සිළු­මිණ නව මඟක ප්‍රවේ­ශය | සිළුමිණ

සිළු­මිණ නව මඟක ප්‍රවේ­ශය

වත්මන් සිළුමිණ කර්තෘ මණ්ඩලය

 

කර්තෘ මණ්ඩලය පමණක් නොව ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ ද බාහිර ලේඛකයෝද පරිගණක අකුරු සංයෝජක සහ පිටු සැකැසුම් ශිල්පීන්ද දැන්වීම්, මුද්‍රණ සහ බෙදාහැරීම් ඇතුළු ප්‍රවාහන අංශයද ඊට එක් වෙති. අවසානයේ අලෙවි නියෝජිතයෝ අතින් එය පාඨක ඔබ අතට පත්වෙති. අවසානයේ සිළුමිණ මේ සියල්ලන්ගේම සංකලනයකි.

 

හිරු මෝදු වෙමින් පැවැතිණි. මම හාත්පස සිසාරා බැලුවෙමි. කාර්යාලයේ බිත්තියේ එල්ලා ඇති රූප රාමු රැසකි. ඒ පියසේන නිශ්ශංක සහ මාර්ටින් වික්‍රමසිංහයන් ඇතුළු සිළුමිණ කතුවරුන් විසි දෙදෙනාය.

හාත්පස සිසාරා ජනේලයෙන් පිටතටද දෑස් යොමු කළෙමි. ඇහැළ ගස් කහ මලෙන් පැහැබරය. ලයිට් කණුවක උඩ සිටි පැස්තුඩුවෙකු බේරෙ වැව දෙසට ඉගිළී ගියේය. රීගල් සිනමාහලෙන් දිවා කාලයේ ‘කොළඹ‘ චිත්‍රපටිය නැරැඹූ පිරිස් පිටතට එමින් සිටියහ.

මම අතීතය ආවර්ජනය කළෙමි. ලේක්හවුසියට ප්‍රථම වරට පා තැබුවේ 1976 සැප්තැම්බර් මසය. ඒ කොළඹ ආනන්දයේ සත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදීය. සමස්ත ලංකා රචනා තරගයකින් ලත් ජයග්‍රහණය වාර්තා කිරීමට දිනමිණට අවැසි විය. කතාව ලීවේ දිනමිණේ තිලකරත්න කුරුවිට බණ්ඩාරය. මේසයක් උඩ ඉන්දවා ඡායාරූපයක් ගත්තේ රෝලන්ඩ් පෙරේරාය.

ඉන් වසර 44කට පසු 2020 ජනවාරි මස සිළුමිණ කතුකම ම වෙත පැවැරිණි. දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස 1984 ජනවාරි 15 දා සේවයට බැඳුණු මා වෘත්තිය පුවත්පත් කලාවේදියකු ලෙස මේ ගත කරන්නේ 37 වන වසරය. මාධ්‍ය ජීවිතයක ගලා බැස්ම දියඇල්ලකට සමානය. එය මීවදයක් සේ ඉමිහිරි නැත; කොහොඹ දලු සේ තිත්තද නැත. ගලා බසින්නෙ සැඩවය; වරෙක නිහඬය; තවත් වරෙක ප්‍රචණ්ඩය; එහෙත් රිද්මානුකූලය.

අද 2021 මාර්තු 26 සිකුරාදා දහවල්ය. වම්පස කවුළුවෙන් දෑස් යොමු කළෙමි. සිළුමිණ කර්තෘ මණ්ඩලයම මීමැසි පොදියක් මෙනි. ලහි ලහියේ වැඩය. සිළුමිණ පුවත්පතේ සතියේ කටයුතු නිමා වන්නේ සිකුරාදාය. ඉරිදා පුවත්පතක සිකුරාදාවක් යනු මහ සිකුරාදාවකි. ඒ සඳහා දායක වන අය බොහෝය. කර්තෘ මණ්ඩලය පමණක් නොව ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ ද බාහිර ලේඛකයෝද පරිගණක අකුරු සංයෝජක සහ පිටු සැකැසුම් ශිල්පීන්ද දැන්වීම්, මුද්‍රණ සහ බෙදාහැරීම් ඇතුළු ප්‍රවාහන අංශයද ඊට එක් වෙති.

