
වසර 92ක් වැනි කාලයක් පුවත්පතක් රඳා පවත්වා ගැනීම සුළු පටු අභියෝගයක් නොවේ. ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය දෙස බැලූ විට ඒ බව මැනවින් පැහැදිලිය. ලේක්හවුස් ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරන Daily News හා දිනමිණ ප්‍රකාශනයන් හැරෙන්නට වෙනත් පුවත්පතකට යම් හෝ ලෙස එලෙස අඛණ්ඩව පවතින්නට හැකියාව ලැබුණා නම් ඒ ඥානාර්ථ ප්‍රදීපය පමණි. ජාතික පුවත්පත් ලෙස පවතින්නට හැකිව ඇත්තේ ලේක්හවුස් ප්‍රකාශනයක්ට පමණි.
ඒ අතුරින් ශතකය අබියසට පැමිණ සිටින පුවත්පත් කලාවේ මීළඟ යෝධයා වන්නේ සිළුමිණයි.
නමේ පරිසමාප්තියෙන්ම රටටම ‘සිළුමිණ‘ ක් වූ සිළුමිණ මේ පිය නඟන්නේ 92 වසරටය.
වසර 92ක කාලයක් තුළ සිළුමිණ ඇති කළ ආගමික, සංස්කෘතික, ජාතික හා සමාජීය මෙහෙවර වෙනත් සති අන්ත කිසිදු පුවත්පතකට කරන්නට හැකියාව ලැබී නැත.
විශේෂයෙන්ම ජාතික පුවත්පතක් විසින් බුදු දහමට සිළුමිණ සිදු කළ සේවාව කරන්නට සමත් වෙනත් පුවත්පතක් මේ වන තෙක් මෙරට පහළව නැත. කිසිදා පහළ නොවනු ඇත. ඒ වත්මන් සංනිවේදන දියුණුව නිසාය.
සිළුමිණ පළමු පුවත්පතේ සිටම බුදු දහමේ ප්‍රචාරය පිණිස උසස් තැනක් ලබා දුන්නේය. පුවත්පතේ විශේෂත්වය වූයේ බුදු දහම, සමාජීය, සංස්කෘතික යනුවෙන් වෙන් වශයෙන් මෙහෙවර සිදු නොකර ජනතාවගේ ධාර්මික අදහස් ඔප් නැංවෙන සේ ගුණධර්ම වැඩීම පිණිස පුවත්පත සංස්කරණය කිරීමය. ශත දහයේ විශ්වවිද්‍යාලය නමින් හැඳින්වූයේ පුවත්පතේ ශාස්ත්‍රීය සංග්‍රහය විශ්වවිද්‍යාලයක දැනුම ලබා දුන් නිසාය. ප්‍රවෘත්ති, ශාස්ත්‍රීය අතිරේකය හැරෙන්නට අනෙක් විශේෂාංග බහුතරයක් පුවත්පතේ පළ වූයේ සමාජය යහමඟට යොමු කරන සම්පාදිත ලිපි වශයෙනි. එහෙත් බුදු දහමට අනුකූලව සම්පාදනය කරන ලද ලිපි සැලකිය යුතු වශයෙන් පුවත්පතේ අඩංගු විය.
සිළුමිණ පුවත්පතේ පළ වූ ප්‍රථම නවකතාවද භික්ෂූන් වහන්සේ නමකගේය.
අභයරාජ
සිළුමිණ ධර්ම ලිපියක් ආරම්භ කිරීමෙන් පසු එහි රචකයා දැක්වුණේ ‘අභයරාජ‘ නම් ආරූඪ නමකිනි. පසුව ‘සීයා‘ නමින්ද එම ලිහිල් ධර්මානුශාසනය පුවත්පතේ සම්පාදනය විය. එම ධර්ම ලිපිය වේගයෙන් ජනතාව අතර පැතිර ගියේය.
