කණු මත ඉදිවන කොළඹ උඩින් යන අලුත්ම අධිවේගය | සිළුමිණ

කණු මත ඉදිවන කොළඹ උඩින් යන අලුත්ම අධිවේගය

- හම්බන්තොට සිට ගාලු මුවදොරට පැය 2 1/2 කින් එන්න පුළුවන්
- සියලු අධිවේගී මාර්ග කොළඹට සම්බන්ධ කරයි
- තනිකරම හදන්නේ පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස්වලින්

පේ රටේ අගනුවර කොළඹ නමුත් කොළඹ වාහන ගමන් ගන්නා වේගය පැයට කිලෝමීටර් 8 - 12 අතරය. ඒ නිසා කොළඹ හැම තැනම ‘ට්‍රැෆික්‘ ය. මේ ට්‍රැෆික් එකට කාලීන විසඳුමක් දෙන මෙරට ඕනෑම අධිවේගයක සිට කොළඹට උඩින් ඒමට හැකි අලුත් අධිවේගයක් දැන් ඉදිකිරීම ආරම්භ කර ඇත. හම්බන්තොටින් දක්ෂිණ අධිවේගයට පිවිසෙන අයට දැන් මේ අලුත් අධිවේගය ‍ඔස්සේ කොළඹට ගාලු මුවදොරට පැය 2 1/2 ක් ඇතුළත ළඟා විය හැකිය. වත්මන් රජය යටතේ ඉදිවෙන නව කැලණි පාලමේ සිට ඉඟුරුකඩේ මංසන්ධිය හා ගාලු මුවදොර හරහා වරාය නගරය වෙතට ඉදිවන නව අධිවේගී මාර්ග පද්ධතිය හරහා එසේ ළඟාවීමට පුළුවන. 

අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතියේ පෙරළියක් ඇති කරමින් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අධිවේගී මාර්ග සඳහා පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරීමේ තාක්ෂණය දැන් ආරම්භ කර ඇත. එය ආරම්භ කළේ කොළඹ උඩින් යන ඉඟුරුකඩේ මංසන්ධිය සිට ගාලු මුවදොර වරාය වෙත කුලුනු මතින් ඉදිවන නව අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු වලට අනුබද්ධවය.

මේ පිළිබඳ කරුණු දක්වන මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ මේ අලුත් අධිවේගී මාර්ග සියල්ල මහින්ද රාජපක්ෂයන් 2014 -2015 කාලයේ ජනපති මෙන්ම මහාමාර්ග හා වරාය ඇමැති ලෙස සිටින කාලයේ සැලසුම් කළ ඒවා බවයි.

“2015 මහින්ද මහත්තයා පරාද වූයේ නැත්නම් මේ සියලු අධිවේගී මාර්ගවල අපි යනවා. නුවරටත්, දඹුල්ලටත් අපි අධිවේගී මාර්ගවල යනවා. නමුත් 2015 - 19 ආණ්ඩුව මොනවාද කළේ. අපෙන් පළි ගත්තා විතරයි.“

“ඉඟුරුකඩේ සිට ගාලු මුවදොරින් යන අලුත් අධිවේගී මාර්ග මෙරට ප්‍රථම වරට භාවිත කරන නව තාක්ෂණ ක්‍රමවේදයක් වන පෙර සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් භාවිත කරමින් මේක අපේ මාර්ග සංවර්ධනයේ සුවිශේෂී ඉදිකිරීමක් මේ අධිවේගී මාර්ගය නිසා කොළඹ වාහන තදබදය අඩු වෙනවා. රටේ ඕනෑම අධිවේගී මාර්ගයක සිට පැය 2 1/2 ක් ඇතුළත කොළඹට එන්න මේ නව අධිවේගය නිසා පුළුවන්.“ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියයි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පැවසුවේ “ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය තුළ ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දෙන්න පුළුවන් බවයි. එමෙන් ම ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මෙවැනි පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස් භාවිත කිරීමේ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය හඳුන්වා දිය හැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

“මෙම වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම ඉතාම අභියෝගාත්මක ව්‍යාපෘතියක්. කොළඹ නගරය තුළ විශාලම වාහන තදබදය ඇති ස්ථානයක වරායේ කටයුතුවලට බාධාවක් ඇති නොවන ලෙස මෙම කටයුත්ත කිරීම ප්‍රායෝගිකව දුෂ්කරතා ඇති කාර්යයක්. නමුත් අපේ ඉංජිනේරුවන් සාර්ථකව ඒ අභියෝගය ජය ගනී කියලා අපි අපේක්ෂා කරනවා.

“ගාලු මුවදොර ඉඳල ඉඟුරුකඩේ හන්දිය සහ නව කැලණි පාලම සමඟ මුළු රටේම අධිවේගී මාර්ග ජාලයම සම්බන්ධ වන ප්‍රධාන ස්ථානය බවට 2023 දී මෙම ප්‍ර‍ෙද්ශය පත්වෙනවා. මෙම ව්‍යාපෘතිය මඟින් දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය නව කැලණි පාලම ඔස්සේ ඉඟුරුකඩේ හන්දියේ සිට සම්බන්ධ වෙනවා. එවිට විශාල කාලයක් ඉතිරි කර ගැනීමටත් මාර්ග තදබදය අවම කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන් හම්බන්තොටින් අධිවේගී මාර්ගයට පිවිසෙන අයකුට පැය 2 1/2 ක් තුළ ගාලු මුවදොරින් එළියට එන්න පුළුවන්.“ යැයි ද රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා පැවසීය.

