
- කෝටියකට වඩා එන්නත් දීලා
- යුද හමුදාවෙන් අතරමැදි වෛද්‍ය මධ්‍යස්ථාන 12ක්
චීනයේ වූහාන් පළාත කේන්ද්‍ර ගත කර ගනිමින් පැතිර යාම ඇරඹුණු බව කියන කොවිඩ් 19 නව කොරෝනා වයිරසය මේ වන විට මුළු ලෝකයේම අංක එකේ සතුරා බවට පත්ව තිබේ. ලෝක වාසී සමස්ත ජනතාවම බියෙන් සලිත කරමින් 2020 නව දශකය උදාවත් සමඟ වඩාත් වේගයෙන් පැතිර යාම ඇරඹුණු මෙම කොරෝනා වයිරසය මේ වන විට තව තවත් භයානක විකෘති ප්‍රබේද පවා ඇති කරමින් මෙතෙක් බලවත් හා සුපිරි රටවල් ලෙස හැඳින්වුණු රටවලද සෞඛ්‍ය පද්ධතිය පවා බිමටම ඇද දමා ඇත.
කෙසේ වෙතත් 2020 ජනවාරි මාසයේදී මෙරට සංචාරයට පැමිණි චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් හමුවුණු පළමු වැනි කොවිඩ් ආසාදිතයා ලෙස හඳුනා ගන්නා ලදී. ඉන් අනතුරුව 2020 මාර්තු මස 11 වැනි දින මෙරටින් පළමු දේශීය කොවිඩ් රෝගියා වාර්තා වුණු අතර ඒ සමඟ රට කොවිඩ් අවදානමෙන් මුදවා ගැනීම අරමුණු කර ගෙන රට පුරා ඇඳිරි නීතිය පැනවීමටද රජය කටයුතු කරන ලදී.
2021 අප්‍රේල් මස සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ අලුතෙන් හඳුනා ගත් සිංහල අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් රෝගීන් හා මරණ වැඩි වශයෙන් වාර්තා වීම සිදු වු අතර තවමත් ශ්‍රී ලංකාව බැට කමින් සිටින්නේ එම තුන්වන කොවිඩ් රැල්ල හේතුවෙන් බව විශ්ලේශකයන්ගේ අදහසයි.
එමෙන්ම කොවිඩ් පාලනය සඳහා කළ යුතු හොඳම දෙය ලෙස එන්නත්කරණය වේගවත් කිරීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කිරීමත් සමඟම ශ්‍රී ලංකාවටද එම එන්නත් ඉතා ඉක්මනින් ගෙන්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලදී. ඒ අනුව මෙරට තුළ කොවිඩ් එන්නත්කරණ කමිටුවක්ද පිහිටු වූ අතර එහි සභාපති ධූරයට ජනාධිපතිතුමාගේ ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පත් කෙරිණ.
එම කමිටුව පිහිටුවීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද සම්බන්ධ කර ගනිමින් මෙරටට ඉක්මනින්ම කොවිඩ් මර්දන එන්නත් ගෙන්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ පහක ප්‍රමාණයක් 2021 ජනවාරි මස 29 වැනි දින ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබීමත් සමඟම මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවළ නිල වශයෙන් ආරම්භ විය. “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නතට පසු චීනයේ නිෂ්පාදනයක් වන සයිනෝෆාම් එන්නතද මෙරට එන්නත්කරණය සඳහා යොදා ගන්නා අතර මේ වන විට මෙරට ජනගහනයෙන් වැඩි පිරිසකට ලබා දී ඇති එන්නත වන්නේද එම සයිනෝෆාම් එන්නතයි. චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති දැඩි, සුහදශීලී මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු කරමින් එම එන්නත් මාත්‍රා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනය විසින් මෙරටට පරිත්‍යාග කර තිබීම විශේෂ කාරණාවක් වන අතර තවත් සැලකිය යුතු එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් චීනයෙන් මිලට ගත් එන්නත් වන බවද කිව යුතුය. මීට අමතරව චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන තවත් කොවිඩ් මර්දන එන්නත් වර්ගයක් වන සිනොවැක්ස් එන්නත චීනයේ අනුග්‍රහය ඇතුව මෙරට තුළ නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ආයතනයක් විසින් දැනටමත් සියලු වැඩ කටයුතු ආරම්භ කර තිබේ. මෙම එන්නත් වලට අමතරව කොවිඩ් වසංගතය පාලනයේදී ඉතාම ඵලදායී එන්නත් බව කියවෙන් ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර්, මොඩර්නා හා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් යන එන්නත් වර්ගද මෙරට එන්නත්කරණය සඳහා මේ වන විට යොදා ගන්නා අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවෙන් අඛණ්ඩව සපයා ගැනීමේදී ඇති වුණු අර්බුදය නිමා කරමින් ජපානය විසින් නිෂ්පාදනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් පසුගිය සෙනසුරාදා ජපානය විසින් මෙරටට පරිත්‍යාග කරන ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් පෙෞද්ගලිකව සිදු කරන ලද ඉල්ලීමට ඉතාම සුභදායී ප්‍රතිචාර දක්වමින් එම කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 1.5 ක ප්‍රමාණයක් මෙලෙස මෙරටට හිමි ව තිබුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජපාන රජය විසින් එම එන්නත් තොගය නොමිලයේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.
