
ඉරහඳ පවතිනාතාක් කල් රැකෙනා බවට පිළිගත් නැකතකින් බිහි වූ සිංහල පත්‍ර කලාවේ දැවැන්තයෙක් වන සිළුමිණ පුවත්පත 91 වැනි වසරට පා තබන්නේ මාර්තු 30 වැනිදාය. ශත දහයක මිලකින් ආරම්භ කොට සත දහයේ විශ්වවිද්‍යාලය නමින් බුහුමනට පාත්‍ර වෙමින් පාඨකයාගේ මන රංජනය කළ සිළුමිණ; අදත් ස්වකීය අනන්‍යතාව, අභිමානය රැක ගනිමින් ස්වාභිමානී ගමනක යෙදී සිටී. දශක නවයක මතක සටහන් සමඟින් සිළුමිණ ඇරඹි අභිමානවත් මඟ ගැන අප විවරණයක යෙදෙන්නේ වර්තමානයේ පෞඪත්වයට ඉතිහාසය දෙස් දෙන බැව් සිහිපත් කරමිනි.
සිළුමිණ ආරම්භ වන්නේ යටත් විජිත යුගයේදීය. මේ යුගයේ දේශීය චින්තනයකින් හෙබි සිංහල පුවත්පතක් ආරම්භ වීම වැදගත් සන්දිස්ථානයකි. 1930 මාර්තු මස 30 වැනිදා සිළුමිණ පුවත්පත ආරම්භ වූ යුගය යටත්විජිත ශ්‍රී ලංකාවේ දේශපාලනික පරිවර්තනීය වෙනසක් ඇති වූ සමයෙකි. 1931 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවණතාව කුමක් විය යුතුද යන්න ගැන ඉංග්‍රීසි ආණ්ඩුව සලකා බලමින් සිටියේය. සිළුමිණ පත්‍රය බිහි වෙන්නේ ලංකාවේ සියලුදෙනා යටත් විජිතය ඇතුළත උපතින් සමානයන් බවට පත්කරන, අවුරුදු 21ට වැඩි සියලු ම පුරවැසියන්ට තමන්ගේ දේශපාලන නියෝජිතයා පත්කර ගැනීමට අවකාශ සලසා දෙන කාල වකවානුවක ය. ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීමට ක්‍රියා කළ කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ සහ ඔහුගේ ඉල්ලීම් ගැන ලේක්හවුසියේ සිළුමිණ කර්තෘවරයා විශේෂයෙන් අවධානය යොමු කර ඇති බැව් සිළුමිණ ඉතිහාසය පිරික්සීමේදී පෙනේ. සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පැහැදිලිව පිළිගත් ප්‍රතිපත්තියක් සිළුමිණට තිබුණි. මුල්කාලීන සිළුමිණ ජනප්‍රිය වීමටත් ඒ කාරණය ඉවහල් වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟම ඇතිවුණු පරිවර්තනය මිනිසුන්ට ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කොට දුන්නේ ද සිළුමිණ පත්‍රය මඟිනි.
සිළුමිණ ප්‍රධාන කතු පදවියට මුලින්ම පත් වෙන්නේ ප්‍රකට ලේඛකයකු වන පියසේන නිශ්ශංක සූරීන් ය. භාෂා පරිවර්තකයකු ලෙසින් ලේක්හවුසියට බැඳුණු ඔහු තරම් මේ සඳහා සුදුස්සෙක් නැතැයි ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන් සිතීම සාකල්‍යයෙන්ම නිවැරදි තීරණයකි. පුවත්පත ඇරඹීමට නැකතක් සෙවීම ද එකල බාර වූයේ පියසේන නිශ්ශංකයන්ට ය. ඔහු බෙන්තර වළල්ලාවිට කෝරලයේ සංඝනායක හිමියන් ලවා අති ප්‍රබල නැකතක් සාදවා ගත්තේය. මේ නැකත පිළිබඳ උන්වහන්සේ ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය එකල ජනප්‍රිය වූ බැව් ඉතිහාසයේ සඳහන් ය. ඒ ‘ මේ නැකතින් පටන් ගන්නා පුවත්පතක් ඉර හඳ පවතිනා තාක් කල් පවතිනවා‘ යනුවෙනි. පුවත්පතට ‘සිළුමිණ‘ යන නාමය තබන ලද්දේ රත්මලානේ ධර්මාරාම හිමියන් විසිනි. මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් හා එක්ව සිළුමිණ හැකි තරම් ඉහළ මට්ටමකට ගෙන ඒමට පියදාස නිශ්ශංක සූරීන් බෙහෙවින් උත්සාහ ගත්හ.
