වසර 91ක සිළුමිණ මුද්‍ර­ණ ඉතිහාසය | සිළුමිණ

වසර 91ක සිළුමිණ මුද්‍ර­ණ ඉතිහාසය

 මුද්‍රණ යන්ත්‍ර­යට මුද්‍රණ තහඩු සවි­ක­රන ආකා­රය.

 

ලෝකේම තවම පුව­ත්පත් මුද්‍ර­ණය කරන්නේ  අත්වැ­ර­දී­ම­කින් බිහි­වුණ ‘ඔෆ්සෙට්’ ක්‍රම­යෙන්

 

අපේ මුද්‍රිත සන්නිවේදනයේ ඉතිහාසය
එතෙර මෙතෙර පුදුමයට පත්කරයි

 

ලයිනෝ - මොනෝ සම­ඟින් ලඩ්ලෝ අකුරු 
ලෙට­ර්ප්‍රෙස් - ඕෆ්සෙට් - සුර­කිමු සැම මිතුරු

 

පත්තර මහගෙදර සත දහය විශ්වවිද්‍යාලය යන විරුදාවලිය ලත් සිළුමිණ පුවත්පත මේ සතියේ මාර්තු 30 වැනිදා සිය 91 වැනි වසර සපුරයි. වසර 91ක් සිළුමිණ පුවත්පත ඔබ අතට ලැබුණේ මෙරට මුද්‍රිත සන්නිවේදනය යටතේ ආරම්භ කළ දැනටත් වැඩියෙන්ම ජනප්‍රියව පවතින ප්‍රථම සිංහල ඉරිදා පුවත්පත වශයෙන්ය.

සිළුමිණ පුවත්පත වසර 91ක් ඔබට ලබා දුන්නේ සුවිශේෂී මුද්‍රණ තාක්ෂණ ක්‍රම අනුවය. 1930 සිටම අද දක්වා විවිධ නව තාක්ෂණික සංවර්ධන ක්‍රියාදාමයන්ට යොමු වෙමින් සිළුමිණ පුවත්පත විශිෂ්ට නිමාවකින් යුක්තව ඔබ අතට පත්කරන්නට හැකිවී ඇත්තේ මුද්‍රිත සන්නිවේදනය කෙරෙහි නව තාක්ෂණය හා නවීන පරිගණක පද්ධතිවල මෙහෙයවීම් මත බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

මුළු ලොවම විශ්ව ගම්මානයක් වන වත්මන් සංකීර්ණ සමාජයේ ජීවත්වීම උදෙසා ඇඳුම් පැලඳුම් වැනි මූලික සාධක මෙන්ම එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීම හෙවත් සන්නිවේදනය අද අත්‍යවශ්‍ය දෙයක් වී ඇත.

එක් පුද්ගලයකු‍ගේ සිතේ හටගන්නා අදහසක් තවත් පුද්ගලයකුට හෙළි කිරීම සන්නිවේදනය ලෙස සරලව අර්ථ දැක්වේ. සන්නිවේදනය වනාහි භාෂාව මාධ්‍ය කොටගත් නිරායාසයෙන්ම පරිණාමයට බඳුන් වන ක්‍රියාදාමයකි. සන්නිවේදනය ශ්‍රව්‍ය, දෘෂ්‍ය හා මුද්‍රිත හෙවත් ලිඛිත ලෙස ප්‍රධාන කොටස් තුනකි. සෑම අවස්ථාවකදීම නිරන්තරයෙන්ම කියවා බැලීමටත් අවශ්‍ය නම් සිතේ ධාරණය වන තාක් කල් නැවත නිරීක්ෂණය කිරීමටත් හැකි බැවින් ඉහත කී සන්නිවේදන ක්‍රම තුනෙන් මුද්‍රිත සන්නිවේදයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි.

