
සිළුමිණ පුවත්පත ශ්‍රී ලංකාවේ පත්තර මහගෙදර වූ ලේක්හවුස් ආයතනයට ආලෝකයක් එක් කළ විශිෂ්ට පුවත්පතකි. ‘සිළුමිණ’ ජාතික, ආගමික හා සංස්කෘතික පුනරුදයක් උදෙසා දායකත්වය දැක්වූ බව රහසක් නොවේ.
සිළුමිණ පුවත්පත උපත ලැබුවේ 1930 වර්ෂයේදීය. 19 වැනි ශතවර්ෂයට අයත් එම වකවානුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සටන් ව්‍යාපාරය ජාතික හා ආගමික හැඩයක් ගනිමින් පැවතිණි. උගත් ස්වදේශික ලාංකිකයන් විසින් දේශීය වශයෙන් විවිධ සංවිධාන පිහිටුවා ගනිමින් අවි ආයුධවලින් තොර සංස්කෘතික යටත් විජිතවාදී අරගලයක් ආරම්භ කර තිබිණි. ලෝකය පුරා යටත් විජිතවාදයට එරෙහිව සංස්කෘතික අරගලයක් ක්‍රියාත්මක වූ වකවානුවක ශ්‍රී ලාංකේය නිදහස් ව්‍යාපාරය උදෙසා උගත් පිරිසක් සිය දායකත්වය දැක්වීම සුවිශේෂී කරුණකි.
එවැනි කාල වකවානුවක 1930 වර්ෂයේ මාර්තු 30 වැනි දින පෙරවරු 10.47 යෙදුණු සුබ මොහොතින් ‘ජාතියට මැණිකක්’ යන අරුතින් සිළුමිණ පුවත්පත සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම මඟින් ආරම්භ කරන ලදී.
සිළුමිණ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වූයේ පියසේන නිශ්ශංක මහතා ය. ඔහු ලේක්හවුස් ආයතනයේ සේවයට බැඳුණේ භාෂා පරිවර්තකයෙකු වශයෙනි. එතුමා රට, ජාතිය, ආගම පිළිබඳ උසස් හැඟීම් සහිත සමාජ පරිඥානය සහිත පුද්ගලයෙකු වූ හෙයින් ‘සිළුමිණ’ පුවත්පතේ සාමාජයීය හා ශාස්ත්‍රීය කාර්යභාරය උදෙසා ද ආරම්භක කර්තෘවරයාගේ පරිචය බලපෑ බව දැකගත හැකිය.
‘සිළුමිණ’ පුවත්පතේ මුල්කාලීන සංස්කාරකවරුන් එහි ගුණාත්මකභාවය සහ නව දැනුම උත්පාදනය මෙන් ම සමාජ ආකල්ප සකස් කිරීම කෙරෙහි යුහුසුලු වූ බව නොරහසකි. කාලීන වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය පුවත් සහ සාරගර්භ විශේෂාංග පළ කළ ආකාරය දැකගත හැකි ය. දෙස් විදෙස් තොරතුරු මෙන් ම නව දැනුම හා ලෝකය පිළිබඳ යාවත්කාලීන වන දැනුම් සම්භාරයක් ‘සිළුමිණ’ තුළින් සමාජගත විය. නිදහස් ව්‍යාපාරය සංස්කෘතික වශයෙන් ඇරඹුණු වකවානුවේ සිළුමිණ සිය ජාතික හා සංස්කෘතික කාර්යභාරය නොපිරිහෙළා ඉටු කළ බව පසක් වන්නේ සිළුමිණ අන්තර්ගතය හා පාඨක සමාජයට පිරිනැමූ දැනුම ගබඩාව නිසා ය. නොබෝ කලකින් ‘සිළුමිණ සත දහයේ විශ්වවිද්‍යාලය’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීය. නිදහස් නිවහල් චින්තනය ලොව පුරා පැතිර යන සමයක ‘සිළුමිණ’ සිය වටිනා අන්තර්ගතයක් තුළින් එකී නිදහස හා අනන්‍යතාව මෙන් ම එහි වැදගත්කම පිළිබඳ සමාජ දෘෂ්ටිය පුළුල් කරනු ලැබීය.
