2020 දකුණු පළාත් සාහිත්‍ය තරගාවලියේ ප්‍රතිඵල කවදා ද? | සිළුමිණ

2020 දකුණු පළාත් සාහිත්‍ය තරගාවලියේ ප්‍රතිඵල කවදා ද?

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් දකුණු පළාත තුළ විසිරී සිටින නිර්මාණශීලී පාසල් දරුදැරියන්ගේ සහ වැඩිහිටි කලාකරුවන්ගේ පද්‍ය, කෙටිකතා, ගීත රචනා, සහ කවි කොළය ආදි නිර්මාණ බාර ගැනීම පසුගිය 2020 වසරේ මුල් කාර්තුවේදී සිදු කෙරිණි.

2018/19 වර්ෂයන්හිදී මෙකී අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ජී. එල්. වර්ණන් පෙරේරාගේ මෙහෙයවීම මත සිසු වැඩිහිටි සාහිත්‍ය තරගාවලි පවත්වා ඔවුන්ගේ නිර්මාණ අගයමින් ‘සාහිත්‍යධාරා’ ග්‍රන්ථයක් එළිදැක්වීමටත් සාහිත්‍ය උලෙළක් පවත්වා ඔවුනට තිළිණ සහ සහතිකපත් ලබා දී නිර්මාණකරුවන් දිරිමත් කිරීමටත් කටයුතු සංවිධානය කෙරිණි. අප මෙහිදී එය සිහිපත් කරනුයේ ගෞරව පූර්වකවයි.

එහෙත් 2020 වසරට අදාළව මෙතෙක් එම ප්‍රතිඵල නිකුත් කිරීමට හෝ සාහිත්‍ය මහෝත්සවයක් පැවැත්වීමට හෝ නොහැකි වූයේ කොවිඩ් වසංගතය නිසාවෙන් බවට ගම්‍ය වේ. එම නිසා 2021 වසරේදී නිර්මාණ බාර ගැනීමක් ද සිදු නොවීය.

වර්තමානය වන විට පාසල් විවෘතකොට තරග විභාග පැවැත්වීමත් විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වෙන ආකාරයක් දක්නට ලැබේ. එම නිසා මේ පිළිබඳව අදාළ බලධාරින්ගේ ද අවධානය යොමු වනු ඇතැයි අපගේ විශ්වාසයයි.

පාසල් දරුදැරියන් මෙන්ම නිර්මාණශීලි කලාකරුවන්ගේ නිර්මාණ හැකියාව ප්‍රවර්ධනය සඳහා අඩුම තරමින් තිළිණ සහ සහතිකපත් ලබා දී ඔවුන් ඇගැයීමට ලක්කරනු ඇතැයි යන්න අපගේ පැතුමයි. රටේ වාතාවරණය අනුව සාහිත්‍ය උලෙළක් පැවැත්වීම පසුවට කල් තැබිය හැකිය.

එස්. සමරනායක 
අම්බලන්ගොඩ

Comments