කුලුනු මත ඉදිවන මෙම වරාය පිවිසුම් නව ගුවන් අධිවේගී මාර්ගය පිළිබඳව කරුණු දක්වන එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වරලත් ඉංජිනේරු කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා පවසන්නේ මෙම නව මාර්ගය නිසා මෙරට සියලු අධිවේගී මාර්ග කොළඹ නගරයට යොමුවීම මෙන් ම කොළඹ නගරයේ වාහන තදබදය ද අඩුවීම සිදුවන බවයි.

“මෙම මාර්ගය ආරම්භ වන්නේ කැලණි ගඟේ අලුත් පාලම හරහා එන නව අධිවේගී මාර්ග කොටසේ කෙළවර සිටයි. මෙම මාර්ගය ඉඟුරුකඩේ හන්දියේ සිට කොළඹ වරාය නගරය දක්වා කිලෝමීටර් 5.3 ක් දුරට ඉදිවෙනවා. මෙහි මංතීරු 4 යි. සම්පූර්ණ පළල මීටර් 23.4 යි. දැනට ඉදිකිරීම අවසන් වෙමින් පවතින කේබල්වලින් එල්ලෙන නව කැලණි පාලම හරහා මෙරට සියලු අධිවේගී මාර්ග සමඟ මේ අලුත් අධිවේගී මාර්ගයත් සම්බන්ධ වෙනවා. කටුනායක, දඹුල්ල, කොළඹ වටරවුම් මාර්ග නව කැලණි පාලම හරහා මේ නව ගුවන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙනවා. ඒ සමඟම නව කැලණි පාලම අසල සිට එනම් පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා ඉදිවෙන අලුත් අධිවේගී මාර්ගයට අතුරුගිරියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ වෙනවා. ඒ සියලු මාර්ගවල එන අයට පෑලියගොඩ අධිවේගී මාර්ග මංසන්ධියේ සිට මේ අලුත් වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන්න පුළුවන්.“

අලුත් අධිවේගී මාර්ගයට පිවිසුම් කිහිපයක් තිබෙනවා. ඒ අනුව මෝදර අලුත් මාවත, පිටකොටුව විමලධර්ම වටරවුම, කොළඹ වරාය හා ගාලු මුවදොර යන ස්ථානවලින් මෙම අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන්න පුළුවන්. කොළඹ වරායට පමණක් වෙන්වූ පිවිසුම් මඟ මඟින් ඇතුළුවීමට හා පිටවීමට අවසරය ඇත්තේ වරායට යන එන වාහනවලට පමණයි. මේ නිසා ප්‍රධාන ලෙසම කන්ටේනර් හා වරායේ ලොරි නිසා කොළඹ නගරයේ සිදුවූ වාහන තදබදය අඩුවීම ස්ථීරයි.“ වරලත් ඉංජිනේරු කණ්ඩම්බි පවසයි.

මෙම වරාය ගුවන් අධිවේගී පිවිසුම් මාර්ග ඉදිකරන්නේ තනිකරම වානේ කණු මතය. ඒ සඳහා මුලින්ම ‘පයිල්‘ 502 ක් පොළව යටට යවනවා. ඊට පස්සේ ඒ ‘පයිල්වල‘ උඩ මට්ටම එනම් ‘පයිල් කැප්‘ මත වානේ කුලුනු 198 ක් ඉදි කරනවා. ඒ කුලුනුවල ඉහළ මට්ටමේ ‘කැබින් බීම්‘ නම් කොන්ක්‍රීට් බීම් ඉදිකරනවා. ඒ කැබින් බීම් අතර පරතර 114 ක් තිබෙනවා. ඒ පරතරයට තමයි අපි අලුත් තාක්ෂණය අනුව පෙරසවි පාලම් කොන්ක්‍රීට් කොටස් දමන්නේ. ඒ අනුව අපි මේ මුළු කිලෝමීටර් 15.3 දක්වා දුරට කොන්ක්‍රීට් බීම් 3279 ක් යොදා ගන්නවා යැයිද ඉංජිනේරු කණ්ඩම්බි පවසයි.

මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් කෝටි 2800 කි. 2023 දී සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වීමට නියමිතය.

කොළඹ නගරයේ පවත්නා අධික වාහන තදබදයට මෙමඟින් ස්ථාවර පිළියමක් ලැබේ. විමලධර්ම වටරවුමේ පිවිසුමෙන් මෙරට ඉදිවන ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අවහිරතාවකින් තොරව අධිවේගී මාර්ගයෙන් ඇතුළුවීම හා පිටවීම පහසු කරවයි. වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහාලුම් සඳහා නව ප්‍ර‍ෙව්ශ මාර්ගයක් ඉදිකිරීම ද සුවිශේෂී කරුණකි. මීට අමතරව ප්‍රවාහන පහසුකම් කාර්යක්ෂම කිරීම ජනතාවගේ කාලය අපතේ යාම හා වාහනවල ඉන්ධන දහනය අවම කිරීම වැනි ප්‍රතිලාභ ද මෙමඟින් ලැබේ. එමඟින් පරිසර දූෂණය අවම වී ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවී රැකියා අවස්ථා වැඩිදියුණු වී ආයෝජන ප්‍රවර්ධනය සිදුවනු ඇත.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධව කොළඹ වරායට පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 500 ක වියදමින් සමුද්‍ර පහසුකම් සැලසීමේ නව මධ්‍යස්ථානයක් ද ඉදිකිරීමට යෝජිතය. එම මධ්‍යස්ථානය කොළඹ 01 ලෝටස් පාරේ වරාය අධිකාරිය සතු ඉඩමක ඉදිකෙරේ.

Comments