මුල් කාලීන වශයෙන් ‘සිළුමිණ’ පුවත්පතෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් විශිෂ්ට ගණයේ ලේඛකයන්, පර්යේෂකයන්, විද්වතුන් ලාංකේය පාඨක සමාජයේ දැනුම හා සමාජ අවබෝධය පුළුල් කිරීමට ‘සිළුමිණ’ පුවත්පතෙහි සිය ලිපි පළ කිරීම දැක්විය හැකි ය. රොබට් නොක්ස්ගේ අත්දැකීම් ‘සිළුමිණ’ පුවත්පතෙහි පළ විය. පසුව එදා හෙළදිව වශයෙන් ග්රන්ථයක් ලෙස පළවූයේ ද එයමය. මේජර් තෝමස් ස්කීනර්ගේ අත්දැකීම්, වාරිමාර්ග ක්ෂේත්රයේ විශිෂ්ටයෙකු වූ ආර්.එල්. බ්රොහියර්ගේ ලිපි පෙළ, සෙනරත් පරණවිතානගේ සීගිරි කුරුටු ගී පිළිබඳ පර්යේෂණ ලිපි ආදී වටිනා ලිපි සිංහල භාෂාවෙන් පළ කිරීමට ‘සිළුමිණ’ කටයුතු කළේ ය.
මහත්මා ගාන්ධිතුමන්ගේ නිදහස් ව්‍යාපාරය පිළිබඳ උණුසුම් ලිපි මෙන් ම සුභාෂ් චන්ද්‍ර බෝස් වැනි නායකයින්ගේ විශිෂ්ට ලිපි ‘සිළුමිණ’ පුවත්පතේ පළ කිරීම තුළින් ලෝකයේ නිදහස පිළිබඳව ඇති ආකල්පය මෙන් ම සිය දේශීය අනන්‍යතාව ආරක්ෂා කරගැනීමේ වටිනාකම ලාංකේය ජනතාවට වටහා දෙන්නට සිළුමිණ මහත් පරිශ්‍රමයක් දැරූ බව පෙනේ.
ද්විභාෂික දැනුම ඇති විද්වතුන් සම්බන්ධ කරගැනීමෙන් සහ පාඨකයාගේ දැනුම අත්දැකීම් පුළුල් කිරීමට සිළුමිණ යත්න දරන ලදී.
සිළුමිණ පුවත්පතට ආභරණයක් වූ ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ ශාස්ත්‍රීය අතිරේකය එකල සමාජයේ නිදහස් චින්තනය හා වටිනාකම් පුළුල් කරන ලදී. ලංකාවේ නිර්මාණ සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී නිසදැස් කාව්‍ය පිළිබඳ කතිකාවක ගොඩනැගීමෙහිලා සිළුමිණ සිය දායකත්වය නොඅඩුව සපයනු ලැබීය. 1930 වැනි කාල වකවානුවකදී වෝල්ටර් ලිප්ටන් කවියාගේ කාව්‍ය නිර්මාණයක සිංහල අනුවාදය සිළුමිණ පුවත්පතෙහි පළ කර ඇත. නිසදැස් කාව්‍ය සම්ප්රදායේ ලාංකේය සලකුණ ලෙස හඳුන්වන පී. බී. සේනානායක 1946 දී සිය නිර්මාණ ‘සිළුමිණ’ පුවත්පතේ පළ කිරීමෙන් නව කාව්‍ය සම්ප්රදාය අත්හදා බැලීම සිදුකර තිබේ. ඒ අනුව සාහිත්‍යයේ නව උන්නතිය සඳහා ‘සිළුමිණ’ හේතු වූ බව සඳහන් කළ හැකි ය.
2012 වර්ෂයේ දී සිළුමිණ පුවත්පතෙහි පළ වූ ‘ලංකාවේ දැහැන්ගත සිත’ යනුවෙන් පළ වූ ලිපියක සඳහන් කර ඇත්තේ සිළුමිණ සත දහයේ විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වනු ලබන්නේ 40 දශකය තුළ මිනිසුන්ගේ උපභෝග පරිභෝග සඳහා ඇති කැමැත්තට වඩා දැනුම අත්දැකීම් පුළුල් කිරීමට ලබා දුන් සුවිශේෂී දායකත්වය නිසා වන බවයි. මෙකී පුළුල් ප්‍රවේශය හොඳින් අවබෝධ කරගත් මුල්කාලීන සංස්කාරකවරු ජාතික සාමාජයීය අවශ්‍යතාව හා වගකීම සිළුමිණ තුළින් ඉටු කිරීමට සමත් වූහ. සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය තුළින් ලෝකයේ යාවත්කාලීන වන දැනුම නිරන්තරයෙන් සිය පාඨකයාට ලබාදෙනු ලැබීය. වර්තමානයේ මෙන් තාක්ෂණය එතරම් නොදියුණු අවධියක පවා සිළුමිණ සිය සාමාජීය වගකීම නොපිරිහෙළා ඉටු කළ බව පෙනේ.
