
මෙතෙක් කල් අලියාට පමණක් කැපූ කිතුල් ගස දැන් අපේ රටට ‘ඩොලර්’ ඇද්ද විය හැකි තවත් කප්රුකක් බවට පත්වී ඇත. පොල් ගස මෙන් කිතුල් ගසේ සෑම කොටසකින්ම අපට ප්‍රයෝජන ගත හැකි ය. කිතුල් බෙඩන් රසවත් ආහාර මෙන් ම කිතුල් පැණිවලින් රට සල්ලි ඉපැයීමට දැන් කිතුලට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතනයක් ද පිහිටුවා ඇත.
අපේ රටේ අලුත්ම කිතුල් නිපැයුම කිතුල් චොක්ලට්ය. අපේ රටේ අලුතින් ම පිහිටූ රාජ්‍ය ආයතනය වන කිතුල් සංවර්ධන මණ්ඩලයේ උපදෙස් අනුව දැන් අපේ කිතුල් බඩෙන් කිතුල් චොක්ලට් හා කිතුල් කේක් හැදීමට කටයුතු කරයි. එමෙන් ම අලුත්ම පර්යේෂණ අනුව පිරිසිදු කිතුල් පැණි දියවැඩියාවට අගුණ නැති ආහාරයක් ලෙස ඉහළම ප්‍රමිතියක් ගෙන ඇත.
කිතුල් චොක්ලට් සහ කිතුල් කේක් ඇවිත්
විවිධ හේතූන් මත අභාවයට පත්වෙමින් යන අපේ කිතුල් කර්මාන්තයට හා අඩු ආදායම් ලබන කිතුල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට දැන් සුබදායි ආරංචියක් ලැබී ඇත. ඒ මෙරට ප්‍රථම වරට කිතුල් සඳහා රාජ්‍ය අමාත්‍යාංශයක් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කර සිටීමයි. ඒ අනුව පොල්, තල්, කිතුල්, රබර් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුය. ඔහුගේ උනන්දුව මත පොල්, තල්, කිතුල් හා රබර් කර්මාන්තයේ ඉදිරි දියුණුවට වැඩ කටයුතු රැසක් සිදු කෙරෙමින් පවතී.
ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ආශිර්වාදයෙන් වැවිලි ඇමැති රමේෂ් පතිරණගේ උපදෙස් පරිදි අරුන්දික ප්‍රනාන්දු ඇමැතිවරයාගේ මෙහෙයවීම මත මෙරට කිතුල් කර්මාන්තය දියුණුවට දැන් ප්‍රබල වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා වැවිලි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ පූර්ණ සහාය ලබා දෙයි. ඉන් ප්‍රබලම සංවර්ධන කටයුත්ත වන්නේ මෙරට කිතුල් කර්මාන්තයේ ඉදිරි දියුණුව පිණිස ශ්‍රී ලංකා කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබීමයි.
ඒ අනුව එම මණ්ඩලයේ ප්‍රථම සභාපතිවරයා වූ නීතිඥ ගිහාන් පෙරේරා මෙරට කිතුල් ආශ්‍රිත ගොවි ජනතාවට හා කිතුල් මඟින් ප්‍රාථමික හා ද්විතීයික නිපැයුම් කරන අයට අදට වඩා හොඳ හෙටක් ලබාදීමට ඇප කැපවී කටයුතු කරමින් සිටී. අපේ රටේ කිතුල් සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නීතිඥ ගිහාන් පෙරේරා පවසන්නේ කිතුල් කර්මාන්තය හරියට දියුණු කළොත් එමඟින් ලොකු විදේශ විනිමයක් ඉපැයිය හැකි බවයි.
“කිතුල් පැණි හා කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ටත් සුදුසුයි. ලොව කර ඇති පර්යේෂණ අනුව අඩුම G.I. අගය ඇත්තේ කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවලටයි. ලොව ඒ හා සමාන නිපැයුම්වලට වඩා කිතුල් පැණි හා කිතුල් හකුරු දියවැඩියාව තිබෙන රෝගීන්ට පරිභෝජනයට සුදුසුයි කියලා, අලුත්ම පර්යේෂණ අනුව සොයා ගෙන තිබෙනවා. ඒ අනුව අපි හරියට ප්‍රමිතියට මේ නිපැයුම් කළොත් ලොකු විදේශ ඉල්ලුමක් හා විදේශ වෙළෙඳ පොළක් තිබෙනවා. අපිට එමඟින් ඩොලර් අපේ රටට ඇද්දවිය හැකියි. එය සපුරා ගැනීමට අපි ග්‍රාමීය කිතුල් ආශ්‍රිත කටයුතු කරන අයට සියලු උදව් දෙනවා. අපි මුලින්ම කිතුල් මල කපන අය කිතුල් කාර්මිකයන් ලෙස පුහුණු කරනවා. ඒ සමඟම ඔවුන්ට කිතුල් මල් කැපීමට අවශ්‍ය උපකරණ නව තාක්ෂණයට ජීවිත රක්ෂණ ක්‍රම ලබාදෙනවා.
