වසරක් ඇතුළත කළ මහ මෙහෙය | සිළුමිණ

වසරක් ඇතුළත කළ මහ මෙහෙය

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් මුදල් ඇමැති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව. අගමැති මහින්ද රාජපක්ෂයන් ද පසෙක සිටී.

- ‘අපේ සේලයින්’ වැඩ අරඹයි. වසරකට රු. කෝටි 100ක ප්‍රතිලාභ
- නාගරික ජනතාවට අලුත් ගෙවල් 37,500ක්
- වී මිලදී ගන්න සහතික මිල සියයට 90කින් ඉහළට
- කෝටි 100ක අලුත් ව්‍යාපෘති 284ක්
- අපේ ගොවි ජනතාවට කෝටි 12,000ක වාසියක්
- අලුත් අධිවේගි මාර්ග 4ක් මහ පාලම්, ගුවන් පාලම් රැසක්
- අලුත් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩ දිගටම

ටක දියුණුවට කළ යුත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳව ක්‍රියාකිරීම හා රටේ අනාගත නායකත්වයට පැමිණීමට ඉඩ ඇති අයට නඩු පැවරීම පිළිබඳව කටයුතු කිරීම නොවන බවත් රටක් දියුණු කිරීමට කළ යුත්තේ ඊට අදාළ විද්වතුන්, දක්ෂ පරිපාලකයන් සමඟ එක්ව කාර්යක්ෂම ගමනක් යාම බවත් වත්මන් රජයේ පසුගිය වසරක ගමන් මඟ පිළිබඳව ස්වාධීන අධ්‍යයනයක යෙදෙන අයට පැහැදිලිවේ. 

2015 - 2019 ‘යහපාලන’ රජයේ අදූර්දර්ශී හා පළිගැනීමේ චේතනාවෙන් කළ වැඩ නිසා මෙරට ලක්ෂ 210ක අධික ජනතාවට සිදුවූ ‘සෙතට’ වඩා වැඩි සෙතක් වත්මන් රජයේ වසරක කාලය ඇතුළතදි ජනතාවට ලැබී ඇතැයි ඒ පිළිබඳව නිදහස් අදහස් දක්වන සමාජ පර්යේෂකයෝ පවසති.

ඒ අනුව වත්මන් රජය අපේ රටේ ජනතාවට කන්න බොන්න ඉන්න හිටින්න යන්න එන්න මෙන්ම සුවසේ ජීවත් වෙන්න පසුගිය වසර ඇතුළතදි ඉමහත් සේවයක් කර ඇත. කෝවිඩ් 19 වසංගත නොතිබුණා නම් මේ සේවය තව 6 - 7 ගුණයකින් වැඩිවීමට ඉඩ තිබිණ.

අපේ රට කෘෂිකාර්මික රටකි. ඒ අනුව අපේ රටේ ගොවීන්ට හොඳ ආදායමක් ලබාදීමට පසුගිය වසර තුළ මේ රජය වැඩකටයුතු රැසක් සිදුකර ඇත. අපේ රටේ වැවෙන කහ, ඉඟුරු, ගම්මිරිස්, පුවක්, බුලත් වැනිදෑ පිටරටවලින් මෙරටට ගෙන ඒම වැළැක්විම, වී සඳහා පොහොර සහනාධාරය ලබාදෛන අතරම වී සඳහා රුපියල් 30ක් වූ සහතික මිල රුපියල් 55 දක්වා සියයට 90කින් වැඩිකිරීම ද සිදු කළේය. සත්ව ආහාර නිෂ්පාදනයට වී සහල් ලබාදීම නතර කළ අතර මුං, සෝයා, උදු, බඩඉරිඟු මෙරට තුළ වැවීමට ආධාර හා නව උපදෙස් ලබාදීම ආරම්භ කරන ලදි.

මෙරට කෘෂිකර්මය තිරසර ලෙස වැඩිදියුණු කිරීමට මෙරට ගොවි පරපුරට වකුගඩු හා පිළිකා වැනි රෝග වැලඳීම වළක්වා ගැනීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි වත්මන් රජය අනුමත කළ සුවිශේෂ වැඩපිළිවෙළ වූයේ අපේ රටට රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක ගෙන ඒම තහනම් කිරීමයි.