යමක් මුද්‍රණය කරනවා යනුවෙන් අදහස් කරන්නේ අවශ්‍ය වර්ණයකින් සුදුසු මතුපිටක තමාට අවශ්‍ය ඕනෑම පින්තූරයක් අකුරක් හෝ මෝස්තරයක් ඒ ආකාරයෙන් ම ලබා ගැනීමයි. තවත් අයුරකින් කීවොත් මුද්‍රණය යනු මුල් ප්‍රතිබිම්බයක් එනම් අච්චුවක් නැවත නැවත අච්චු ගැසීමකි.

අප ලෝකයේ මුද්‍රිත සන්නිවේදනය ඇති වූයේ ලිඛිත සන්නිවේදනයේ ආභාසයෙන්ය. ඒ අනුව බොහෝ කලාවන්ට මෙන්ම ලේඛන කලාවන්ට ප්‍රබල අනුබලයක් වූයේ ආගමික කටයුතුවල බලපෑමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පුස්කොළවල බණ දහම් ත්‍රිපිටකය ලියා තබන ලද්දේත් භික්ෂූන් වහන්සේ විසිනි. මෙහිදී අනුගමනය කර ඇත්තේ පන්හිදෙන් තල්පතේ ලියා පුස්කොළ බවට ඒවා පත්කිරීමේ ක්‍රමයයි.

පසු කාලයේදි ලීවලින්, මැටිවලින් ගල්වලින් අකුරු සකස් කිරීම සිදුවිය. ඒ අනුව බුදු දහමේ වන ගාථා ලී කැටයම් ලෙස විවිධ තලවලට ගැනීමද සිදුවිය.

නමුත් මේ ක්‍රමයෙන් සකස් කළ දේවල් ඒ දේවල්වලට පමණක් සීමාවිය. යළි පිටපත් ගැනීම අපහසු විය. එසේම චීන අධිරාජ්‍යය පුරා පරිපාලන කටයුතු කිරීමට ලිපි ලේඛන වේගයෙන් සකස් කිරීමට අවශ්‍ය විය. ඒ අනුව ඔවුන්ට කඩදාසි හා මුද්‍රිත ක්‍රමයක් අවශ්‍ය විය.

ඒ අනුව චීන ජාතික ත්සෙයිලුං නැමැත්තෙක් කඩදාසිවලට සමාන ද්‍රව්‍යයක් ක්‍රිස්තු වර්ෂ 105දි නිපදවා තිබේ. පසුව ක්‍රි.ව. 175දි ප්‍රංශ ජාතික නිකලස් ලුයි රොබර්වි විසින් මුල්ම කඩදාසි නිපදවීමේ යන්ත්‍රය ද සම්පාදනය කර ඇත.

ආරම්භ සමයේ මුද්‍රණ ශිල්පය හඳුන්වන ලද්දේ සකල කලාවන්ගේ ආරක්ෂක කලාව (Art Presevative of All Arts) ලෙසිනි. සියලු කලාවන් ආශ්‍රිත කරුණු සම්භාරය මුද්‍රණ ශිල්පය මඟින් ප්‍රකාශ කළ හැකි නිසා මුද්‍රණ ශිල්පය පිළිබඳව එලෙස හඳුන්වා දී ඇත.

මැග්නම් මුද්‍රණ යන්ත්‍රය
 ඡායාරූප - කැළුම් ලියනගේ

ජර්මන් ජාතිකයකු වූ ජොහැන්නස් ගුටෙන්බර්ග් විවිධ රටවල කෙරෙන අකුරු අමුණා කරන මුද්‍රණ කටයුතු පිළිබඳව අවධානය යොමු කර තිබේ. ඔහු කළ පර්යේෂණ අනුව ඔහු විසින් ඊයම් හා තඹ මිශ්‍රිත ලෝහ වර්ගයක් මඟින් සෑදු අකුරු එකම තඹ තහඩුවක් මත සවිකර ඒ අකුරු මත තීන්ත තවරා අවශ්‍ය පිටපත් ගණන ලබා ගත හැකි බව පෙන්වා දුන්නේය. ඒ ආශ්‍ර‍යෙන් ගුටෙන්බර්ග් 1450 හි ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිපදවා මහා විප්ලවයක් ඇති කළේය. 1455 දි ගුටෙන්බර්ග් පේළි 42කින් යුත් ලතින් බයිබලය මුද්‍රණය කළේය.