නාගාර්ජුන නාහිමියන් විසින් ආරම්භ කරන ලද නාගාර්ජුන විශ්විද්‍යාලයේ නටබුන් සොයා ගැනීමෙන් පසුව ඉතිහාසඥ ආර්. රාමස්වාමි ලවා 1931 වසරේ ජනවාරි මස 25 වැනිදා ඒ සම්බන්ධ ලිපි පෙළකින් එහි බෞද්ධ පුනරුදය සහ සංස්කෘතික මෙහෙවර පාඨකයාට ගෙන දෙන්නට සිළුමිණ සමත් විය. දුටුගැමුණු රජු විසින් ඉදි කළ රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කර යළිත් 1939 වසරේ නොවැම්බර් මස 23 වැනිදා කොත් පැලඳවීම සිදු කිරීමත් 1940 ජූනි මස 17 වැනිදා එහි චූඩාමාණික්‍ය පැලඳවීමත් ගැන සිළුමිණ ඡායාරූප සහිතව සති ගණනාවක් පළ කළ ලිපි පෙළ තවමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල මහාර්ඝ වස්තූන් සේ සුරකින බව දැනගන්නට ඇත.
සෑම පුන් පොහෝ දිනකට පෙර ඉරිදා දින ‘විශේෂ ධර්මානුශාසනා‘ නමින් ලිපියක් පළ කිරීම සිළුමිණ ආරම්භ කළ විශේෂාංගයක් විය. ඒ පුවත්පත ආරම්භ කර දශකයක් ගත වීමටත් පෙර සිටය. එම ලිපිය සහිත පුවත් පත පොහෝ දින විහාරස්ථානයට ගෙන ගොස් දිනය පුරාම කියවීමට උපාසක උපාසිකාවෝ පුරුදු පුහුණුව කටයුතු කරන්නට වූහ.
ධර්මපාලතුමාගේ මෙහෙය
අනගාරික ධර්මපාල විසින් ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරද්දී ඒ වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නට සිළුමිණ කටයුතු කෙළේ එය බුදු දහමට පමණක් නොව සමස්ත ජනතාවගේ ගුණ ධර්ම වැඩීමට හේතු සාධක වන නිසාය. එමෙන්ම එතුමා 1932 අගෝස්තු 2 වෙනිදා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ අවස්ථාවේදී එම මහණ පිංකමටද පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේ සේයාරූ රැසක් සමඟ පුවත්පතේ විස්තර පළ කරමිනි.
1956 බුද්ධ ජයන්ති උත්සවයද සිළුමිණට අතිවිශේෂ අවස්ථාවක් විය. එදා මෙදා තුර බුද්ධ ජයන්ති උත්සවයට සිළුමිණ දුන් ප්‍රචාරය වෙනත් කිසිදු පුවත්පතකින් බෞද්ධ උත්සවයක් වෙනුවෙන් ලබා දී නැත.
එමෙන්ම එම වසරේම බෞද්ධ තොරතුරු වාර්තාව එළි දැක්වීම සම්බන්ධයෙන් හා 1959 වසරේ බුද්ධ ශාසන කොමිසම් සභා වාර්තාව සම්බන්ධයෙන්ද සිළුමිණ ලබා දුන්නේ පුළුල් ප්‍රචාරයකි.
මඩිහේ පඤ්ඤාසීහ හිමියන් විසින් සිළුමිණ 50 වැනි සැමරුම යෙදුණු 1980 වසරේ මාර්තු 30 වැනිදා සම්පාදනය කළ ලිපියකින් සිළුමිණ පුවත්පත බුදු දහමට සිදු කළ සේවාව ගැන සවිස්තරාත්මක විස්තරයක් දක්වා තිබුණි. එහි එක් තැනක කියවුණේ සිළුමිණ පුවත්පතේ කර්තෘ මණ්ඩලයට පත් කර ගත්තේ සිංහල හා බුද්ධාගම පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදීන් බවයි. ඒ සිංහලකමට දේශීයත්වයට ජාතිකත්වයට සමාජ දියුණුවට අවශ්‍ය මාර්ගය පාඨකයාට ලබා දෙන්නට ඒ මාධ්‍යවේදීන්ට හැකි වනු බවට වූ විශ්වාසය නිසා බවද උන් වහන්සේ එමඟින් අවධාරණය කර තිබුණි.