රටේ ජනතාව රටේ පස සුවපත් කරන ලොව ප්‍රථම වරට ක්‍රියාත්මක මේ වැඩපිළිවෙළ නිසා මෙතෙක් කල් රසායනික පොහොර ගෙන්වීමට හා රසායනික කෘමිනාශක, වල්නාශක ගෙන්වීමට එතෙර ගිය මුදල හා පොහොර සහනාධාරය ලෙස දුන් මුදල වන රුපියල් කෝටි 12,000ක මුදල අපේ රටේ ඉතිරි කර ඒ මුදල අපේ ගොවීන්ටම ලබාදීමට හැකිවන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඒ සමඟම කාබනික පොහොර නිපැයුම් වැඩිකර රටේ පොහොර ඉල්ලුම සපිරීමට විධිමත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරයි.

මේ අතර වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙරට අත්‍යවශ්‍ය ආහාර අඩු මිලට ජනතාවට ලබාදීමට විශාල උත්සාහයක යෙදේ. ඒ යටතේ දැනට සතොස මඟින් රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 88 බැගින් අවශ්‍ය තරම් ලබාදෙයි. සුදු කැකුළු සහල් රුපියල් 92ක්, නාඩු සහල් රුපියල් 97ටත් ලබාදීමට ඒ යටතේ පියවර ගෙන ඇත. ඒ සමඟම ඉහළ ප්‍රමිතියේ මුඛ ආවරණ රුපියල් 10 සිට ලබාදීමටත් සීනි හා පරිප්පු වැනි දෑ අඩු මිලට ලබාදීමටත් පියවර ගෙන තිබේ.

පාලන මිලට වැඩි මිලට සහල් විකුණන හා හාල් හංගන අයට රුපියල් ලක්ෂ 2ක දක්වා දඩ ගැසිය හැකි අයුරින් පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති 72ක් වෙනස් කරන බවත් ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියයි.

මෙරට කොරෝනා රෝගය රට පුරා පැතිරී තිබුණත් වත්මන් රජය සිය සංවර්ධන කටයුතු අඩපණ කර නොමැත. වත්මන් රජය 2021 පළමු කාර්තුව යටතේ රුපියල් කෝටි 100ක ඉක්මවන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284 රටේ විවිධ ප්‍රදේශවල ආරම්භ කර තිබේ. ඒවා අමාත්‍යාංශ 44ක් යටතේ ක්‍රියාත්මකය. ඒ අනුව රටේ සංවර්ධනයට රුපියල් කෝටි 19250ක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත. මේ අතරින් ප්‍රධාන ව්‍යාපෘති 53ක් ම ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම පිණිසය.

රටේ පවුල් ලක්ෂ 47ට දවසේ පැය 24 පුරාම පිරිසුදු පානීය ජලය ලබාදීමට අලුත් ජල ව්‍යාපෘති කීපයක් ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් පරිදි දැන් ජල සම්පාදන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි. ‘විසල් මාතලේ’, පානීය ජල යෝජනා ක්‍රමය පසුගිය සතියේ ජනතා අයිතියට පත්වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් අනුව ජලාධාර ප්‍රදේශ සුරැකීමට විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත.

කොළඹ අපජලය බැස යාමට නව ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මුළු කොළඹ නගරය පුරා පොළොව යටින් දැන් අලුත් නළ පද්ධතික් එළමින් පවතී. එම ජලය මුහුදට යැවීමට නව තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන ඇත.

රටේ ජනතාවට ජලය ලබාදීමට කිලෝමීටර් 40,000ක් දුරට අලුත් ජල නළ ඇතිරීමට ද දැන් කටයුතු කර තිබේ. ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරගේ ඉල්ලීම අනුව ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෝ අලුත් ජලනළ එළීම සඳහා අතිකාල දීමනා නැතිව සේවය කරති. ඉන් රජයට ඉතිරිවූ මුදල කෝටි 20ක් බව ඇමැතිවරයා කීය. ඒ කටයුත්ත අගමැතිවරයාගේ ප්‍රසාදයට ද ලක්විය.

