ පුද්ගලයන් බොහෝ අවස්ථාවන්හි එම ක්‍රීඩකයාට උපදෙස් සපයන බවත්, එම උපදෙස් තෝරා බේරා ගැනීමත්, ප්‍රතික්ෂේප කළ යුතු උපදෙස් සහ පිළිපැදිය යුතු උපදෙස් හඳුනා ගැනීමත් ක්‍රීඩකයාට දුෂ්කර කාර්යක් බව ඔහු පවසයි.
‘ක්‍රීඩකයා වටා එක්රොක් වන පුද්ගලයන් විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා කොයිතරම් දුරට සාර්ථකද කියලා හඳුනාගන්න සාකච්ඡා කළ යුතුයි. මේ කරුණු ඉතා හොඳින් අවබෝධ කරගෙන ජීවිතය දිනා ගත්තු ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් ලොව සිටිනවා. ඔබේ රටේ, ශ්‍රී ලංකාවෙත් සිටිනවා. මම සහතික වශයෙන්ම කියන්නේ දැනට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් 99%කටම ඒජන්තවරුන්, කළමනාකරුවන් ඉන්නවා. එංගලන්තය වගේ රටක නම් 100% ක්ම ඉන්නවා. ඒත් ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් බව පෙනෙනවා. මොකද ලංකාවේ අය තවම මේකට හුරු වෙලා නෑ. ලංකාවේ මම දකින ප්‍රශ්නයක් තමයි ඒජන්තවරයාට, කළමනාකරුවාට වටිනාකමක් නොලැබීම. ඔවුන් අගය නොකිරීම. පිළිනොගැනීම. ඒවා යම් විදිහක මතවාදයට තුඩු දෙනවා.‘
කළමනාකරණ සමාගම් ලියාපදිංචි ඒවා. ඒවාට නීතිරීති බැඳීම් තියෙනවා. ක්‍රිකට් ආයතන හා ක්‍රීඩකයන්ගේ සංගම් සමඟ විවෘත සංවාද පැවැත්වීමෙන් මේ සහයෝගිතාව වැඩිකර ගන්න පුළුවනි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ සංගම්වලට ඉතිහාසයක් නෑ. ඒත් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හොඳ උදාහරණ. ඒ රටවල ක්‍රීඩකයන්, ක්‍රීඩක කළමනාකරුවන්. ක්‍රීඩකයන්ගේ සංගම් හා ක්‍රිකට් ආයතන එකිනෙකට සම්බන්ධයි. එකිනෙකා කතා කරනවා සාකච්ඡා කරනවා. හැමෝම වැඩ කරන්නේ එකම අරමුණක් උදෙසා. ඒවා සාර්ථක වෙනවා. අන්තිමේදී මේ හැමෝම ජයග්‍රහණය සඳහා දායක වෙනවා. අවාසනාවකට ලංකාවේ එවැනි තත්ත්වයක් නෑ. ‘ ඔහු එසේ කීවේය.
‘මම කියන්නේ යම්කිසි ක්‍රීඩකයකු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තට පසු ඔහුට ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම ඔහු සකස් කරගත යුත්තේ ක්‍රීඩාවේ නිරතව සිටින කාලයේදීමයි. එවැනි කරුණු සඳහා තමයි ඒජන්තවරුන් හෝ කළමනාකරුවන් සිටින්නේ. ඒක ඉතා වැදගත් දෙයක්. ඔබේ පවුලේ මූල්‍යමය අතින් සුරක්ෂිත විය යුතුයි. හොඳ කළමනාකරුවකුට එය සැලසුම් කළ හැකියි. සමහර ක්‍රීඩකයන් විශ්‍රාම යෑමෙන් පසු රූපවාහිනී විස්තර විචාරයට සම්බන්ධ වෙනවා. නැතිනම් පුහුණුකරුවකු විදිහට පත්වෙනවා. නමුත් ගොඩාක් අයට අනාගත සැලසුමක් අවශ්‍ය වෙනවා. පුහුණුකරුවෙක් වෙනවා නම් ඒකට සුදුසුකම් තිබෙන්න ඕන. අත්දැකීම් තිබෙන්න ඕන. විස්තර විචාරකයකු ලෙස මාධ්‍යයට එක්වෙනවා නම් ඒ සඳහා පසුබිම සකස් කරගත යුතු වෙනවා. කැමරාවට පුරුදු වෙන්න. ඉංග්‍රීසි බස හසුරුවන්න පුරුදු වෙන්න වෙනවා. හොඳ කළමනාකරුවන් ක්‍රීඩාවේදී විතරක් නෙවෙයි ක්‍රීඩාවෙන් පසු වුණත් අදාළ ක්‍රීඩකයා සමඟ වැඩ කරනවා. ඔහුගේ ආර්ථිකත්වය සරු කරන්න දායක වෙනවා. ඉංග්‍රීසි ඉගැන්වීම්, සුබසාධන වැඩකටයුතු සඳහා මග පෙන්වීම්, වැඩිදුර අධ්‍යපානය වගේ දේවල්වලට පවා දායක වෙනවා. දිගුකාලීන සැලසුම් ක්‍රීඩකයන්ට අව්‍යශ්‍ය වෙනවා. මේ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම හැම ක්‍රීඩකයකුටම වැදගත්. එතකොට තමයි ක්‍රීඩාවෙන් ලැබූ කීර්තිය ඔබේ ජීවිතයේ ඉතිරි කාලය තුළදීත් ආරක්ෂා වෙන්නේ. ඒ නිසා තමයි ඔබ නිවැරදි වෙලාවට නිවැරදි තීරණ ගත යුතු වන්නේ. ‘ ඔහු අවසන් වශයෙන් සඳහන් කළේය.