එසේම විදේශීය ධර්ම තොරතුරු ශ්‍රී ලාංකිකයන්ටත් මෙරට තොරතුරු විදේශිකයන්ටත් ලැබෙන පරිදි අවශ්‍ය තොරතුරු සම්පාදනය කරන්නට ද සිළුමිණ පියවර ගෙන තිබුණි. එය සුවිශේෂී වන්නේ අද මෙන් පහසුකම් කිසිවක් නොතිබූ එකල ඒ වෙනුවෙන් දරන ලද වෑයම නිසාය.
එකල සිළුමිණට ලිපි සම්පාදනය කළ හිමිවරුන් අතර කහවේ ශ්‍රී රතනසාර, ලුනුපොකුණේ ධම්මානන්ද, පැලෑනේ වජිරඥාන, යගිරල ශ්‍රී පඤ්ඤානන්ද, කරදන ජිනරතන, පොල්වත්තේ බුද්ධත්ත, විදුරුපොළ පියතිස්ස. තෙල්වත්තේ අමරවංශ, කරපුටුගල ධම්මාලෝක, වජිරාරාමයේ නාරද වැනි මහ නායක හිමිවරු වූහ.
බෞද්ධ පිටුව
මෑතක් වනතුරුම සිළුමිණටම වෙන් වූ බෞද්ධ පිටුවක් විය. ලියුම්කරු විසින්ම සම්පාදනය කළ සමාජ ප්‍රශ්න බොදු ඇසින් දැකීමේ ‘මංසල‘ නමින් හා බෞද්ධ විශේෂ ලිපියක් ද 2000 වසරට පෙර සම්පාදනය කරන ලදී. එමෙන්ම පසුකාලීනව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම ලිපියක් හා මාවරලේ භද්දිය හිමියන්ගේ ‘සම්මා සතිය‘ ලිපි පෙළක් දීර්ඝ කාලයක් සහ එයින් පසුව එක් එක් හිමිවරුන්ගේ ලිපි පෙළක්ද සිළුමිණට සම්පාදනය වූ අතර පසුව ‘මසැස නොදුටු භූතයෝ‘ නමින් නොපෙනෙන ලෝකය ගැන බුදු ඇසින් ලිපි මාලාවක් සම්පාදනය වූයේ පාඨක අවශ්‍යතාව උදෙසාමය.
1927 වසරේ කැලණිය දුරුතු පෙරහර ආරම්භ කරන ලද්දේ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ මව විසින් වන අතර එහි සියලු වගකීම් කරට ගෙන කටයුතු කෙළේ ඩී.ආර්. විජයවර්ධනයන් හා ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඩී. සී. විජයවර්ධනයන් විසිනි. දුරුතු පෙරහරේ නිර්මාතෘ නොවුණත් එහි සියලු මෙහෙයුම් කටයුතු සිදු කළ තැනැත්තා ලෙසින් ඩී. ආර්. විජයවර්ධනයන් ගෞරවයට පාත්‍ර විය. සිළුමිණ ආරම්භ කළ අවදියේ සිට එම පෙරහර එක් ආගමකට හෝ ජාතියකට සීමා නොවන බවත් එය ජාතික ආගමික සංහිඳියාවට මඟක් බව සිළුමිණ විසින් පෙන්වා දී තිබුණි. අදත් සහෝදරත්වයේ සංකේතයක් ලෙස එම පෙරහර පැවැත්වෙන්නේ සිළුමිණ සිදු කළ මෙහෙය නිසාය.එමෙන්ම ගංගාරාමයේ නවම් පෙරහරද එසේ එසේ සර්වාගමික පෙරහරක් ලෙස හඳුන්වා දුන්නේ ද සිළුමිණ විසිනි.
