
සිළුමිණ පුවත්පත අනු දෙවසරක් සමරන දා පුවත්පතට ආලෝකයක් වෙමින් අගනා ලිපි ලියූ, නමුදු සදහටම අප හැර ගිය සිළුමිණ මාධ්‍යවේදියෝ බොහෝමයක් වෙති. ඔවුහු සිය ජීවිත කාලයම පුවත්පත වෙනුවෙන් කැපකළහ. ඇතැමෙක් සිය කාර්යය කරන ලද්දේ දේවකාර්යයක් ලෙසිනි. මේ කවුරුත් පුවත්පතට ආදරයෙන් කටයුතු කිරීම විශේෂිතය.
මේ මාධ්‍යවේදීන් අතර දො. ඩ. ඩයස්, බ්‍රයන් ගෝමස්, දයාසේන ගුණසිංහ, ඥානතිලක ලියනගේ, දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, කරුණාදාස විදානගමගේ, ඩී. කේ. පී නිමල්සිරි, සුනිල් මිහිඳුකුල, රංජිත් ඇල්. අබේවික්‍රම, මාලනී ගෝවින්න, සුනිල් දයා අල්විස්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ යනාදීන් වේ.
ගම්පහ කන්නිමහර දී ඉපදුන දො. ඩ. ඩයස් සිය වත්තීය ජීවිතය අරඹන්නේ පාසල් ගුරුවරයකු වශයෙනි. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයෙන් ගුරුවෘත්තිය ඇරඹි එතුමන් කලක් ඇවෑමෙන් රදාවාන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන්නේය. ලේඛන කලාවේ මනා බුහුටිකමක් දැක්වූ දො. ඩ. ඩයස් ගුරු සේවයෙන් විශ්‍රාම ගිය පසු ලේක්හවුසියට බැඳෙන්නේය. මුලින්ම දිනමිණ කර්තෘ මණඩලයෙන් සිය රාජකාරිය අරඹන ඔහු පසුව සිළුමිණ කර්තෘ මණ්ඩලයට මාරුවන්නේය. සිළුමිණ ශාස්ත්‍රිය අතිරේකයේ ලිපි සංස්කරණය කළ ඔහු එකල සිළුමිණට ආලෝකයක් විය. සිංහල භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය, ව්‍යාකරණ, පුරා විද්‍යාව, මානව විද්‍යාව, සෞන්දර්ය ආදි විවිධ විෂයන් ගැන බොහෝ සාරගර්භ ලිපි පළකරන්නේය. භාෂාවේ මනා නිපුණතාවක් පෙන්වූ දො. ඩ. ඩයස් සිංහල භාෂාව පිළිබඳ හසල දැනුමැත්තකු බව ඔහු හා සමඟ එකල සේවය කළ අය අදටත් පවසති.
1936 ජුනි 13 වැනිදා උපන් දයාසේන ගුණසිංහයන්ගේ උපන් ගම වන්නේ ඉංගිරියයි. මතුගම ආනන්ද විද්‍යාලයෙන් හා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් ඉගෙනුම ලබන ඔහු උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවන්නේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු කෙටි කලක් ගුරුවෘත්තියේ යෙදෙන ගුණසිංහයන් හැටේ දශකයේ මැද භාගයේදී ලේක්හවුස් ආයතනයේ ඩේලිනිව්ස් පුවත්පතේ හා සිළුමිණ පුවත්පතේ සේවය කරන්නේය. 1981 වසරේදී දිවයින පුවත්පත ආරම්භයත් සමඟ එහි සේවයට එක්වෙන දයාසේන ගුණසිංහයන් දක්ෂ තීරු ලිපි රචකයෙකි;හොඳ කවියෙකි. 1996 ඔක්තෝම්බර් 07 වැනිදා ඔහු සිය ජීවන ගමන නිමා කළේය.
