මාස හයක් තිස්සේ හැඳුනුම්පත් නැහැ | සිළුමිණ

මාස හයක් තිස්සේ හැඳුනුම්පත් නැහැ

රක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් පසුගිය කාලයේ අලුත් හැඳුනුම්පත් නිකුත් කිරීම හා හැඳුනුම්පත් ප්‍රතිශෝධනය කිරීම බොහෝ ප්‍රමාද වන බව කිව යුතුය. ග්‍රාම නිලධාරීවරු හා ප්‍රාදේශීය ලේකම් ඔස්සේ යවන සාමාන්‍ය අලුත් හැඳුනුම්පත් සකස් කිරීමේ හා හැඳුනුම්පත්වල අඩුපාඩු සැකසීමට දෙපාර්තමේන්තුවට යැවූ සමහර හැඳුනුම්පත් මාස හයක් ගත වී ඇතත් එම හැඳුනුම්පත් සකස් කර නැත. උදාහරණයක් වශයෙන් C5J30039 අංකය යටතේ හෝමාගම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයෙන් 2019 අගෝස්තු 08 වන දින යැවූ හැඳුනුම්පත ප්‍රතිශෝධනය සඳහා වූ ඉල්ලුම්පතට අනුකූලව අදාළ හැදුනුම්පත තවමත් සකසා නොමැත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන අංක වන 0112862217 හා 0115226100 යන දුරකතන අංක ගැටලු පිළිබඳ ප්‍රශ්න විසඳීම සඳහා වෙන් කර තිබුණත් බොහෝ වේලාවක් යන තුරු එම දුරකතනයෙන් ගැටලුවකට පිළිතුරක් ලබා ගත නොහැකිය. මීට පෙර අන්තර්ජාලය ඔස්සේ හැඳුනුම්පත් ගැන විමසීමට තිබූ පහසුකම ද දැන් ඉවත් කර ඇත. එනිසා අඩුගණනේ රාජකාරී පැය අට තුළ දීවත් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන නිලධාරීන් සිටින නව දුරකතන අංක දෙකක්වත් (Hot Number) ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. එබැවින් මෙම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ හා ප්‍රතිශෝධන ක්‍රියාවලිය විධිමත් කර ඉක්මණින් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කර දෙන ලෙස ඉල්ලා සිටිමු.

ප්‍රියදර්ශන බණ්ඩාර 
පොල්ගස්ඕවිට

Comments