කිතුල් නිපැයුම්වලට ඉහළ වෙළෙඳ පොළ හා නව තාක්ෂණය ග්‍රාමීය ජනතාව අතරට ගෙන ගොස් ඔවුන්ගේ ආර්ථිකය ජීවිත තත්ත්වය වැඩි දියුණු කිරීම තමයි අපේ අරුන්දික ඇමැතිතුමාගෙයි මගෙයි ප්‍රධාන ඉලක්කය.
අපි කිතුල් කාර්මිකයන්ට ඒ කියන්නේ කිතුල් මල කපන අයට NVQ සහතිකයක් දෙන වැඩපිළිවෙළක් හදනවා. ඒ අනුව දැන් ඒ පාඨමාලාව සකස් කරනවා. ඒ අනුව පාරම්පරික තාක්ෂණයට හා නව තාක්ෂණය යොමු කර අදාළ විද්වතුන්ගේ උපදෙස් අනුව මේ අලුත් NVQ පාඨමාලාව සකස් කර ඒ අයට ජගත් මට්ටමේ සහතිකයක් දෙනවා.
කිතුල් සැකසුම් තිරසර ගම්මාන අැති කරන්න අපි සූදානම්. ඒ අනුව පිටරට සංචාරකයන් පවා මේ ගමට කැඳවාගෙන එනවා.
ඔවුන්ට අලුත් අත්දැකීම් ලබාදෙනවා. කිතුල් ව්‍යවසායක සමිති කිතුල් ආශ්‍රිත නිපැයුම් කරන ජනතාව සිටින ගම්වල පිහිටුවනවා. ඒ සමිතියට අපි අවශ්‍ය සියලු පහසුකම් දෙනවා. ගුවන් තොටුපළ කොළඹ හා නුවර ප්‍රධාන සාප්පු සංකීර්ණවල ඉහළම ප්‍රමිතියේ කිතුල් නිපැයුම් විකුණන වෙළෙඳ කුටි විවෘත කිරීමටත් අපි අපේක්ෂා කරනවා.
කැලේට ගිහින් මල් කපන්න කිතුල් මණ්ඩලෙන් හැඳුනුම්පත්
ඊට අමතරව කිතුල් ලීයෙන් ද විවිධ නිපදවීම් කරන්න පුළුවන්. කිතුල් රෑන්වලින් විසිතුරු භාණ්ඩ හදන්න පුළුවන්. ‘ඩස්පින්’ මේ කිතුල් ගසේ කොටස්වලින් හදන්න පුළුවන්. ඉදිරියේදී සියලු රාජ්‍ය ආයතන සඳහා ‘ප්ලාස්ටික් ඩස්පින්’ වෙනුවට ‘කිතුල් ඩස්පින්’ හඳුන්වා දීමට අපි සූදානම් යයි ද සභාපතිවරයා පැවසුවේ ඉදිරියේ කිතුල් මඟින් රටට ඩොලර් ද ගේන බව අවධාරණය කරමිනි.
කිතුල් මල් කැපූ පසු කිතුල් ගස් කිතුල් බොඩය අලින්ට කෑමට දීම කාලයක් තිස්සේ සිදු කරයි. නමුත් කිතුල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ කිතුල් ලීයෙන් පොල් ගසෙන් මෙන් ම ගෘහ භාණ්ඩ ද සකස් කරන බවයි. ඉන් විසිතුරු භාණ්ඩ හා පිඟන් කෝප්ප පවා හැදීමට කිතුල් සංවර්ධන මණ්ඩලය දැන් පර්යේෂණ පවත්වයි. ඒ සමඟම කිතුල් ගසේ ඇති කෙදිවලින් ද ලණු වර්ග නිෂ්පාදනය කෙරේ. ලංකාවේ දිස්ත්‍රික්ක 13 ක් පුරා ලක්ෂ 20 ක් පමණ කිතුල් ගස් විසිරී ඇත. නමුත් ඉන් තවමත් ප්‍රයෝජනයට ගන්නේ එම ගස්වලින් සියයට 8 ක් පමණි.