ඒ අනුව ජොහැන්නස් ගු‍ටෙන්බර්ග් 1900 - 2000 ශතකයේ ලොව සුවිශේෂි හා වැදගත්ම පුද්ගලයා (Man Millenniyam) බවට පත්විය. ඊට පසුව ඉතාලියේ වැනීසියේ එල්ඩස් මනුතියෙස් නමැත්තා ඇලඩින් නමින් මුද්‍රණාලයක් ආරම්භ කර ඇත. මේ සිද්ධාන්තය අනුව යමින් ලෝ‍හයෙන් සෑදු මුල්ම මුද්‍රණ යන්ත්‍රය නිපදවනු ලැබීය. ඒ සමඟම 1955දි ඉන්දියාවේත්, 1644දි චීනයේත්, 1739දි අමෙරිකාවේත්, ජර්මනියේත් නගරවල මුද්‍රණ යන්ත්‍ර හා මුද්‍රණ ආයතන විවෘත විය.

මෙකල ශ්‍රී ලංකාව පාලනය කළේ ලන්දේසින්ය. ඔවුහු අපේ රටට මුද්‍රණ ශිල්පය ගෙන ඒමට කටයුතු ක‍ළහ. ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්‍රණ ග්‍රන්ථය 1737 දි පළවිය. එය පළකළේ ලන‍්දේසින්ගේ යුද්ධායුද ගබඩාවේ පිහිටුවන ලද මෙරට ප්‍රථම මුද්‍රණාලයේදීය. ක්‍රිස්තියානි යාඥා පොතක් වන මෙය සිංහලෙන් පළවිය. මෙහි සිංහල අකුරු සකස් කර ඇත්තේ ලන්දේසි වෙඩි බේත් ගබඩාව බාරව සිටි ෂාඩ් බාස් නම් පුද්ගලයා විසිනි.

මේ අයුරින් ඊයම් වලින් සෑදු අකුරු උපයෝගි කරගෙන අපේ මුද්‍රණ කර්මාන්තය ඒ අනුව අපේ රටේ දියුණු විය.

ඒ අනුව මෑතක් වනතුරු අපේ රටේ ජනප්‍රිය ලෙස පැවති උස්තල මුද්‍රණ ක්‍රමය හෙවත් ලෙටර් ප්‍රෙස් මුද්‍රණය ක්‍රමය ක්‍රියාවට නැංවිනි. 1930 සිට 1980 පමණ වන තෙක් සිළුමිණ පුවත්පත ද මුද්‍රණය කළේ ලෙටර් ප්‍රෙස් ක්‍රමයටය.

මුලදි ඊයම්වලින් සෑදු එක් එක් අකුරු ඇමිණීමේ ක්‍රමය නිසා පුවත්පත් පිටු සකස් කිරීමට වැඩි වේලාවක් ගත විය. මේ අනුව 1882 දි පමණ ඉක්මනින් අකුරු ඇමිණී‍මේ ක්‍රමයක් පිළිබඳව සොයා බැලීමට ඇමෙරිකාවේ සිටි ඔට්මාර් වර්ගන්තැලර් නැමැති ජර්මන් ජාතික මුද්‍රණ ශිල්පියා කටයුතු කළේය. ඒ අනුව අකුරු පේළියක් සේ සකස් කර එය නොවැටෙන සේ ඊයම් වලින් සැකසූ එකම තීරුවක් ලෙස සකස් කළ හැකි බවයි.

වසර 25ක් තිස්සේ ලේක්හවුස් ආයතනයේ ක්‍රියාත්මක වන ‘ගොස් අර්බ­න්ල­යි­නර්’ මුද්‍රණ යන්ත්‍රය.

1980 වකවානුවේ පවා ලේක්හවුස් ආයතනයේ ක්‍රියාත්මක ‘ලයිනෝ ටයිප්’ බිහිවූයේ ඉහත ක්‍රමයේ ප්‍රවර්ධනාත්මක පියවරක් ලෙසය. ඒ අනුව සිදුවූයේ ඊයම් වලින් සෑදු යන්ත්‍රයක් මඟින් ඉක්මනින් අකුරු ඇමිණීමයි.