පුවත්පත් කලාවේදියකු ලෙස හා ලේඛකයකු වශයෙන් මාර්ටින් වික්‍රමසිිංහයන් නිසා සිළුමිණ කතු ධූරය බැබළුණු බැව් අවිවාදිතය. වික්‍රමසිංහයන් සිළුමිණ කතුධූරයට පත් වෙන්නේ 1934 බැව් සඳහන්ය. ඒ පියසේන නිශ්ශංකයන්ට දිනමිණ කතුධූරය බාර ගැනීමට සිදුවීම නිසාය. මාර්ටින් වික්‍රමසිංහයන් ‘මයුරපාද‘ නම් අන්වර්ථ නාමයෙන් සිළුමිණ පුවත්පතට ලියන්නේ 1934 අගෝස්තු 5 වැනිදා සිට ය. එහි ශීර්ෂය වූයේ ‘උත්සව සන්නිය හා සූදුව‘ යන්නයි. එතැන් සිට 1950 නොවැම්බර් 5 වැනි දින දක්වා මයුරපාද නමින් වික්‍රමසිංහයන් සිළුමිණට ලියන ලද ලිපි සංඛ්‍යාව 235කි. අවසන් ලිපියේ ශීර්ෂය වූයේ ‘ සිංහල නාටකය දියුණු කිරීම‘ යන්නයි. අභිමානවත් ලේඛන සම්ප්‍රදායක උරුමය සිළුමිණට හිමි වන්නේ එකී පාදම මත පිහිටා ය. ඒ අනුව විශ්වවිද්‍යාලයක් තරමට දැනුම සම්පාදනය කළ තෝතැන්නක් බවට සිළුමිණ පුවත්පත අනවතරයෙන් පත් විණි.
මෙකී සම්ප්‍රදායෙන් පොහොසත් වුණු සිළුමිණ 1934 දී තගෝර් තුමා ලංකාවට පැමිණීම ගැන සිය පාඨකයන් දැනුම්වත් කළ ආකාරය එහි ගමන්මඟ හා අරමුණු පිළිබඳ ගැඹුරු චිත්‍රයක් මවාපායි. ඔහුගේ කවි පරිවර්තනය කර පුවත්පතේ පළ කරමින්, චිත්‍ර පළ කරමින්, ඔහු පිළිබඳ විශිෂ්ට ලිපි පළ කරමින් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කිරීමේ ලා මහඟු මෙහෙයක් සිළුමිණ ඉටු කළේය. දේශීය කලා ශිල්ප නඟා සිටුවීමට ප්‍රබල හේතුවක් බවට සිළුමිණ පත්වන්නේ එකී ආරම්භය සමඟ වීම ශක්තිමත් පාදමක් නිර්මාණය වීමේ ලා උපස්ථම්භක විය. මේ ලිපි හා තාගෝර් තුමාගේ පැමිණීම සාමාන්‍ය ජනතාව අතරට පවා රැගෙන යෑමට සිළුමිණ ක්‍රියා කළ ආකාරය ඇතුළත කියැවෙන ශාස්ත්‍රීය ප්‍රබෝධය ඒක භාෂික සිංහල පාඨකයන්ට පුවත්පත බෙහෙවින් සමීප වීමේ ලා හේතු කාරණා විය.