එකල සිළුමිණේ මාධ්‍යවේදීන් අතර සිටි ඥානතිලක ලියනගේ දක්ෂ කවියෙකි. වත්තේගම ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් හා මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපය ලැබු ඥානතිලක පුරුද්දක් හැටියට කවි ලියන්නට විය. 1960 ගණන්වල ඔහු ලංකාදීප කන්තෝරුවට ඉදහිට ගොඩවන්නේය. ඒ තමන් ලියූ කවි පුවත්පතේ පළකර ගැනීම සඳහාය. මුල් කාලයේදී පොලිස් සේවයේ රැකියාව කළ ඔහු පසුව ලේක්හවුසියට බැඳෙන්නේය. ඒ 1970 දීය. කවියේ දක්ෂතා පෙන්වූ ඔහු ඡායාරූපවල ‘කැෆ්ෂන්’ ලියන්නට හුරුවුයේ ද කවියෙනි. ඔහු හේ කවි ‘කැෆ්ෂන්’ ලියූවේ කල්පනා යන ආරුඩ නාමයකිනි. ඔහු බොහෝ විට කළේ ලිපි ලිවීම නොව අන්අය ලියන ලිපි සංස්කරණය කිරිමය. මේ නිසා ඔහුට ලිවීම අතහැරිණි. ඔහු ඇඳක් පළුද්දක් නැති වන අයුරින් පිටු සැකසීම මනාලෙස කළ ඔහු 1997 අගෝස්තු 10 වැනිදා සිය දිවි ගමන නිමා කළේය.
සති අන්තයේ ඉරිදා පුවත්පත් අද මෙන් බොහොමයක් නොතිබූ එකල සිළුමිණට පාඨකයන් අතර විශාල ඉඩක් වෙන්වී තිබිණ. එවන් යුගයක ලේක්හවුසියට බැඳුණු අයගෙන් කෙනෙකි දෙල්තොට චන්ද්‍රපාලයන්. ඔහු මුලින්ම බැදෙන්නේ දිනමිණ පුවත්පතටය. පසු කාලීනව දිනමිණ ප්‍රධාන කතු පදවියද දැරු දෙල්තොට සිළුමිණ වැඩබලන කතුවරයා වශයෙන් ද සේවය කළේය. 1936 පෙබරවාරි 28 වැනිදා උපන් දෙල්තොට චන්ද්‍රපාලයන් කළක් ගුරුවරයකු වශයෙන් සේවය කළේය. කවියකු, ගී පද රචකයකු වශයෙන්ද කටයුතු කළ ඔහු ලේක්හවුසියෙන් නිකුත් වූ ජනතා පුවත්පතට බැඳෙන්නේ 1968 වසරේදීය. 1980 දී ලංකාදීප නිවසින් බිහි වූ විජය ළමා පත්‍රයේ කතුවරයා ලෙස පත්ව යන අතර නැවත 1996 වසරේදී ලේක්හවුසියට පැමිණේ. දිනමිණ කතුවරයා ලෙස කළක් කටයුතු කළ ඔහු නවකයන්ට හැමවිටම මඟපෙන්වූ අලුත් පරපුරක් ගෙන එන්නට උත්සාහ දැරු අයෙකි. “මළපොතේ අකුරු බෑ කී මිනිහා, මල්ගෙන ආවේ නෑ, තාරකා මල් ”ආදි වශයෙන් ජනප්‍රිය ගී රැසක්ම ලියා ඇති දෙල්තොට චන්ද්‍රපාලයන් 2006 ඔක්තොම්බර් 02 වැනිදා සිය දිවි ගමන නිමාකරන්නේය. කලක් දිනමිණ පුවත්පතේ සමකර්තෘ වශයෙන් කටයුතු කළ බ්‍රයන් ගෝමස් පත්තර මහගෙදරට එක්වන්නේ 1969 වසරේදීය. දිනමිණ, ජනතා පුවත්පත්වල සේවය කළ ඔහු කලක් සිළුමිණ පත්තරයේ ද සේවය කළේය.
1943 වසරේ ජුනි 17 වැනිදා උපත ලද ෆ්‍රැන්සිස් බ්‍රයන් ගෝමස් කොච්චි කඩේ දංකොටුව පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව මීගමුව ශාන්ත මරියා පාසලෙන් ද ඉගෙනුම ලබන්නේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අවසන් කොට ගුරුවරයකු ලෙසින් සේවයට එක්වන ඔහු පළමු පත්වීම ලබන්නේ මීගමුව ශාන්ත මරියා පාසලටමය. ගුරුවෘත්තියට එක්වී කෙටි කලකින්ම එනම්, 1968 වසරේදී ලේක්හවුසියට එක්වන ඔහු ඩේලිනිව්ස්, දිනමිණ, සිළුමිණ ආදි පුවත්පත්වල සේවය කළේය. සිංහල හා ඉංග්‍රිසී ද්විභාෂාවෙන්ම සේවයේ නියුතු වූ බ්‍රයන් ගෝමස් 1999 අප්‍රේල් 16 දින සිය දිවි ගමන නිමා කළේය.
සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ ධර්මසිරි ගමගේ උපන්නේ 1939 ඔක්තොම්බර් 04 වැනිදාය. කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් ඉගෙනුම ආරම්භ කරන ඔහු දෙවෙනුව කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබන්නේය. පාසල් අධ්‍යාපනයෙන් පසු පුවත්පත් කලාවට යොමු වන ධර්මසිරි ගමගේ කලක් යොවුන් ජනතා පුවත්පතේ කතුවරයා ලෙසින් ද කටයුතු කළේය. පසුව සිළුමිණ පුවත්පතට එක් වූ ඔහු එහි සේවය කරන අතරම 1996 සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරක ලෙස කටයුතු කළේය. පාඨකයන්ට අලුත්ම මාදිලියේ සංචාරක ලිපි කලාවක් ගෙන එන ඔහු රසවත් බස් වහරකින් සිය ලිපි ඉදිරිපත් කිරීමේ දක්ෂයෙකි. පෞද්ගලික සංචාරයකදී 2004 වසරේ සැප්තැම්බර් 19 දින සිය දිවි ගමන නිමාකරන ඔහු අපුරු ගේය පද රචකයෙකි; සිනමාකරුවෙකි.
සිළුමිණ පුවත්පතේ සිටි මාධ්‍යවේදීන් අතර සිටි මාධ්‍යවේදී කරුණාදාස විදානගමගේ ලේක්හවුසියේ තිස්හය වසරක් සේවය කළ අයෙකි. 1977 වසරේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වී ගෙදර ගිය කරු, යළිත් කෙටි කලකින් සේවයට පැමිණෙන්නේය. ඔහු සිය රාජකාරි දිවිය වෙනුවෙන් 1994 සහ 2008 වසරවල දීර්ඝ සේවා සම්මාන හිමි කරගත්තේය.
එමෙන්ම සිළුමිණ සමඟ කටයුතු කළ තවත් මාධ්‍ය සගයකු වන්නේ ඩී. කේ. ජී නිමල්සිරිය. 1952 ජුනි 21 දා උපන් නිමල්සිරි ලේක්හවුසියට බැඳෙන්නේ 1971 වසරේදීය. දක්ෂ එල්ලේ ක්‍රීඩකයකු මෙන්ම එල්ලේ විනිසුරුවකු වූ ඔහු කෙටි දුර ධාවකයකු ද වේ. සිළුමිණ, ක්‍රීඩා, ජනතා පුවත්පත්වල සේවයේ නියුතුව සිටි ඔහු සිළුමිණ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් උපහාර ලැබීය. ක්‍රීඩා පුවත්පතේ සේවය කළ ඔහු 2006 වසරේදී විශ්‍රාම ගිය අතර 2020 අප්‍රේල් මස 03 දා සිය දිවි ගමන නිමා කළේය.
1952 පෙබරාරි මස 15 දින උපන් මාලනී ගෝවින්නගේ සිංහල, ඉංග්‍රිසී ද්විභාෂාවෙන්ම ලේඛන කටයුකුවල නියැළී සිටියාය. 1981දී ලේක්හවුස් ආයතනට බැඳෙන ඇය 1990 දී සිළුමිණ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වන්නීය. ඒ කාලයේදී ඇය විසින් ලිපි ලිවීම මෙන්ම සංස්කරණ කටයුතුවලද නියැළිණි. 1995 වසරේ ජූනි 01 දා සිළුමිණ විශේෂාංග කර්තෘ ලෙස වැඩභාර භාරගන්නා ඇය 2007 වසරේදී ඩේලි නිව්ස් පුවත්පතේ විශේෂාංග කර්තෘවරිය ලෙස කටයුතු කරන්නීය. වසර විසි නවයක කාලයක් ලේක්හවුස්ආයතනයේ ප්‍රධාන පුවත්පත්වල සේවය කළ මාලනී 2008 වසරේදී විශ්‍රාම යන්නීය. විශාම යෑමෙන් පසු ද සිය ලේඛන කටයුතුවලට මුල්තැන දෙන ඇය පොත් කිහිපයක්ම පරිවර්තනය කරන්නීය. පුවත්පත් කලාවේදිනියක, ග්‍රන්ථ කතුවරියක වූ මාලනී ගෝවින්නගේ 2021 ජූනි මස 23 දා සිය දිවිගමන නිමාකරන්නීය.
සිළුමිණ පුවත්පතේ සම කර්තෘ ධුරය හෙඹවු රංජිත් ඇල් අබේවික්‍රමයන් ද බොහෝ කාලයක් ලේක්හවුස් ආයතනයේ දිනමිණ හා සිළුමිණ පුවත්පත්වල වගකීමෙන් කටයුතු කළ අයෙකි. භාෂාව පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කළ අයෙකි. සිළුමිණ පුවත්පතින් විශ්‍රාම ලැබීමෙන් පසු කලක් මව්බිම පුවත්පතේ ද සේවය කළේය. අබේවික්‍රමයන් මිය යන විට 75 වැනි වියේ පසු විය.