‘සිළුමිණ ප්‍රථම පුවත්පත අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ අධිරාජ්‍යවාදය හා නිදහස පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පවතින තත්ත්වයන් ලාංකේය සමාජයට සමීප කිරීම උදෙසා ‘සිළුමිණ’ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ බවයි. එහි පළ වූ පුවත්වලින් පවා එය මනාව පිළිබිඹු වෙයි. දෙවන ලෝක යුද්ධ සමයේ ලෝක බලවතුන් හා බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් සහ අධිරාජ්‍යවාදයට එරෙහි නව නිදහස පිළිබඳ සංකල්පයන් ආරම්භයේ සිටම අවධානයට බඳුන් කිරීමට ‘සිළුමිණ’ උත්සාහ දැරූ බව පෙනේ. සමාජීය දැනුම මෙන් ම භාෂා ශාස්ත්‍රීය දැනුමෙන් ද සිළුමිණ පොහොසත් විය. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් සවිඥානික, පාඨක පිරිසක් බිහි කිරීමෙහිලා නිදහස් චින්තනය ගරු කරන ජාතියක් බිහි කිරීමෙහිලා ‘සිළුමිණ’ සිය දායකත්වය ලබාදී ඇත. ස්වදේශිකවාදී චින්තනය පුළුල් කිරීම උදෙසා විශිෂ්ට ගණයේ විද්වතුන්ගේ ඇසුර සිළුමිණ නිතැතින් ම ලබාගත්තේ ය.
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන, බඹරැන්දේ සිරි සීවලී හිමි, හික්කඩුවේ සුමංගල හිමි, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, එෆ්.ආර්. සේනානායක, එදිරිවීර සරච්චන්ද්‍ර, ආනන්ද රාජකරුණා, ඩබ්.ඒ. සිල්වා, සාගර පළන්සූරිය වැනි හසළ දැනුමැති ලේඛකයන්, බුද්ධිමතුන් සහ යතිවරුන් සිළුමිණ වටා එක් රොක් වූ අයුරු දැකිය හැකි ය.
සිංහල භාෂාව උසස් ආකාරයෙන් භාවිත කිරීම සිළුමිණෙහි සුවිශේෂත්වයකි. පුවත්පත තුළ කාලීන ආකර්ෂණය පුවත්පත් බස් වහරක් යොදා ගැනීම මෙන් ම භාෂාව තුළින් සමාජ සාරධර්ම හා වටිනාකම් නිතැතින්ම ආරක්ෂා කරන ලදී. නිවහල් චින්තනය ගරු කරමින් පොදු ජනතාවගේ ආකල්ප සකස් කිරීමෙහිලා භාෂාව උසස් ලෙස සුරක්ෂිත කරන ලදී.
පියසේන නිශ්ශංකගෙන් පසු සිළුමිණ ප්‍රධාන කර්තෘ ධූරය පත් මාර්ටින් වික්‍රමසිංහ මෙකී සිළුමිණෙහි ශාස්ත්‍රීය හා සමාජීය උන්නතිය නව මානයකට රැගෙන ගිය ශ්‍රේෂ්ඨ කතුවරයෙකි. එකල සමාජයේ භාෂාව පිළිබඳ තිබූ කතිකාවකට මනා තෝතැන්නක් සැපයූ සිළුමිණ සංයමයෙන් යුතුව එකී මතවාද ඉදිරිපත් කරන ලදී.
1932 පෙබරවාරි 22 වැනි දින සිළුමිණ පුවත්පතේ කතු වැකිය වූයේ ‘සිංහල භාෂාවේ ව්‍යවහාරයේ විෂමතා’ යන්නයි. මේ අනුව භාෂාව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් ලබාදුන් අතර එහි ජීවගුණය ආරක්ෂා කිරීමටත්, නිවැරැදි භාෂා භාවිතයටත් සිළුමිණෙහි කැපවූ බව මනාව ප්‍රකට වේ.
පියසේන නිශ්ශංකයන් බාසුරු යන අන්වර්ථ නාමයෙන් හා මාර්ටින් වික්‍රමසිංහයන් මයුරපාද යන අන්වර්ථ නාමයෙන් පුවත්පතට ලිපි සැපයුවේ සිළුමිණ ලේඛකත්වයේ නිර්මාණශීලී ගුණය ආරක්ෂාකර ගැනීමට ය.
‘සිළුමිණ’ සත දහයේ විශ්වවිද්‍යාලය වශයෙන් නිදහස් රාජ්‍යයක තිබිය යුතු පාඨක සමාජය ගොඩනැඟීමේ අරමුණින් මෙන් ම ජාතික, ආගමික වටිනාකම් ආරක්ෂා කිරීම උදෙසා බුද්ධිමය හා ශාස්ත්‍රීය අරගලයක් සිදු කළ නිහඬ සටන්කරුවෙකු ලෙස හැඳින්වීම අසාධාරණ නොවේ.