1885දි ටෝල්බට්ලන්ස්වන් නම් අයකු විසින් මොනෝ ටයිප් නමැති යන්ත්‍රයකින් අකුරු ඇමිණීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදි. අකුරු ප්‍රමාණය පොයින්ට් 8 සිට 18 දක්වා අකුරු ඇමිණීමේ ප්‍රමාණවලින් අකුරු ඇමිණීම මෙම යන්ත්‍රයෙන් පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව ලැබිණි. පසුව මාතෘකා පාඨ යෙදීමට පොයින්ට් 20 සිට 100 දක්වා අකුරු ඇතුළත් විය. ඒ සඳහා ද ලඩ්ලෝ යන්ත්‍රය සොයා ගන්නා ලදි.

ලෙටර් ප්‍රෙස් ක්‍රමයේ මුද්‍රණයකට පිටුවක් සෑදීමේ මුලින්ම කරන්නේ ලේඛකයා විසින් ලියනලද ලිපිය ලයිනෝ ටයිප් යන්ත්‍රය මඟින් ඊයම් අකුරු තීරු බවට පත්කර එහි අශෝධිත පිටපතක් (ෆෲෆ්) කර්තෘමණ්ඩලයට ලබාදීමයි. පසුව එහි නිවැරැදි කිරීම් සකස් කරනු ලැබේ. අනතුරුව මොනෝ ටයිප් හා ලඩ්ලෝ යන්ත්‍රවලින් අවශ්‍ය ශිර්ෂපාඨ යෙදවා සම්පූර්ණ පිටුවක් සකස් කරනු ලැබේ. ඒ අනුව මේ පිටුව සාදා ඇත්තේ ඊයම් අකුරු වලිනි. නිවැරැදි කිරීම්වලට අනුව ඊයම් තීරුවලින් පිටුව නිර්මාණය කෙරේ. ඒ සඳහා යකඩ රාමුවක් ඇතුළත ඊයම් අකුරු තීරු පිටුවේ ප්‍රමාණය සකස් කරනු ලැබේ. පිටුවට අදාළ ඡායාරූපය ඇතුළත් කිරීමට ඡායාරූප බ්ලොක් සාදා ඒ අදාළ ස්ථානයට යොමු කළ යුතුය. එම බ්ලොක් සෑදීමට වෙනම තාක්ෂණික ක්‍රමයක් භාවිත කරනු ලැබේ. ඒවාද සාදනු ලබන්නේ ඊයම් වලිනි.

මෙලෙස සාදාගත් ඊයම් පිටුවල අකුරු පසුව උණුකර යළි යළි ඊයම් සකස් කිරීමට නැවත යොදා ගැනීමට හැකි නිසා වියදම අඩුවේ. මේ අයුරින් ලෙටර් ප්‍රෙස් ක්‍රමයට පුවත්පත් මුද්‍රණය කළ හැක. අධිවේගි රොටරි යන්ත්‍රයක් 1814 වසරේදි ලන්ඩනයේදි එළිදක්වා ඇත. ඉන් මුලින්ම මුද්‍රණය කර ඇත්තේ ‘ලන්ඩන් ටයිම්ස්’ පුවත්පතයි.

‍මේ පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා මුලින්ම ඊයම් සහිත පිටුව ෆවුන්ඩරි නම් අංශය හරහා යා යුතුය. එවිට ඒ පිටුව තවත් යන්ත්‍ර ආධාරයෙන් අර්ධ ගෝලාකර ස්තරයක් ඇති ඊයම් තහඩුවක් බවට පත්වෙයි.