නව අධිවේග මාර්ග ඉදිකිරීම ද දැන් වේගවත් වී ඇත. ඒ අනුව මෙරට දෙවැනි අධිවේගය වන කොළඹ පිටත වටරවුම් මාර්ගය දැන් කොට්ටාවේ සිට කෙරවලපිටිය දක්වා ඉදිකර තිබේ ඒ මඟින් මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගි මාර්ගයත්, තෙවන අධිවේගි මාර්ගය වන කොළඹ කටුනායක මාර්ගයත් සතරවැනි අධිවේගි මාර්ගය වන කඩවත දඹුල්ල ඉදිවෙමින් පවතින නව මධ්‍යම අධිවේගි මාර්ගයත් එකට සම්බන්ධ වී තිබේ. ඒ අනුව ඒ මාර්ගවල එන අයට කොළඹ නගරයේ වාහන තදබදයට හසු නොවී තමන්ට අවශ්‍ය අධිවේගි මාර්ග ඔස්සේම තම ගමනාන්තයට ළඟා විය හැකිය.

වත්මන් රජය දැන් ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් අනුව තවත් අධිවේගි මාර්ග 4ක් ඉදිකරමින් පවතී. ඒ මේ වසර අවසන් වීමට පෙර ජනතා අයිතියට පත්වන මධ්‍යම අධිවේගි මාර්ගය, කැලණිය - අතුරුගිරිය අධිවේගි මාර්ගය, කැලණිය - කොළඹ වරාය නගරය අධිවේගි මාර්ගය හා කහතුඩුව - පැල්මඩුල්ල රුවන් පුර අධිවේගි මාර්ගයයි.

කැලණි ගඟ හරහා පෑලියගොඩදි රුපියල් කෝටි 5300ක් වැය කරමින් කේබල් 96කින් එල්ලෙන පාලමක් හා ගුවන් පාලම් ඇතුළු අධි‍වේගි මාර්ග අන්තර් හුවමාරු සංකීර්ණයක් ඉදිකර තිබේ. අලුත් පාලමේ වැඩකටයුතු අවසන් අතර ඒ ඔස්සේ කටුනායක - කොළඹ, කැලණිය - අතුරුගිරිය ද කැලණිය කොළඹ වරාය නගරය නව අධිවේගි මාර්ගවල ගමන් ගන්නා වාහනවලට කිසිම බාධාවක් නැතිව ගමන් කිරීමට මේ නව ගුවන් පාලම් හා ඉදිකිරීම් මඟින් කටයුතු යොදා ඇත.

මේ සියල්ල මඟින් මෙතෙක් කල් පෑලියගොඩ අසල කැලණි පාලම අසල සියලු මාර්ගවල තිබූ වාහන තදබදය අවම වනු ඇතැයි මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර පවසන්නීය.

ඒ සමඟම බස්නාහිර හා මධ්‍යම පළාත්වල අධික වාහන තදබදය ඇති ස්ථානවල අලුත් ගුවන් පාලම් 5ක් ඉදිකිරීමටත් කටයුතු යොදා ඇත. කොහුවල, ගැටඹේ, කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත, උත්තරානන්ද මාවත හා ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ සිට කොම්පඤ්ඤවීදිය සම්බන්ධ කිරීමට රුපියල් කෝටි 2010 වියදමින් එම අලුත් ගුවන් පාලම් 5 ඉදිවේ.

වත්මන් රජය ක්‍රියාවට නංවන ලද අලුත්ම අධිවේගය රුවන්පුර අධිවේගි මාර්ගයයි. කහතඩුව සිට ඉංගිරිය - රත්නපුරය හරහා පැල්මඩුල්ලට දිවෙන මේ මාර්ගය කිලෝමීටර් 73.9 ක දිගින් යුක්තය. මෙම අධිවේගි මාර්ගය මගින් කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා වූ කිලෝමීටර 73ක් වූ දුර ප්‍රමාණය පැයක් ඇතුළත ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බව මහාමාර්ග ඉංජිනේරුවෝ පවසති.