එමෙන්ම නිරතුරුවම දේශීය සංස්කෘතිකත්වයට මුල් තැනක් ලබා දුන් සිළුමිණ කිසිදු විටක පුවත්පතේ කීර්ති නාමයට හානි වන දැන්වීම් පළ කිරීමට භාර ගත්තේ නැත. එමෙන්ම ලිපියකින් හෝ ප්‍රවෘත්තියකින් රටේ සංස්කෘතියට හානි වන්නේ නම් එය පළ කෙළේ නැත. දේශීයත්වය ඔප් නැංවෙන පරිදි පෙරහර සංස්කෘතිකාංග වැනි දේට සැමවිටම මුල් තැනක් ලබා දෙන ලදී. ඒ එක් පැත්තකි. එමෙන්ම රට වැසියාගේ අයිතිවාසිකම් ගැන මෙන්ම මාධ්‍ය අයිතිය ගැනද සිළුමිණ නිරතුරුවම නිසි ගමන් මඟකට යොමු කිරීමට ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයෝ කටයුතු කළහ. කිසිදු විටක තමාගේ හෝ තම පවුලේ කිසිදු සේයාරුවක් පුවත්පතේ පළ කිරීමට ඔහු අනුමැතිය ලබා දුන්නේ නැත. ලබා දුන්නා නම් ඒ ආගමික හෝ ජාතික වටිනාකමක් ඇති යමකට පමණි.
‘ඉන්දියා ලියුම’
ඩොනමෝර් කොමිෂන් සභා වාර්තාව අනුව සර්වජන ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරාගන්නට ශ්‍රී ලංකා වාසීන්ට අවකාශ සැලසුණු විට එහි මුල් තැන ගත් පුවත්පත් අතර සිළුමිණ හා දිනමිණ පුවත්පත් විය. ජනතාවට නිසි අවබෝධය ලබා දෙන්නට සිළුමිණ පුවත්පත කටයුතු කෙළේය.
විශේෂයෙන්ම ‘ඉන්දියා ලියුම‘ නමින් සිළුමිණ පළ කළ ලිපිය මඟින් ඉන්දියාවේ නායකයන් සයිමන් කොමිෂන් වාර්තාව ප්‍රතික්ෂේප කළාක් මෙන් අපද ඩොනමෝර් ප්‍රතික්ෂේප කළ යුතු බව මතයක් ගොඩ නඟමින් අපද ස්වරාජ්‍යය කරා ගමන් කළ යුතු බවට වූ සිළුමිණ මතයක් ගොඩ නැඟුවේය.
1936 වසරේ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන්ද සිළුමිණ ජනතාව දැනුවත් කිරීම උදෙසා ‘දේශපාලන කතාබහ‘ නමින් විශේෂාංග තීරයක් වෙන් කරන ලදී. එය සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේගයන්ට පහසුවෙන් තේරුම්ගත හැකි ලිපි පෙළක් විය.
‘බුද්ධාගම සහ වර්තමාන සිංහලයෝ‘ නමින් රඹුක්වැල්ලේ සිද්ධාර්ථ නා හිමියන් විසින් දීර්ඝ කාලයක් සිළුමිණට සම්පාදනය කළ ලිපි පෙළ හුදෙක් බෞද්ධයන් උදෙසා නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම සදාචාරය සංස්කෘතිය සකස් කර ගැනීම පිණිස සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ජන ජීවිතය යහපත් ලෙස ගත කිරීම උදෙසා මයුරපාද හිමි නමින් පළ කරන ලද ලිපි පෙළද සමාජ සංස්කෘතියේ දියුණුව කරා යන්නට නම් අප කළ යුත්තේ කුමක්ද යන්න මැනවින් විදහා දැක්වුණි.
අධ්‍යාපන කාරක සභාවට යොමු කළ යුතු ප්‍රතිසංස්කරණ යෝජනාවලදී අප කටයුතු කළ යුතු ආකාරයද සිළුමිණ මඟින් පැහැදිලිව පෙන්වා දී තිබුණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙළි කිරීම
විශේෂයෙන්ම ආගමික පාසල් රජයට ගැනීමේ යෝජනාව ගෙන ආවේ 1960 දීය. එකල පුවත්පත් හැසිරීම දෙස සලකා බැලීමේදී පෙනෙන්නේ ලේක්හවුස් ආයතනය මෙන්ම අනෙකුත් පුවත්පත් එකම ප්‍රතිපත්තියක ගමන් ගත් බවය. මෙම අධ්‍යාපන පුතිසංස්කරණය දෙස මහජන නියෝජිතයන් සලකා බලන්නට වූයේ රටට වඩාත් ප්‍රගතිශීලී අධ්‍යාපන ක්‍රමයක් ලෙසිනි. එහෙත් සිළුමිණ විසින් එම ප්‍රතිසංස්කරණවල ඇති ගුණ අගුණ සමසමව විවේචනය කරන්නට විය. ඒ අනුව මහජනතාවට නිසි මාර්ගය තෝරා බේරා ගැනීමේ අවස්ථාව උදා කර දුන්නේය.
