
ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය කලාවේ නව පිටුවක් පෙරළා ආගමික ශාස්ත්‍රීය ලිපිවලින් සාරගර්භ පුවත්පතක් ලෙස ජනතාව අතර පැමිණියේ සිළුමිණ පුවත්පතයි. 1930 වසරේ මාර්තු මස 30 වැනිදා ඉරිදා ආරම්භ කළ මේ පුවත්පත එදා මෙදා තුර දශක නමයක කාලය තුළ මෙරට ආගමික ශාස්ත්‍රීය සමාජ වශයෙන් කළ සේවාව සුළු පටු නොවේ. සිංහල බෞද්ධයා ලංකා ලෝකය වැනි පුවත්පත් කලින් කලට බිහිවුණද ස්ථිර පදනමක් මත ජනතාවගේ ආදරය හා ගෞරවය දිනාගෙන ආගම දමහට ලැදි පුවත්පතක් ලෙස සිළුමිණට දශක නමයක කාලයක් එන්නට හැකි වූයේ පුවත්පතේ සාරගර්භ ලිපි මෙන්ම එම ලිපි හැම විටම ජනතාවට ජීවන මාර්ගයක් ලෙසින් සපයා දුන් නිසාය.
ආරම්භක සිළුමිණ පුවත්පතේ සිරස්තලය පවා පළ වූයේ බෞද්ධ රටවල් දෙකක් අතර යුද්ධයක් යන සිරස්තලයෙන් වන අතර එයින් කියවුණේ බෞද්ධයන් වශයෙන් එක්ව සමඟියෙන් කටයුතු කළ යුතු බවකි. එදා ආරම්භ වුණු මේ ආගමික පුනරුදය පුවත්පතේ අද දක්වාම පවත්වා ගැනීම මාධ්‍ය කලාවේ ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ.
ලේක්හවුස් ආයතනයේ ආරම්භක සතිපතා පුවත්පත ලෙසින් එළිය දුටු සිළුමිණ පුවත්පතට නම තැබීමට කටයුතු කළ ධම්මාරාම හිමියන් ද බෞද්ධ දර්ශනය අනුව එම නම් තැබීම සිදු කර තිබේ. ‘චූඩා මාණික්‍යය‘ යන අර්ථයෙන් එය යුක්තය. චෛත්‍යයක චූඩා මාණික්‍යයෙන් නිවන පසක් කරන අතර එම බෞද්ධාගමේ මාර්ගයේම ගමන් කරමින් සිළුමිණ පාඨකයාට උපරිම වශයෙන් ධර්ම මාර්ගය ලබා දෙන ලදී.
ආරම්භක යුගයේ සිට දශක මීට දශක කිහිපයක් යනතුරුම සිළුමිණේ ප්‍රධාන ලිපි සම්පාදකයන් වූයේද භික්ෂූන් වහන්සේය. ඒ අතර ලබුගම ලංකානන්ද මහ නාහිමියෝ ලිපි පෙළක් පළ කළහ. එමෙන්ම අකුරැටියේ අමරවංශ හිමියෝද ලිපි පෙළක් පුවත්පතේ පළ කළහ. එසේම කෝදාගොඩ ඥානාලෝක නා හිමියන්ගේ මෙන්ම රද්දැල්ලේ පඤ්ඤාලෝක නා හිමියන්ගේද ලිපි රැසක් සිළුමිණ පුවත්පතේ පළවීමෙන් බෞද්ධ පුනරුදයක් ඇති කරන්නට සමත් විය.
එසේම බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන්ගේද ලිපි රැසක්ම සිළුමිණ පුවත්පතේ පළ වූ අතර එම ලිපි කොටස් වශයෙන් පවා එකතු කර සාරගර්භ ලිපි සංග්‍රහයක් ලෙසින් තබා ගන්නට පවා ඇතැමෙක් කටයුතු කළහ.
එම නා හිමිවරුන්ගේ සාරගර්භ ලිපි අනුව යමින් සෙසු ලේඛකයෝද ගුණාත්මක බවින් මෙන්ම ආගමට දහමට අනුව ලිපි සම්පාදනය කිරීම නිසා පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරනු ලබන ජනතාවක් උදෙසා ලිපි සම්පාදනය කළහ. විද්‍යාව, පරිසරය, කෘෂිකර්මය මේ ඕනෑම ක්ෂේත්‍රයක ලිපි වේවා ඒ සියල්ල දහමට අනුගතව සම්පාදනය වුණු පුවත්පතක් ලෙස සිළුමිණ පුවත්පත හඳුන්වා දිය හැකිය.
ශත දහයේ විශ්වවිද්‍යාලය පමණක් නොව බුදු දහමේ උන්නතියට දායකත්වයක් ලබා දුන් දහම් හඬක් ලෙස සිළුමිණ හඳුන්වා දිය හැක්කේ එහෙයිනි.