මේ අතර ලෝක එන්නත්කරණ වැඩපිළිවළ සහ ආසියාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ වේගයෙන් පහත වැටෙද්දී මේ වන විට ක්‍රියාත්මක මෙරට කොරෝනා එන්නත්කරණය වේගවත් වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබීම අපගේ රට ලැබූ ඉතාම සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දිය හැකියි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්දන එන්නත් අතරින් එක් මාත්‍රාවක් හෝ ලබා ගත් පිරිස මිලියන 10 ද ඉක්මවා ගොස් ඇති අතර මාත්‍රා දෙකම ලබා ගත් පිරිසද මිලියන තුනේ සීමාවට ළඟා වෙමින් පවතී. අවස්ථා කීපයකදීම කොවිඩ් ආසාදිතයන් නිසා මෙරට රෝහල් වල ධාරිතාවය ඉක්මවා යෑම් ද සිදු වුණු අතර එහිදී එම රෝගී ජනතාව අපහසුතාවට පත් වීම වැළැක්වීම සඳහා දිවයින පුරා රෝහල් රැසක් කොවිඩ් රෝගීන් සඳහාම වෙන්වුණු විශේෂිත රෝහල් බවට පත් කිරීම සඳහාද රජය කටයුතු යෙදීය. එපමණක් නොව තවත් රෝහල් රැසක කොවිඩ් ප්‍රතිකාර සඳහා විශේෂිත වාට්ටුද ඇති කළ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂයන් මහතාගේ සංකල්පයක් අනුව කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඇඳන් 10,000ක් ලබා දීමේ වැඩසටහනක්ද කඩිනමින් සිදු විය. මීට අමතරව වර්ධනය වෙමින් ආ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිවයින පුරා ඇඳන් 20000 ක් සමඟ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 ක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර කාලීන අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රි ලංකා යුද හමුදා යුධෝපකරණ බළකාය විසින් කොස්ගම යුද හමුදා කර්මාන්ත සංකීර්ණයේදී ලෝහ ඇඳන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ලදී.
මේ වන විටත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වැඩි පිරිසකට මෙම එන්නත් ලබා දී ඇති නිසා කොරෝනාවට පෙර පැවැති සාමාන්‍ය ජන ජීවිතය මෙරට තුළ යළි ඇති කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින අතර එම අරමුණ සාර්ථක කර ගැනීමේ අටියෙන් ලබන සැප්තැම්බර් මාසය වන විට මෙරට ජනගහණයෙන් මිලියන 13 කට වැඩි පිරිසකට එන්නත් ලබා දීම රජයේ අපේක්ෂාවද වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මහතා ජාතිය අමතමින් සිදු කළ කථාවකදීද රජයේ මෙම අපේක්ෂාව සපථ කර සිටි අතර මේ කාලය තුළ වයස අවුරුදු 30 ට වැඩි සියලුදෙනාම වාගේ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපතිතුමා විසින් එහිදී විශ්වාසයද පළ කරන ලදී.
වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී වේගවත් අයුරින් සිදු කිරීමට නියමිත අතර කොවිඩ් වසංගතය පැතිර යාමත් සමඟ වසා දැමුණු පාසැල් යළි ආරම්භ කිරීමට ප්‍රථම අවුරුදු 12 ට වැඩි දරු දැරියන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සඳහා රජය බලාපොරොත්තුවෙන් සිටින බව කියවේ. එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භයේදී සිදුවූ අඩුපාඩු හා ගැටලු හඳුනා ගනිමින් හා ඒ පිළිබඳව පසු විපරම් සිදු කරමින් ඉතාම ක්‍රමානුකූල ලෙසත්, විධිමත් ලෙසත් මේ වන විට ක්‍රියාවට නැෙඟන මෙම කොවිඩ් එන්නත්කරණ වැඩපිළිෙවළ පිළිබඳව මෙරට ජනතාවද සුබදායී බලාපොරොත්තු තබා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවස්ථා කීපයකදීම එය ප්‍රශංසාවට මෙන්ම ඇගයුමටද ලක් කර තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය අපේ රටේ එන්නත්කරණ වැඩපිළිෙවළේ ඇති සාර්ථකත්වය පිළිබදව කරුණු වාර්තා කර තිබුණි.