සිළුමිණට සුනිල්ලා දෙන්නෙකි. එක් අයෙක් සිනමාව සම්බන්ධව ලියන්නෙකි. ඒ ඇසුරේ පොත පත මෙන්ම තිරපිටපත් ලියන්නෙකි. ඔහු නමින් සුනිල් මිහිඳුකුලය.
සුනිල් මිහිඳුකුලයන් ලේක්හවුස් ආයතනට එක්වන්නේ 1995 වසරේදීය. 1978 ද ලේඛන කලාවට පිවිසෙන සුනිල් මිහිඳුකුල ගුණසිරි සිල්වාගේ කර්තෘත්වයෙන් එළිදැක්වූ සකුරා පුවත්පතේ සේවය කරන්නේය. සිනමා පත්තර පහක වැඩකර ලේක්හවුසියට එක්වීමෙන් පසු සරසවිය පුවත්පතේ මුල් පුටුව හොබවන සුනිල් පසුව සිළුමිණ රසඳුන පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන්නේය. පුවත්පත් කලාවේ මෙන්ම රුපවාහිනි මාධ්‍යයේ ද පිටපත් රචකයකු වූ සුනිල් මිහිදුකුල සිළුමිණේ සිටි තවත් හිත හොඳ මිනිසෙකි. 2017 මැයි 30 දා දිවිගමන නිමාකළේය.
සිළුමිණේ සිටි අනෙක් සුනිල්, සෞඛ්‍ය පිළිබඳ ප්‍රවෘත්තිවලට මුල් තැන දුන් සුනිල් දයා අල්විස්ය. සුනිල්ගේ විෂය සෞඛ්‍ය වුවත් කතුවරයා විසින් පවරන ඕනෑම දෙයකට යන්නට ඔහු සුදානම්ව සිටියේය. කැබිනට් රැස්විම්, අය වැය කතා, පක්ෂ දේශපාලන රැස්වීම්, පාර්ලිමේන්තු වාර්තාකරණය ආදි බොහෝ දේ ඔහු ගේ සටහන් පොතේ විය. 1946 මැයි 30 උපන් සුනිල් දයා අල්විස් මාධ්‍යට එක්වන්නේ ලංකාදීප පුවත්පතිනි. ඒ 1972 වසරේදීය. ලංකාදීප පුවත්පත වැසි යාමත් සමඟ 80 දශකයේදී මුල් භාගයේදි සෞඛ්‍ය ඇමතිගේ ප්‍රවෘත්ති නිලධාරියා ලෙස කටයුතු කරන ඔහු ලේක්හවුසියට එක් වන්නේ 1995 වසරේදීය. ඒ සිළුමිණ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතුවරයා වශයෙනි. 2001 වසරේදී සිය සේවයෙන් විශ්‍රාම ගැනුනද ආයතනයේ ඉල්ලීම මත 2016 දක්වාම ඔහු සිළුමිණ පුවත්පතේ සේවය කළේය. විශ්‍රාම යාමෙන් පසු නිවසේ රැදෙන ඔහු 2022 පෙබරවාරි 14 වැනිදා මිය යන්නේය.
ගී පද රචකයකු මෙන්ම කවියකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් උපන්නේ 1947 ජුලි 5 වැනිදාය. වයස අවුරුදු 16 දී පමණ සිය පියා අනුගමනය කරමින් පුවත්පත් කෙරෙහි උනන්දු වූ ඔහු ටයිම්ස් ආයතනයෙන් එළි දුටු ලංකාදීප පුවත්පතට එක්විය. පසුකාලීනව ලේක්හවුස් ආයතනයට එක්වන ඔහු ජනතා පුවත්පතේ සමකර්තෘවරයා ලෙසත්, සිළුමිණ පුවත්පතේ සමකර්තෘවරයා ලෙසත්, දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත් සේවය කරන්නේය. පුවත්පත් ජීවිතයේ ඔහු වඩාත් කැපි පෙනෙන්නේ ‘හෙඩින්ස්’ යෙදීමටය.
අගනා ගී පද රචකයකුද වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් මේ වසරේ පෙබරවාරි මස 15 වැනිදා තම දිවි ගමන නිමා කළේය.
අනු දෙවසරක් පුරා පුවත්පත් අතර නමක් තබමින් දිගු ගමනක් පැමිණිමට මේ සියලු දෙනාගෙන් ලැබුණු සහාය අපමණය.