එසේම ආරම්භයේ සිටම ගුණාත්මක බවින් මෙන්ම පිළිවෙළකට පුවත්පත සම්පාදනය කළ බවද මෙහිදී පැවසිය යුතුය. පුවත්පතේ කිසිදු විටක අන්තවාදී අදහස් හෝ ආගමික අන්තවාදී අදහස් හෝ පළ කෙළේ නැත. එමෙන්ම බුදු දහමට පටහැනි කිසිදු කරුණක් මුල් කරගෙන කටයුතු කෙළේද නැත.
විශේෂයෙන්ම එකල ලිපි සම්පාදනය කළ ලේඛකයන්ගේ අදහස් අනුව පුවත්පත එලෙසින් සාර ධර්ම සංග්‍රයක් ලෙසින් පවත්වා ගන්නට හැකියාව තිබුණු බව පැහැදිලිය.
ආගම් විරෝධී හෝ ජාති විරෝධී හෝ කරුණු ඉස්මතු කරන්ටන කිසිදු විටක පුවත්පත කටයුතු කෙළේ නැත. හැමවිටම වගකීමක් ඇති පුවත්පතක් ලෙසින් කටයුතු කරන ලදී.
එසේම ජාතික පුවත්පතක ප්‍රථමයෙන් බෞද්ධ පිටුවක් ආරම්භ කරමින් බුදු දහමට වෙනමම විශේෂත්වයක් ලබා දුන්නේද සිළුමිණ පුවත්පත මඟිනි. ඊට අමතරව බෞද්ධ අතිරේක ප්‍රථමයෙන් නිකුත් කිරීම ආරම්භ කිරීමට සිළුමිණ පුවත්පතෙන් ඇරැඹීමෙන්ම පුවත්පත බුදු දහමේ උන්නතියට ලබා දුන් සේවාව පැහැදිලිය.
ඇසළ පෙරහර, නවම් පෙරහර, කැලණි පෙරහර, අනුරාධපුර අලුත් සහල් මංගල්‍යය වැනි විශේෂිත ආගමික කටයුතු උදෙසා මෙන්ම ඉන්දියාවෙන් සර්වඥ ධාතු මෙරට වන්දනාව පිණිස ගෙන්වන ලද අවස්ථාවලදී පවා එවැනි විශේෂ අතිරේක පළ කිරීමෙන් බුදු දහමට පුවත්පත ලබා දුන් අනුග්‍රහය අතිමහත්ය.
අද මෙන් පහසුවෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීම අතීතයේ කළ නොහැකි වූ අතර එවැනි කාල වකවානුවකදී පොහොය දින විස්තර මෙන්ම සිද්ධස්ථාන විස්තර පළ කරමින් එවකට සිළුමිණ සිදු කෙළේ අනුපමේය මෙහෙයකි.
එසේම පුන් පොහෝ දිනවල දැන්වීම් පළ කිරීමේදී පවා විශේෂ සැලකිල්ලක් දක්වන ලද අතර පොහෝ දිනට නොගැලපෙන කිසිදු දැන්වීමක් පවා පළ නොකරන ලදී.
එසේම මෙරට ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණු අවස්ථාවකදී හෝ ගුණ සැමරුමකදී සැම විටම පෙරමුණ ගත් පුවත්පතක් ලෙසද සිළුමිණ හැඳින්විය හැකිය.
ස්වාමීන් වහන්සේ නමක් සිටින පුවතක් හෝ විශේෂාංගයක් පළ කිරීමේදී එය අනිවාර්යෙන්ම පිටුවේ ඉහළින් පළ කිරීමේ සම්ප්‍රදායය අනිවාර්යෙන්ම අනුගමනය කළ පුවත්පතක් ලෙසද සිළුමිණ හඳුන්වා දිය හැකි අතර එය සිළුමිණ පුවත්පතේ අද දක්වාම රැකගෙන එන සම්ප්‍රදායයකි. සැම විටම පංචශීල ප්‍රතිපදාව රැකෙන අයුරින් ලිපි පළ කිරීම සිළුමිණ පුවත්පතේ සම්ප්‍රදාය වූ අතර භාෂාව හැසිරවීමේදී එය උසස් සාහිත්‍ය රසය රැකෙන පරිදි මෙන්ම බෞද්ධාගමික සම්ප්‍රදායයන් රැකෙන ලෙසින් හැසිරවීමද අගය කළ යුතුමය.
අතීතයේ සිට විහාරස්ථානයක පුවත්පතක් ගත්තා නම් ඒ සිළුමිණ පුවත්පතය. සිරස්තල යෙදීමේදී පවා බුදු දහමට අනුගත වන ලෙසින් සිරස්තල යෙදීමද සිළුමිණ සිදු කළ තවත් මෙහෙයක් ලෙසින් පෙන්වා දිය හැකිය.
අවශ්‍ය අවස්ථාවලදී බුදු දහම රැකගත යුතු බවට දැක්වෙන ප්‍රධාන සිරස්තල යෙදීමටද සිළුමිණ කටයුතු කරන ලදී. 1965 වසරේ ජනවාරි සහ මාර්තු මාසයේ සිළුමිණ පුවත්පත් දෙකක ප්‍රධාන සිරස්තල ලෙස දැක්වුණේ ‘ මේ මැතිවරණෙදි බෞද්ධයන් චංදය දිය යුතු හැටි‘ යන්න හා ‘ත්‍රිවිධ රත්නයට ඔබේ ඡන්දය පුජා කරන්න‘ යනුවෙන් සිරස්තල යොදා තිබුණි. මැතිවරණයක් අභියස සිරස්තල වුවද දේශපාලන මතය කුමක් වුවත් බුදු දහම රැක ගැනීමට අනිවාර්යය බව සිළුමිණ මඟින් පසක් කර තිබේ.