භාෂා ශාස්ත්‍ර විශාරදයන්, ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් මෙන්ම විවිධ මාදිලියේ වියත් ලේඛකයන් ද සිළුමිණ පුවත්පතට ඉතා සාරගර්භ ලිපි සැපැයීම ඉතා වැදගත් ය. ලංකාවේ සිය නාමය සටහන් කළ බොහෝ ලේඛකයන්, විද්වතුන් සිය මුල්ම පුවත්පත් ලිපිය ලියන්නේ සිළුමිණ වෙනුවෙනි. පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි, කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර නාහිමි, එඩ්මන් පීරිස් රදගුරුතුමන්, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන්ගේ එදා සිළුමිණේ පළවූ ලිපි ලේඛන ඊට උදාහරණ වේ.
සිළුමිණ ඒක භාෂික පාඨකයන්ට විදුබිමකි. පුවත්පත බිහිවූ මුල් කාලයේම අයි.ඇම්.ආර්. ඊරියගොල්ලයන් ඉදිරිපත් කළ ‘නොක්ස්ගේ ලංකා ඉතිහාසය’ පරිවර්තන ලිපි පෙළ ගිනිය නොහැකි තරම් වැදගත් වන්නේ ඒවැනි පසුබිමකය. පසුව එය පොතක් ලෙස ඉමහත් ගෞරවයට පාත්‍ර විණි. මෙකල්හි මෙන් නොව එදා තොරතුරු ලබාගැනීමට සිංහලෙන් පළවූ පොත්පත් ඉතා හිඟ විය. එබැවින් එංගලන්තයේ විකාශනය වූ ඉංග්‍රීසි ගුවන්විදුලි වැඩසටහන් හා එංගලන්තයේ පළවූ පොත්පත් විවිධ විද්වතුන් විසින් පරිවර්තනය කරන ලදුව සිළුමිණේ පළ විණි. ශාස්ත්‍රීය පිපාසයෙන් සිටි පිරිසට මෙය පැන් දෝතක් වූ අතරම, සිළුමිණ ඉටු කළ ශාස්ත්‍රීය මෙහෙය අද්විතීය වන්නේ ද එවන් වූ කරුණු හේතුවෙනි.
සිළුමිණ ඇරඹි ශාස්ත්‍රීය හා අනගිභවනීය ඓතිහාසික කාර්ය බාරය තවත් ඔපවත් කිරීමේ ලා බලපෑම් කළ කර්තෘවරු කිහිපදෙනෙක්ම වූහ. කාව්‍ය සම්ප්‍රදාය හා කලාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වන්නේ 1961 සිට 65 දක්වා කතුකම් කළ මීමන ප්‍රේමතිලක සමයේය.
පියසේන නිශ්ශංකයන්ගේ පටන් මාර්ටින් වික්‍රමසිංහ, මීමන ප්‍රේමතිලක, ඩී.එෆ්. කාරියකරවන, කවුඩානේ පියදාස පෙරේරා, තිලකරත්න කුරුවිට බණ්ඩාර,කරුණාදාස සූරියආරච්චි ආදී වශයෙන් කලින් කල පත්වූ බොහෝ කර්තෘවරු නිර්මාණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සැපයූහ. මෙය ලෝක මට්ටමින් ගත් කල ද විශේෂ ප්‍රවණතාවකි. බොහෝ දෙනා අතර ඇති විශ්වාසයක් වන්නේ පුවත්පත් කලාව හා නිර්මාණ කලාව අතර පරස්පරයක් ඇති බවය. සිළුමිණ ඉතිහාසය ගෙන බැලූ කල මෙය සාවද්‍ය කරුණක් බව ඉහත කරුණු ඔස්සේ සනාථ වේ.