උස්තල නැත්නම් ලෙටර් ප්‍රෙස් ක්‍රමයට සැකසූ තහඩුවල මුද්‍රණය කළ යුතු කොටස් උඩට නෙරා ඇත. අකුරු ඇත්තේ නොපිටටය. ඉන්පසු තහඩුව අර්ධ ගෝලාකාර හැඩයක ආකාරයක කැරකෙන සිලින්ඩර්වලින් යුත් රොටරි යන්ත්‍රයට සවි කිරීම කරනු ලැබේ.

 

රොටරි යන්ත්‍රයේ කැරකෙන සිලින්ඩරය මත තිබෙන ඊයම් තහඩුව මෙහිදී යටින් ඇති තීන්ත හා ගැටේ. එවිට තහඩුවේ මතුපිටින් ඉහළට නෙරා ඇති මුද්‍රණය විය යුතු කොටසේ තීන්ත තැවරී එය සිලින්ඩර අතරින් දිවෙන දිග කොළයකට තද වේ. එවිට ඊයම් තහඩුවේ ඇති දේ කොළයට මුද්‍රණය වීම සිදුවේ.

උස්තල මුද්‍රණ ක්‍රමයේදි වර්ණ ඡායාරූප මුද්‍රණය අපැහැදිලි විය. එමෙන්ම සමහර අවස්ථාවලදි පුංචි අකුරු බොඳවීමක් ද දක්නට ලැබේ. ඒ අඩුපාඩු සපුරා ගැනීම පිණිස නව ලිතෝ මුද්‍රණ ක්‍රමය 1802 දී පමණ සොයා‍ ගෙන ඇත. එය සොයාගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ජනපදයේ සිටි අයිරාරූබල් නම් ගල් මුද්‍රණ ශිල්පියෙක්ට තම යන්ත්‍රයට කඩදාසි දැමීමට අතපසුවීමකිනි. මේ මුද්‍රණ ක්‍රමය නවීකරණයවී බිහිවී තිබේ.

මේ මුද්‍රණ ක්‍රමය බොහෝ දෙනා හඳුන්වන්නේ ලිතෝ මුද්‍රණ ක්‍රමය හෙවත් සමතල මුද්‍රණ ක්‍රමය ලෙසය. තෙල් හා ජලය මිශ්‍ර නොවේ යන සිද්ධාන්තය මේ මුද්‍රණ ක්‍රමයට පදනම වී තිබේ. මෙය ලොව වැඩි දෙනා හඳුන්වන්නේ ‘ඕෆ් සෙට්’ යන නමිනි.

ලේක්හවුස් ආයතනය ඇතුළු මෙරට සියලු පුවත්පත් ආයතනවල අති නවීන සමතල මුද්‍රණ යන්ත්‍රවල පුවත්පත් මුද්‍රණය කරන්නේ ‘අයිරා රූබල්’ තැනූ සමතල මුද්‍රණ යන්ත්‍ර සිද්ධාන්තය පදනම් කරගෙනය.

මේ ක්‍රමයට පුවත්පත් පිටුවක් නිර්මාණය කරන්නේ ඊයම් මඟින් නොවේ. තනිකරම පරිගණක ගත නව තාක්ෂණික ක්‍රමයටය. ඒ අනුව ලේඛකයා ලියන ලිපි පරිගණක මඟින් විදයුත් යතුරු ලියනය කර අදාළ ගොනු අංක යොදා තවත් අලුත්ම මෘදුකාංග ඇති පරිගණක පද්ධතියකට යොමු කරනු ලැබේ.

