වර්තමානයේ අන්තර්ජාල මාධ්‍ය පාවිච්චිය දැලි පිහියෙන් කිරි කෑමක් වැනිය. ඊට ප්‍රධාන හේතුව අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටින දරුවන්ගේ ජීවිතවලට එල්ල වී තිබෙන මාරක තර්ජනයයි. පසුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ හදවත කම්පාවට පත්කළ සිදුවීමකි. ඒ අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩාවකට ඇබ්බැහිවී සිටි, අවුරුදු දොළහක් පමණ වයසැති දරුවකුට ජංගම දුරකථනයක් නොදීම හේතුවෙන් ගෙල වැලලාගෙන මිය යාමේ පුවතකි.
මෙසේ කුඩා දරුවකුගේ මනස සිය ජීවිතය විනාශ කරගැනීමට තරම් ශක්තිමත් වූයේ කෙසේ ද? මේ සඳහා අනුබල දුන්නේ කවුරුන් ද? මේ කරුණු පිළිබඳව අද දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.
අන්තර්ජාල පහසුකම් සහිත ඉතා වටිනා ජංගම දුරකථන පාවිච්චියට දරුවන් නැඹුරු වූයේ, පසුගිය කාලයේ පැවැති ‘ඔන්ලයින්’ අධ්‍යාපනය නිසාය. හයක් හතරක් නොදන්නා දරුවන් අතට ජංගම දුරකථන ලැබීමත් සමඟම ඔවුන් අධ්‍යාපනයට පමණක් නොව විවිධ අන්තර්ජාල ක්‍රීඩාවන්ටද නැඹුරු විය.
එය ඔවුන්ගේ අධ්‍යාපනයට කෙසේ වෙතත් ජීවිතයටම දැඩි තර්ජනයක් වූ බවද සඳහන් කළ යුතුය. අද කුඩා දරුවන් නැළවීමේ මෙවලමක් වශයෙන්ද ජංගම දුරකථනය භාවිත කරන සමහරක් තරුණ මවුවරුද සිටිති. එවන් දසුනක් පසුගිය දිනක මට දක්නට ලැබිණි. ඇය තරුණ මවකි. අවුරුදු හයක් පමණ වයසැති තම කුඩා දරුවා අතට ඇයගේ අතිසුඛෝපභෝගී ජංගම දුරකථනය දී පැයක පමණ කාලයක් ඇය නිවසේ වැඩ රාජකාරි කර ගත්තාය.
අනතුරුව දරුවාගෙන් දුරකථන ඇයට ආපසු ලබා ගැනීමට හැකි වූයේද දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසුවය. ඒ කෙටි කාලය තුළ සිඟිති දරුවා දුරකථනයට තදින් ආකර්ෂණය වී සිටි නිසාය.
වත්මන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය අංගයක් වී ඇත්තේ, ‘ටික්ටොක්’ ක්‍රීඩාවයි. ඒවායින් බහුතරයක් වැඩිහිටියකුටවත් බැලීමට නොහැකි අසෝබන දසුන්ය. කුඩා දරුවන්ගේ හැඟීම් අවුස්සා ඔවුන් නොමඟට යොමුකරගන්නා ප්‍රවණතාව ද ඉතා වැඩිය.
එබැවින් බුද්ධිමත් දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන් වශයෙන් ඔබලාගේ යුතුකම වන්නේ, පාසල් වයසේ පසුවන ඔබේ දරුවාට ජංගම දුරකථනයක් ලබා දුන් පසුව, ඒ ගැන නිරන්තරවම සෝදිසියෙන් සිටීමයි. එසේ නොවුණහොත් වන්නේ නූල අත හැරුණු සරුංගලයක් මෙන්, ඔබේ දරුවා නන්නත්තාර වී විනාශයට පත් වීමයි.
එස්. සමරනායක
අම්බලන්ගොඩ