අවසානයේ අලෙවි නියෝජිතයෝ අතින් එය පාඨක ඔබ අතට පත්වෙති. සිළුමිණ මේ සියල්ලන්ගේම සංකලනයකි. පොහොර පසක පැළයක් සිටවූ විට වැඩෙන දේ වූකලී පොහොර පසෙහි වාතයෙහි, හිරු කිරණෙහි තෙතමනයේත් සංකලනයකි. එය සිළුමිණටද පොදුය.

වර්තමානයේ නිකුත් වන ප්‍රමුඛ සිංහල ඉරිදා පුවත්පත් ගණන 10 කි. සංවේදී හෝ කුතුහලය දනවන විශේෂාංග තුළින් ඔවුහු අඩුවැඩි වශයෙන් තරගයට මුහුණ දී සිටිති. සිළුමිණ පාඨකයා දැනුවත් කරමින් නිවැරැදි පුවත් ලබාදෙන අතර ඔවුනගේ දැනුම පුළුල් කරන ඉහළ රස වින්දනයක් ලබා දෙන ආකාරයේ මාධ්‍ය කලාවක් වෙනුවෙන් කටයුතු කරයි. මෙහිදී පියවර දස දහසක් පෙරට යන්නට කතුවරයා වශයෙන් මට සහාය දෙන පිරිස් බොහෝය. ලේක්හවුස් සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයද සිළුමිණට ලබා දී ඇති නිදහස පැසසුම් කටයුතුය.

සිළුමිණ කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘ නිහාල් අබේසිංහ, ප්‍රවෘත්ති කර්තෘ තාරක වික්‍රමසේකර, විශේෂාංග කර්තෘ සුමුදු චතුරාණී ජයවර්ධන, නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ඉනෝකා සමරවික්‍රම, පිටු සැකැසුම් නිර්මාණ සංස්කාරක මහේෂ් විදානපතිරණ ද, නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ සුභාෂිණි ජයරත්න, විද්‍යා සහ තාක්ෂණික අංශ ප්‍රධානී ටිරෝනි වෑවලගේ, ව්‍යාපාරික කර්තෘ ඉනෝකා පෙරේරා, නියෝජ්‍ය ව්‍යාපාරික කර්තෘ චන්දිමා එදිරිමාන්න, සුභද්‍රා දේශප්‍රිය, නිශානි බන්නැහැක, හර්ෂ ගුණවර්ධන, අමිල මලවිසූරිය, හර්ෂා සුගතදාස, රසික කොටුදුරගේ, සුරේකා ඉලංගකෝන්, ටෙක්ලා පද්මිණී කාරියවසම්, ඇතුළු කර්තෘ මාණ්ඩලිකයන් ද සිළුමිණට සවියකි; දිරියකි.

සිළුමිණේ රසඳුන බර කරට ගෙන සිටින ටානියා මෝසස් ද ක්‍රීඩා අතිරේකයේ වගකීම් උසුලාගත් කසුන් ඉරුගල් බණ්ඩාර ඇතුළු එම අතිරේකයන්හි සෙසු සගයන්ද සිළුමිණට සම්පතකි.

පරිගණක අංශයේ එච්. ඒ. සමරවංශ සහ දිනුක්ෂි පෙරේරාද සෝදුපත් අංශයේ වසන්ත කුමාරද පිටු සැකැසුම් අංශයේ ප්‍රියන්ත ජයලත්, ප්‍රියන්ත බිබිලදෙනිය සහ තිලිණ පතිරණගේ සිළුමිණ හැඩවැඩ කරන්නට උර දෙන්නෝය. රෝහණ රත්නවීර, කේ. ඩී. විජයසිරි සහ එම්. රාජේන්ද්‍රන්ගෙන් සිළුමිණට ලැබෙන සහාය අගනේය.

පාඨකයන්ගේ අදහස් සහ යෝජනා පමණක් නොව විවේචන ද අප දිරිගන්වනසුලුය. දැන් උදාවී ඇත්තේ අලුත් උදෑසනකි. ඒ සඳහා පියවර දසදහසක් පෙරට යන්නට සිළුමිණ පාඨක ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අපට ශක්තියකි. ඒ දිරිය මත නොයෙක් නව මංපෙත් හෙට දිනයේදී තව තවත් එළිපෙහෙළි වනු ඇත.

 

 

 

 

 

Comments