ඕෆ්සෙට් මුද්‍රණ ක්‍රමයේ සුවිශේෂ ප්‍රයෝජනය වනුයේ වර්ණ ඡායාරූප පමණක් නොව රූ සටහන් චිත්‍ර හා වෙනත් වර්ණ ඡායාරූප හා උත්සව අවස්ථා පවා අලංකාරව මුල් නිර්මාණයට සියයට 96 - 98 පමණ සමානව මුද්‍රණය කරවා ගැනීමට අවස්ථාව ලැබේ. සමතල මුද්‍රණ ක්‍රමයේදි අකුරු ඇමිණීම සිදුකරන්නේ විදයුත් දර්ශක පරිගණකය (Vidio display terminal) මඟින්ය. ඊයම් බරු ප්‍රසාරණය කරමින් ලයිනෝ යන්ත්‍ර ක්‍රියා කරවන්නන් දුක් විඳි කාලය නව තාක්ෂණයේ බලපෑම හේතු කොටගෙන මෙසේ අවසන් වී තිබේ. දැන් ඔවුන්ට වායු සමීකරණය කළ කාමරක සිට මෙම පරිගණකය මඟින් අකුරු ඇමිණීම සිදු කළ හැකිය. යතුරු ලියනයට සමාන අකුරු මුහුණත් රාශියකින් හෙබි මෙම පරිගණක කට්ටලය රූපවාහිනියකට සමාන වූ වද්දන අකුරු දර්ශනය වන දර්ශකයකින්ද සමන්විත වේ.

පුවත්පතට අවශ්‍ය ලිපි ආදිය විදයුත් දර්ශක පරිගණක ක්‍රියාකරුට බාර දීමෙන් පසු ඒ සියල්ල පරිගණක යතුරු පුවරු මඟින් පරිගණකය තුළට ඇතුළු කරනු ලැබේ. අක්ෂර දෝෂ ඇතොත් මුද්‍රිත පිටපතක් ගෙන ඒවා නිවැරදි කරගත හැකිය.

මෙම VDT පරිගණකවල සුවිශේෂත්වයක් වනුයේ ඡේද වෙන් කිරීම, පද බෙදීම ආදියද ඒවාට කළ හැකි වීමය. පිටුවට අදාළ උප කර්තෘ ටයිප් කිරීමට එවන සෑම ලිපියකටම ගොනු අංකයක් යොදන අතර ලිපිය විදයුත් යතුරු ලියනය කිරීමෙන් පසු තවත් මෘදුකාංගයක් සහිත (ලේක්හවුස්හි නම් lib 6) පරිගණක පද්ධතියකට යොමු කරනු ලැබේ. ඊට පසු යළිත් උපකර්තෘවරයා එම ලිපිය අදාළ පිටුවට යොමු කරනු ඇත. අදාළ පිටුවට අදාළ ඡායාරූප ද ඉන්පසු නව මෘදුකාංගය යටතේ ඇති වෙනම පරිගණක ගොනු මඟින් හෝ අන්තර්ජාලය මඟින් ලබාගෙන අදාළ පිටුවට යොමු කරනු ලැබේ. ලේක්හවුස් ආයතනය දැන් පාවිච්චි කරන Lib 6 මෘදුකාංග පද්ධතිය ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදින්ට ඇති පරිගණක පද්ධතිය පිටු සැකසුම් අංගයේ පරිගණක පද්ධතියට පමණක් නොව දැන්වීම් අංශයේ පරිගණක පද්ධතියද එකට සම්බන්ධ වී තිබේ. ඒ අනුව අදාළ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට මේ සියලු lib 6 පරිගණක මෘදුකාංගය යටතේ තම පුවත්පතේ සියලු කටයුතු කර්තෘවරයාගේ ප්‍රධාන පරිගණකය මඟින් නිරීක්ෂණය කළ හැකිය.

Lib 6 පරිගණක මෘදුකාංගය මඟින් සාදන සියලු පිටු ඉන්පසු නිෂ්පාදන අංශයේ නිෂ්පාදන කළමනාකරුගේ ප්‍රධාන පරිගණකයට යොමු කර ඔහුගේ අධීක්ෂණය හා පිරික්සීම යටතේ කෙලින්ම මුද්‍රණ තහඩුව වෙත යොමු කරනු ලැබේ. පරිගණකයෙන් කෙළින්ම මුද්‍රණ තහඩුවට යොමු කරන මේ නව තාක්ෂණය CTP ලෙස හඳුන්වනු ලැබේ.

මෙහිදී වර්ණ පිටු සඳහා මුද්‍රණ තහඩු 4ක්ද කළු සුදු පිටු සඳහා මුද්‍රණ තහඩු 1ක්ද නිපදවනු ලබන අතර ඒ ප්‍රමාණය පුවත්පතේ පිටු ගණන අනුව වෙනස්වේ. මේ ප්ලේට් රොටරි යන්ත්‍රයට සවිකර පුවත්පත් මුද්‍රණය කරනු ලැබේ.