කිතුල් මල් මදින අයට NVQ සහතිකයක්
කිතුල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන ඉලක්කය ප්‍රයෝජනයට ගන්නා කිතුල් ගස් ප්‍රමාණය වැඩි කරගැනීමයි. ඊට අමතරව කිතුල් තවාන් දමා කිතුල් පැළ ගම්වාසීන්ට ලබා දීමට ද කටයුතු කෙරේ. ‘කිතුලට අරුණ’ කිතුල් වගා කිරීමේ දීප ව්‍යාප්ත වැඩ සටහන ළඟදීම ආරම්භ කෙරේ.
මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන සභාපති නීතිඥ ගිහාන් පෙරේරා පවසන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව. කැලෑ ඇතුළේ තිබෙන කිතුල් මල් මැදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ඒ සඳහා ග්‍රාමීය කිතුල් සමිති පිහිටුවා හැඳුනුම්පත් ලබාදෙන බව ද සභාපතිවරයා කියයි.
ඒ සමඟම කිතුල් ගසේ බොඩයෙන් ද රසවත් ආහාර සකස් කර ගත හැකි ය. ඒ බොඩයේ පිටිවලින් කිතුල් චොක්ලට් සෑදීමට හා කේක් සෑදීමට කිතුල් සංවර්ධන මණ්ඩලය හා කාර්මික තාක්ෂණ ආයතනය එක්වී කටයුතු කරයි. ඊට අමතරව කිතුල් නිපැයුම් සමිතිවල එකතුවීමෙන් කිතුල් නිපැයුම් නිෂ්පාදන මධ්‍යස්ථාන ද පිහිටුවීමට ද කටයුතු කෙරේ.
දියවැඩියාවට සුදුසු ආහාර අතරට කිතුල් පැණි කිතුල් හකුරු ඉහළ තැනක
මේ අතර මාලිබොඩ දැරණියගල පදිංචි යූ.ජී.සී. ලක්මාල් කරුණාරත්න පවසන්නේ තමන් දැනටමත් වසරක කාලයක සිට කිතුල් පිටිවලින් චොක්ලට්, කේක් ආදිය නිෂ්පාදනය කරන බවයි. “දැනට මම කිතුල් පැණි හා කිතුල් හකුරු නව අසුරනයක් සහිතව ජගත් මට්ටමෙන් නිෂ්පාදනය කරනවා. මේ සඳහා කිතුල් සංවර්ධන මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලැබෙනවා.
එහි සභාපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරියේදී කිතුල් පැණි හා කිතුල් හකුරුවලට නියමිත ප්‍රමිතියක් හා නියමිත ලාංඡනයක් ඇතිව නිෂ්පාදනය කර එතෙර වෙළෙඳපොළ සඳහා යැවීමට කටයුතු කිරීමයි අපේ සූදානම.
ඒ නිසා ඒවා සහ කිතුල් ගසෙන් නිෂ්පාදනය කරන්න හැකි සියලුම දේවල් අගය එකතු කළ හා ද්විතීයික නිෂ්පාදන ලෙස විදේශ වෙළෙඳ පොළට යවන්න අපට හැකියාව තිබෙනවා” යැයි ලක්මාල් කියයි.
යගිරල උඩුගම සුමනසිරි වීරසිංහ කිතුල් කර්මාන්තය ආශ්‍රිතව වසර හතළිහක් කටයුතු කළ අයෙකි. කිතුල් මල් තලන සුමනසිරි දැන් කිතුල් තවානක් ද දැන් ඇති කර ඇත. ඒ අනුව අක්කර දහයක ප්‍රදේශයක කිතුල් වැවීමට ද ඔහු සූදානම් වෙයි.
“කිතුල් සංවර්ධන මණ්ඩලය අපේ සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තය දියුණු කරන්න හා නවීකරණය කරන්න උදව් රැසක් ලබාදෙන බවට පොරොන්දු වුණා. එහි සභාපති ගිහාන් පෙරේරා මහතා ග්‍රාමීය සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තය දියුණු කර අපේ ජීවන මට්ටම හා ආර්ථික මට්ටම දියුණු කරන්න ප්‍රබල උත්සාහයක යෙදෙනවා.
ඒ අනුව ඉදිරියේදී අපේ කර්මාන්තය ඉහළම ප්‍රගතියක් ඇති වෙතැයි අපේක්ෂා කරනවා” යැයි වීරසිංහ පවසයි.