මෙහිලා අප පෙර සඳහන් කළ ඩී. ආර්. විජයවර්ධනයෙන්ගේ පුවත්පත් ප්‍රතිපත්ති මැනවින් ඉවහල් විය. විජයවර්ධනයන් සැමවිටම උත්සාහ කෙළේ ජනතාවට කඩිනමින් නිවැරැදි ප්‍රවෘත්ති සම්පාදනය කරන්නටය. සිළුමිණද ඒ සඳහා මනා අවියක් විය.
ඩී. ආර්. විජයවර්ධනයන්ගේ නිවැරැදි කඩිනම් මාධ්‍ය කලාව ගැන කියන්නට හොඳම උදාහරණයක්ද මෙහිලා දැක්විය යුතුය.
ඩොනමෝර් වාර්තාව පළ කළ හැටි
ඩොනමෝර් වාර්තාව එංගලන්තයේ පළ වූ අවස්ථාවෙහි විජයවර්ධන මහතා ක්‍රියා කළේ තැනකින් තැනට උචිත දේ කිරීමට ලත් දුර්ලභ ප්‍රතිභා ශක්තිය ඇත්තකු ලෙසිනි. එංගලන්තයෙහි පළවන වේලාවටම මෙහිද ඩොනමෝර් වාර්තාව නිකුත් වෙයි. එහෙත් දෙරටෙහි වෙලාවෙහි වෙනස නිසා මෙහි ඒ වාර්තාව පළ වන්නේ එංගලන්තයෙහි පළවනදාට පසුදා ය. එවිට ඒ වාර්තාව මෙහි පළ වන්නේ සවස පත්‍රයෙහි ය. ඩේලිනිව්ස් පුවත් පතෙහි පළ වන්නේ පසුදා උදයේය. මෙය ලේක්හවුස් ආයතනයට මදිකමකි. විජයවර්ධනයන් ඒ බව පැහැදිලිව දුටුවේය. ඔහු වහා මාධ්‍යවේදීන් දැනුවත් කෙළේ ය. ඩොනමෝර් වාර්තාව පළ වූ වහාම එය සංක්ෂිප්ත කර මෙරටට විදුලි පුවත් මඟින් එවන ලෙස විජයර්ධනයන් එංගලන්තයේ කාර්යාලයට දැන්වූයේය. එංගලන්තයේ පළවෙන සම්පිණ්ඩන වාර්තාව විදුලි පුවත් මෙරටට ලැබෙන්නේ රාත්‍රියේය. එහෙයින් එය මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කොට අකුරු අමුණා සෝදුපත් බලා පසුදා උදය පත්‍රයේ පළ කළ නොහැකිය.
විජයවර්ධනයන් එය සැණෙකින් විසඳුවේය. මෝටර් රථ විටින් විට ගොස් විදුලි පුවත් පිටුවෙන් පිටුව ප්‍රධාන කාර්යාලයෙන් ලේක්හවුසිය වෙත ගෙන එන ලදී. උප කර්තෘවරුන් කොළයෙන් කොළය සකස් කොට අකුරු අමුණන්නන් වෙත යැවුයේය. විජයවර්ධනයන් එළිවන ජාමය තෙක් කාර්යාලයෙන් පිටව නොගියේය. පසුදා ඩොනමෝර් වාර්තාව සහිත ඩේලිනිව්ස් පත්‍රය පළ වුයේ රටම විස්මයට පත් කරමිනි. ආණ්ඩුවද මේ ගැන පුදුමයට පත් විය. ලංකා ආණ්ඩුව ඒ වාර්තාව පිට කෙළේ ඊට පසුවය.