සිළුමිණ පොබ කළ කතුවරු බොහොමයකි. මේ අය අතරින් බොහොමයක් සාහිත්‍යධරයන් ය. ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක ‘බාසුරු‘ යන ආරූඪ නාමයෙන් ගැමි පරිසරය අළලා පුවත්පතට ලියූ ලිපි අදටත් අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනේ. ‘වදුල‘ වැනි එකල ජනප්‍රිය නවකතාවක් ඔහු අතින් ලියැවෙන්නේ මෙකී කාර්ය බහුලත්වය මැද ය. හෙළයේ මහා ගත්කරු ලෙස විරුදාවලී ලබන මාර්ටින් වික්‍රමසිංහයන් සිළුමිණ කතු පදවිය බැබළ වූවෙකි. මෙතෙක් ආ ගමන් මඟ සිළුමිණ කතුධූරය හෙබවූවන් වන්නේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ( 1944-1953), ඩෙන්සිල් පීරිස් (1953-1961), මීමන ප්‍රේමතිලක ( 1961-1965), ඇස්. සුබසිංහ (1965), විමලසිරි පෙරේරා (1965-1969), ධර්මපාල වෙත්තසිංහ(1969-1980), එඩ්මන්ඩ් රණසිංහ (1980- 1981), ඩී. එෆ්. කාරියකරවන (1981-1982), වැ. බ. මෙත්තානන්ද (1982-1984), බන්දුල ශ්‍රී සරත්චන්ද්‍ර (1984-1985), ඩී. සී. කරුණාරත්න (1985-1989), කවුඩානේ පියදාස පෙරේරා (1989-1993), තිලකරත්න කුරුවිට බණ්ඩාර (1993-1994, 2002- 2004), නිමල් හොරණ (1994-1999), සුජීව දිසානායක (1999-2001), දෙල්තොට චන්ද්‍රපාල (2001-2002), වජිර පැල්පිට (2004-2005), කරුණාරත්න අමරතුංග (2005-2005), කරුණාදාස සූරියආරච්චි (2005-2013), සුන්දර නිහතමානී ද මැල් (2014), ලක්ෂ්මන් පියසේන (2015-2018), චාමර ලක්ෂාන් කුමාර (2018), සුනිල් ජයසේකර (2018) චාමින්ද වාරියගොඩ (2019) ය. වත්මන් කර්තෘ ධර්මන් වික්‍රමරත්න සිළුමිණ කතු පදවියට පත්වන්නේ 2020 ජනවාරි සිටය.
සිළුමිණ කර්තෘ ධූරය හෙබවූවන් අතර එඩ්මන්ඩ් රණසිංහ, ඩී. සී. කරුණාරත්න, තිලකරත්න කුරුවිටබණ්ඩාර, කරුණාරත්න අමරතුංග, සුන්දර නිහතමානී ද මැල්, සුනිල් ජයසේකර, ලක්ෂ්මන් පියසේන හා චාමින්ද වාරියගොඩ යන ජ්‍යෙෂ්ඨයෝ අදටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටිති.
අනූ එක් වසරක් යනු පුවත්පතකට පරිණතම අවදියකි. පාඨක සහෘදය ප්‍රජාව හා අර්ථ සම්පන්න සහසබඳතාවක් දශක නවයක් තිස්සේ අවිච්ඡින්නව පවත්වා ගෙන යෑම පහසු කරුණක් නොවේ. සිළුමිණට 91 සපිරෙද්දී මෙරට ට සර්ව ජන ඡන්ද බලයට ද වසර 90ක් සැපිරේ ( 1931-2021). සිළුමිණ හා ප්‍රජාතන්ත්‍රීය නැඹුරුව කියවා ගැන්මේ ලා එය ශක්තිමත් පදනමකි. 1930 මාර්තු 30 පළමු සිළුමිණ පුවත්පතේ එස්. මහින්ද හිමියන් ගේ පහත කවිපෙළ පළ වී තිබිණි. උන්වහන්සේගේ ඒ කවිය අප කියවා ගන්නේ පෙර නිදහස පිළිබඳ කරුණ පසුබිමේ තබා ය.
නිදහස හිමි වෙන්ටත් - ජාති ආලේ වැඩෙන්ටත්
නැණ එළිය ලබන්නටත් - වාසනාවන්ත වෙන්ටත්
රට සමය හදන්ටත් - වාද - බේ බුන් කරන්ටත්
සමගිය ලියලන්ටත් - ඒ මඟින් ලෝ වැඩෙන්ටත්
කැමති අය සිටිත්නම් - සිංහලද්දීපයේ මේ
‘සිළුමිණ‘ කියවත්වා - ආයුබෝවන්! කියත්වා!
මේ වග මෙලෙස දන්වන් - නේ කියන්නේ හිතන්නේ
සිළුමිණෙහි ඉතා ළාබාල - කවිකාරයා වේ!