සිළුමිණ පුවත්පත මුලින්ම උස්තල ක්‍රමයට මුද්‍රණය කර ඇත්තේ ‘ගොස් සර්බර්ටයින්‘ මුද්‍රණ යන්ත්‍රයෙනි. ඉන්පසු ‘හෝ කැබ්රි‘ මුද්‍රණ යන්ත්‍රයෙන් 1980 වනතෙක් සිළුමිණ මුද්‍රණය කර ඇත.

වසර 91ක් පැරැණි සිළුමිණ පුවත්පත ලේක්හවුස් ආයතනයේදී මුලින්ම සමතල මුද්‍රණ ක්‍රමයෙන් මුද්‍රණය කර ඇත්තේ ‘හැරිස්’ ‍ෙරාටරි මුද්‍රණ යන්ත්‍රයෙන්ය. ඊට පසු ‘ගොස් කොමියුනිටි’ මුද්‍රණ යන්ත්‍රයෙන් සිළුමිණ මුද්‍රණයවී ඇත. ලේක්හවුස් ආයතනයට 2000 - 2010 දශ‍කයේදී අලුතින් මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ගෙන්වනු ලැබීය. ඒ අතරින් ‘ගොස් අර්බන්ලයිනර්’ මුද්‍රණ යන්ත්‍රය සුවිශේෂී එකකි. දැනටත් සිළුමිණ පුවත්පතේ බොහෝ කොටස් මුද්‍රණය වන්නේ එම යන්ත්‍රය මගිනි. මෑතකදී ලේක්හවුස් ආයතනයට ගෙන්වූ ‘මැග්නම්’ මුද්‍රණ යන්ත්‍රයෙන් හොඳම නිමාවකින් හා නියමිත වර්ණවලින් යුක්තව පුවත්පත් මුද්‍රණය කළ හැක. සිළුමිණ පුවත්පතේ මුල් කොටස (පිටු 1 - 16) මුද්‍රණය කරනු ලබන්නේ එම යන්ත්‍රය මඟිනි. මේ අයුරින් සිළුමිණ පුවත්පත එන්න එන්නම නව මුද්‍රණ තාක්ෂණය ආධාර කරගෙන හොඳම නිමාවකින් යුක්තව ඔබ අතට පත්කිරීමට අප කටයුතු කරන්නෙමු.

මේ අනුව මුද්‍රණ කර්මාන්තය නව තාක්ෂණය නිසා ප්‍රචලිතව දියුණු විය. ඒ සමඟම මුද්‍රිත සන්නිවේදනය දියුණු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ අනුව එදා තල්පතේ ලියූ දේ අද නවීනතම පරිගණක වලින් සකස් කර ලොව පුරා ප්‍රචලිත කිරීමට අවස්ථාව ලැබී තිබේ.

සිළුමිණ පුවත්පත වසර 91ක් ඔබ අතට පත්වූයේ ද ඉහත සඳහන් කළ මුද්‍රණ කර්මාන්තයේ විවිධ පරිණාමයන්ට බඳුන් වෙමින්ය. ඒ අනුව 1930 පළවූ අපැහැදිලි ඡායාරූපවලින් යුක්ත හා බොඳවූ අකුරුවලින් යුත් සිළුමිණ පුවත්පත වෙනුවට දැන් ඔබ අතට නවීන තාක්ෂණය අනුව නිම කළ පැහැදිලි හා නව නිමාවකින් යුත් සිළුමිණ පුවත්පතක් ලබාදීමට හැකිවි ඇත්තේ ලේක්හවුස් ආයතනයේ මනා කළමනාකාරිත්වයේ හා ලේක්හවුස් ආයතනයේ සියලු සේවක සේවිකාවන්ගේ පූර්ණ සහයෝගය නිසා බව කිව යුතුමය.

 

 

 

 

 

 

 

 

Comments