සති අන්ත පුවත්පතක් වශයෙන් සිළුමිණ සමාජ සංවර්ධනයට හේතු වන ප්‍රධාන කරුණු විවිධ අංශ කීපයක් ඔස්සේ ජනතා ගත කර ඇත.
විශේෂයෙන්ම සියලු ජාතීන් සමඟි සම්පන්නව එකමුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම ජන විඥාන ගත කිරීම, බටහිරට ගැති වූ සිංහල සංස්කෘතියේ සාම්ප්‍රදායික හරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන කරුණු දැක්විම ඉංග්‍රීසි බසත් ක්‍රිස්තියානි ආගමත් ඉදිරියට දමමින් බ්‍රිතාන්‍යය ජාතිකයන් ගෙන ගිය ව්‍යාපාර හෙලා දැකීම, රට ආර්ථික පරිහානියෙන් මුදවා ගැනීම පිණිස කර්මාන්ත හා වාණිජ කර්මාන්ත වැඩි දියුණු කිරීම පිණිස මුඩුබිම් පනත ඉදිරිපත් කරමින් ඉංග‍්‍රීසීන් දේශීය කෘෂි කර්මාන්තය අඩපණ කර වැවිලි ආර්ථිකය නඟා සිටුවීමට ඉඩම් කොල්ල කෑම විවේචනය කරන ලදී. එමෙන්ම පුවත්පතේ සමාජ වගකීම නිසියාකාරව තේරුම් ගනිමින් මුඩුබිම් පනත නිසා ජනතාව සමාජ විරෝධී ක්‍රියාවල යෙදීම වළක්වාලීම, ආර්ථික පරිහානියෙන් ගොඩ ඒමට මඟ පෙන්වා දීම රට ජාතිය බස හා ආගම නඟා සිටුවීමට ස්වරාජ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම එහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය
දිනමිණ දිනපතා පුවත්පතක් ලෙසින් හා සිළුමිණ සතිඅන්ත පුවත්පතක් ලෙසින් ජනතාවට ඒත්තු ගැන්වූයේ තමාගේ ජීවන රටාව කෙසේ සකස් කර ගත යුතුද යන්නය. මේ වැකි පෙළ ඊට හොඳම උදාහරණයකි
‘සිංහල බස තුච්ඡ කොට පාගා දමා අනික් භාෂා වැලඳ ගනී නම් එයින් සිදුවිය හැකි හානි වඩාත් බලවත් ය.
ස්වභාෂා පොත පත බැලීමත්, අමුත්තන් සමඟ සිය බසින් කතා කිරීමත් ලජ්ජාවක් කොට සිතන්නා නියම සිංහලයෙක්දැයි වටහා ගත යුතුයි. මවුපියන් නොතකන්නා හට මොන ජාතියක්ද? සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් ජාතියක් වශයෙන් අභිවෘද්ධියට පැමිණෙන්නට සිංහල වර්ගයා කැමැති වේ නම් ස්වභාෂාව ඉගෙන, ඒ භාෂාව කෙරෙහි නිසි සම්මානය දැක්වීමද ස්ථිර ලෙස අධිෂ්ඨාන කර ගත යුතු බව කියම්හ. ‘
මෑත කාලයේදී සිළුමිණ නවීකරණය වෙමින් පාඨක ජනතාවට ළංවන්නට විය. ඒ ඔවුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා වෙනුවෙන් ඔවුනට ළං වීමෙනි. ඒ යටතේ දිස්ත්‍රික් ආවරණයන් කරමින් ප්‍රසංග පැවැත්වීම් ආරම්භ කෙරුණි. එහි පළමු පියවර තැබුවේ 1983 වසරේ දෙසැම්බර් 10 වැනිදා මාතර දීය. කාලයක් යනතුරු එය සමාජ සේවාවක් ලෙසින් ක්‍රියාත්මක විය.