සිරස්තල පමණක් නොව කතුවැකි මඟින් පවා අනාවරණය කෙළේ ජනතාව සැම විටම කටයුතු කළ යුත්තේ දහමට එකඟ වන ලෙසින් බවයි.
1931 වසරේ පුවත්පත් කතුවැකියක ශ්‍රී ලාංකිකයාගේ හැසිරෙන ආකාරය දක්වා එයින් ඔහු වෙනස් විය යුතු බව දක්වා තිබුණේ මෙසේය.
‘ ඉන්දියාවෙන් එංගලන්තයට යන තරුණයා උගතකු වී එම රටට පැමිණ රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදයි. නමුත් ලාංකිකයා තම නම, ජාතිය, හැර අන් සියල්ලෙන්ම ඉංග‍්‍රීසිකාරයකු වී සිය රටට පෙරලා අවුත් නිලතල දරන්නේය. ඔහුට සිංහල ජාතිය සම්බන්ධ වූ සියල්ල පමණක් නොව සමහර විට මාතෘ පීතෘන් පවා පිළිකුල් වේ. ප්‍රසිද්ධ සභාවකදී යුරෝපාකාරයකුට මෙන් භාෂා පරිවර්තකයෙකුත් අවශ්‍ය වන්නේ ය. සිය නිවසේදී පවා ඔහු සිය බසින් කතා කරතොත් ඒ මෙහෙකරුවන් සමඟ පමණකි. මේ ගතිගුණ එංගලන්තයට යන තරුණයන් පමණක් නොව මෙරට ඉංග්‍රිසි විද්‍යාලවල ඉගැනීම ලබන තරුණයන් අතරද බොහෝ සෙයින් දක්නට ලැබෙත්. ...සමහර මවුපියෝ දරුවන් සිංහල සිරිත්විරිත්වලට පයින් ගසා ඉංග්‍රිසි සිරිත්ම අනුගමනය කරනු දැක්ම අගයක් නම්බුවක් හැටියට සලකත්. ‘
ආගමට දහමට අනුව ශ්‍රී ලාංකිකයන් කටයුතු කළ යුතු අන්දම පුවත්පත්වලින් මෙසේ පළ කෙළේ වරක් දෙවරක් නොවේ. අප පෙර සඳහන් කළ පරිදි මෙරට පුවත්පත් ආරම්භක වකවානුවේදී විශේෂයෙන්ම 1930 වකවානුවේ ඇතැම් පුවත්පත් ආගමික වශයෙන්ස බෙදී ආත්මාර්ථකාමී අයුරින් කටයුතු කළ බව ආචාර්ය ධනපාල බාලගේ විසින් රචනා කළ සිංහල පුවත්පත් හා ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ දේශපාලන චින්තනය කෘතියෙන් දක්වා ඇත්තේ ‘බොහෝ පුවත්පත් ආගමික වශයෙන්ද බෙදී ආත්මාර්ථකාමී අයුරින් ක්‍රියා කළ බවයි. ‘.........වැනි පුවත්පත් සිංහල බෞද්ධයින්ට එරෙහිව විවිධ ව්‍යාපාර ගෙන ගොස් ඇත. අන්‍යාගමිකයන්ගේ ක්‍රියා නිශ්ඵල ක්‍රියා හැටියට පෙන්වමින් , ඒ ඒ ආගම් තුළ පවතින නිකායන් අතරද ආගම් සම්බන්ධ කොට ගත් කණ්ඩායම් අතරද පමණක් නොව ජාතීන් අතරද අසමගිය ඇති කරනු පිණිස ක්‍රියා කිරීම ඊට නිදසුනකි. ආගම්වලට ආවේණික සාම්ප්‍රදායික සිරිත් විරිත් හා පූජා විධීින් හෙළා දැකීම ........... සිරිතක් විය.‘
එහෙත් සිළුමිණ පුවත්පත ඒ කිසිදු ලෙසකින් ආගම් පිළිබඳ අන්තවාදී අදහස් හෝ අනෙක් ආගම් හෙළා දැක්වීමක් සිදු කර නොමැති නිසා පුවත්පතේ සමබරතාවය මෙන්ම ගුණාත්මකභාවයද රැක ගන්නට සමත්ව ඇත. වසර 91ක දීර්ඝ කාලයක් නොපිරිහුණු ජාතික පුවත්පතක් ලෙසින් පවත්වා ගෙන යාමට සිළුමිණට හැකිව ඇත්තේ සිළුමිණේ පවතින ආගමික සහජීවනය හා ගුණාත්මක හා සාරධර්ම අගයන ප්‍රතිපත්තිය නිසාය.