මුළු රට පුරාම සියලු ගම්මාන ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග අතුරු මාර්ග ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා හෝ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දැන් අරඹා ඇත.

ඒ සමඟම ප්‍රධාන මාර්ග ගණනාවක් ද දැන් පුළුල් කර සංවර්ධනය වෙයි. මෙතෙක් කල් ඒ දඬු හා වැල්පාලම් මගින් ගිය ග්‍රාමීය ජනතාව වෙනුවෙන් අලුත් පාලම් 5000ක් මෙරට ප්‍රථමවරට ඉදිවෙමින් තිබෙන බවත් පළාත් සභා මාර්ග කිලෝමීටර් 18,000ක් හා ග්‍රාමීය හා අතුරුමාර්ග කිලෝ මීටර් 80,000ක් 2024 ට පෙර කාපට් අතුරා සකස්කර ජනතාවට දෙන බවත් ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසයි.

වැඩි ප්‍රචාරයක් නැති වුවත් අපේ රටේ නිවාස සංවර්ධනය දැන් විධිමත් අයුරින් සිදුවෙයි. මෙරට නිවාස සංවර්ධනය යටතේ පසුගිය වසරේ සිට ක්‍රියාත්මක ‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩපිළිවෙළ යටතේ රටේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දැන් අලුත් ගෙයක් ඉදිවෙයි. ඒ අනුව දැනට ඉදිවෙමින් ඇති නිවාස සංඛ්‍යාව 14,000 කට අධිකය.

මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දුප්පත්ම පවුලකට මෙම නිවාස ලබා දෙයි. මේ පිළිබඳව කරුණු දක්වන නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ පවසන්නේ නිවාස විෂය භාර ඇමැති අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි ‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩසටහන යටතේ 2024 දක්වා සෑම වසරකම සෑම ගමකම දුප්පත් පවුලකට රජය මඟින් නවීන නිවසක් ඉදිකර දෙන බවයි. ඒ අනුව වසරකට 14022 බැගින් වසර පහකට නව නිවාස 70,000ක් රටපුරා ඉදි කෙරේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙරට නිවාස ගැටලුවට තිරසර විසඳුම් ලබාදීම දැන් සිදු කෙරේ. ඒ අනුව ජනාධිපතිතුමාගේ හා අගමැති තුමාගේ උපදෙස් අනුව ඉදිරි වසර තුන ඇතුළත මෙරට ඇති පැල්පත් හා වරිච්චි බිත්ති ඇති නිවාස වෙනුවට නව නිවාස ලබාදීමට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සමඟම අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් අනුව සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම නිවාස ඒකක 100කින් යුත් මහල් නිවාස ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරයි. ඒ අනුව මෙරටට නව නිවාස 30,000ක් එකතු වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ මාලිගාවත්තේ තට්ටු 40ක විශාල නව නිවාස සංකීර්ණයක් ද, අලුත් තට්ටු නිවාස සංකීර්ණ 335ක් ඉදිකිරීමට සූදානම් කර ඇත.

ඊට අමතරව ගම්පහ වැරැල්ලවත්තේ නව නිවාස ඒකක 575ක්ද අනුරපුර දහයියාගල නව නිවාස 300ක්ද, ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. නාරාහේන්පිට මිහිඳුපුර හා කිරි මණ්ඩල මාවතේ පරංගියා කුඹුර ව්‍යාපෘතිවල නව නිවාස 1000ක් ඉදිකෙරේ. ඒ සමඟම කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට ඉදිරියේදි නව නිවාස 37500ක් ඉදිකිරීම දැන් අරඹා තිබේ.