සමාජ මෙහෙවර
සිළුමිණ මඟින් මෙහෙය වූ තවත් සුවිශේෂී සමාජ හිතකාමී ව්‍යාපෘතියක් වූයේ ජාතික කොස් සංවර්ධන ව්‍යාපෘතියයි. 2002 වසරේ ආරම්භ කළ මේ ව්‍යාපෘතියට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ පූර්ණ සහාය ලැබුණු අතර දිවයින පුරාම කොස් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණි. එහිදී කොස් ආහාර පිළිබඳ හා එහි ගුණ පිළිබඳ දැනුවත් කිරීම සිළුමිණ මඟින්ම ක්‍රියාත්මක කරන ලදී.
විශ්වවිද්‍යාල නවක වධයේ ගොදුරක් බවට පත් වූ රූපා රත්නසීලි වෙනුවෙන් සමාජ සාධාරණයක් සිදු කරන්නට පමණක් නොව ඇයගේ ජීවිත කාලයම ඇය වෙනුවෙන් ඇස යොමු කරන්නට සිළුමිණ කටයුතු කෙළේය. එමෙන්ම සිළුමිණ අදත් සමාජයේ බොහෝ සංවේදී ස්ථාන කරා ගමන් කරන්නට සමත්ය. බදුල්ලේ 88 හැවිරිදි බණ්ඩාර අම්මා විසින් ඇස් අන්ධ දියණියන් වෙනුවෙන් තේ දලු නෙළීම සම්බන්ධ පළ කළ ලිපිය මෙරට පමණක් නොව විදෙස් රටවල ජනතාවගේද ඇස යොමු කරන්නට සමත් විය. යුද්ධයේදී මිය ගිය පියා ගේ භාර්යාවත් දියණියන් තිදෙනාත් බංකරයක දිවි ගෙවන පුවතක් සිළුමිණ වාර්තා කිරීමෙන් පසුව ඒ ගැන අවධානය යොමු වූ අතර ඇයට නිවසක් සාදා දෙන්නට යුද හමුදාව විසින් කටයුතු කරන ලදී.
1960 පෙබරවාරි 21 වැනිදා ඉරිදා සිළුමිණ කර්තෘ ධුරය හෙබවූ මාර්ටින් වික්‍රමසිංහ සූරින් විසින් සිළුමිණට ලියූ ලිපියක දැක්වුණේ බටහිර සමාජ ක්‍රමය මෙහි පැතිරෙන තාක් බුදුහිමියන් දෙසු ධර්මය හෝ වෙනත් එකම ආගමක් හෝ දියුණු නොවන බවයි. පල්ලි පන්සල් ධනයෙන් දියුණු වීම යනු ආගම් දියුණු වීමක් නොව පිරිහීමක් බව වික්‍රමසිංහයන් පවසා තිබුණි.
‘හැබෑද?‘ කොලම
1995 වසර පමණ වන තුරුත් සිළුමිණ පත්‍රයේ මුල් පිටුවේ පළ වූ ‘හැබෑද?‘ කොලම යටතේ රාජ්‍ය ආයතනයන්හි හෝ නිලධාරීන්ගේ නොමනා කටයුතු ගැන ටොක්කක් ඇන්නේය. ඒවාට නිසි පිළියම් යෙදුණි. නිර්ණාමික දුරකථනවලින් හැබෑද තීරයට පැමිණිලි ගලා ආවේය. එමෙන්ම ජාතික පුවත්පතක් වශයෙන් ගවේෂණාත්මක මාධ්‍ය කලාව පළමුවෙන්ම ඇරැඹුණේ සිළුමිණ පුවත්පතින් බව අද බොහෝ දෙනා නොදන්නා කරුණකි. ඒ හරහා සමාජයේ බොහෝ අගතීන් දුරු කරන්නට හැකියාව ලැබුණි. එදා මෙන්ම අදත් මෙරට ආගමික සාමාජික සංස්කෘතික උන්නතිය සඳහා කටයුතු කරමින් ජනතාව දැනුම්වත් කිරීමටත් සමාජ ප්‍රශ්න ගැන සමබරව කතා කරන්නටත් සිළුමිණ නිරතුරුවම කටයුතු කරයි.