මෙරටට සේලයින් ගෙන ඒම සැප්තැම්බර් මාසයේ සිට ප්‍රථම වරට නවතා දමා ඇත. ඒ මෙරට ප්‍රථම සේලයින් කර්මාන්ත ශාලාව කුණ්ඩසාලේ දී තම නිෂ්පාදන කටයුතු සැප්තැම්බර් 1 සිට ආරම්භ කිරීම නිසාය. මේ අනුව දේශීය සේලයින් සිහිනය දැන් සැබෑ කර ගෙන ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා පෞද්ගලික ආයතනයක් එක්ව මෙම කර්මාන්ත ශාලාව අරඹා ඇත.

මේ අනුව සැප්තැම්බර් 1 දින සිට සාමාන්‍ය සේලයින් ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුළු කරන මූලික නික්ෂේපණ ද්‍රාවණ සියල්ල කුණ්ඩසාලේ නව ඖෂධ කර්මාන්ත ශාලාවේ නිපදවේ. මෙතෙක් කල් සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට රජය දිනකට රුපියල් ලක්ෂ 50ක් වැය කරයි. මෙම නව නිපැයුම නිසා වාර්ෂිකව රුපියල් මිලියන 1000 ඉතිරි කෙරේ.

ඊට අමතරව මෙම කර්මාන්ත ශාලාව මගින් මෙරට හදන සේලයින් බෝතල් ලක්ෂ 250ක් වාර්ෂිකව පිටරට යැවීමට ද කටයුතු කරනු ලැබේ.

විදෙස් වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිපදවීම සඳහා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 400ක ආයෝජන කලාපයක් ද දේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක මධ්‍ය පරිමාණ ඖෂධ නිෂ්පාදන ආයෝජන කලාපයක් ද පිහිටුවීමට රජය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පවසයි. ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටම නිපදවීමේ වැඩපිළිවෙළ මගින් වසරකට පිටරටට ගිය කෝටි 6000 ක් මෙරටටම ඉතිරි කරනු ඇත.

මෙරට වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මෙරට වාරි සංවර්ධනය පසුගිය වසරේදි වේගවත් විය. උමා ඔය, යාන් ඔය ව්‍යාපෘතිවල වැඩ අවසන් කර ඇත. පහළ මල්වතු ඔය හා මිනිපේ වම්ඉවුර ජල යෝජනා ක්‍රම අරඹා ඇති බවත් ඇමැති චමල් රාජපක්ෂයන් පවසයි. මොරගහකන්දේ ජලය උතුරට ගෙන යන උතුරු මැද මහ ඇළ මොරගහකන්දේ ජලය වයඹට ගෙනයන වයඹ මහ ඇළ දැන් ආරම්භ කර ඇත. මේ අලුත් ඇළවල් යටතේ ඒ ප්‍රදේශවල මහා ජලාශ කුඩා වැව් එල්ලංගා පද්ධති සිය ගණනක් මහවැලි ජලයෙන් පෝෂණය වෙයි.

විදුලිබල ක්ෂේත්‍රයේ නව දියුණුව අනුව රටේ බලශක්ති පාවිච්චිය සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති මඟින් ඉටුකිරීමේ ඉලක්කය සපුරාලීම සඳහා වැඩකටයුතු රැසක් සිදුකර ඇත. ඒ අනුව මන්නාරමේ ‘තම්බපවනි’ සුළං විදුලි බලාගාරය මඟින් මෙගාවොට් 100ක්ද කුඩා ප්‍රමාණයේ යූරිය බලාගර 15ක් මඟින් මෙගා වොට් 15ක්ද ජාතික විදුලිබල පද්ධතියට යොමු කර ඇත.

ඉදිරියේදී සියඹලාණ්ඩුවේ සූර්ය බලාගාරයක් මඟින් මෙගවොට් 100ක් ජාතික විදුලිබල පද්ධතියට යොමුකිරීමට සූදානම්ය. ඒ සමඟම උමාඔය මඟින් මෙගා වොට් 120 ක්ද, බ්‍රෝක්ලන්ඩ් මඟින් මෙගා වොට් 35ක්ද මොරගොල්ල බලාගාරයේ මෙගා වොට් 31ක්ද නුදුරේම ජාතික විදුලිබල පද්ධතියට එක්වෙනු ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයි.



Comments