
- මාර්ග කි.මී. ලක්ෂයේ ඉදිකිරීම් හා පාලම් 5,000හේ වැඩ වේගවත් වෙයි
- එකම දිනයේ මාර්ග 1,500ක් ජනතා අයිතියට තවත් මාර්ග 2,500ක් වැඩ අවසන්
- ඉස්සර විනාඩි 90කින් ගිය ගමන දැන් මැරීන් ‘Drive’ මාර්ගයෙන් දැන් විනාඩි 12 යන්න පුළුවන්
පසුගිය වසර දෙක තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි මෙරට මහා මාර්ග ක්ෂේත්‍රයේ ඓතිහාසික සංවර්ධනයක් සිදු විය. ඒ අනුව පසුගියදා ජනපති අතින් එක් දිනයකදී මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීම මෙරට සුවිශේෂී සංවර්ධන කඩඉමකි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කර ගනිමින් දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස ආවරණය කරමින් ඉදිවන ග්‍රාමීය අභ්‍යන්තර හා අතුරුමාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ වැඩ අවසන් කළ මාර්ග 1500ක් එක් දිනක් තුළ ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනට අගමැති මහින්ද රාජපක්ෂයන්ද එක්විය. ඊට අමතරව ඉදිරි මාස කීපය ඇතුළත තවත් මාර්ග 2500ක් ද ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
මෙරට මෙතරම් මාර්ග රැසක් එක්වරම ජනතා අයිතියට පත් වන්නේ ප්‍රථම වරටය. මෙම කටයුතු සඳහා ග්‍රාමීය මාර්ග හා සුවිශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි හා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක යන අය පූර්ණ සහාය දෙති. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට්කර ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ පළාත් සභා මාර්ග කිලෝමීටර් 18000ක් හා ග්‍රාමීය හා අතුරුමාර්ග 80000ක් 2024ට පෙර අවසන්කර ඉදිකර ජනතාවට බාරදෙන බව ග්‍රාමීය රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.
මේ යටතේ දැනටම මාර්ග 5000කට අධික සංඛ්‍යාවක් ඉදිකර අවසන් බවත් ඔහු කියයි.
ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය, මඟ නැඟුම ව්‍යාපෘතිය හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු මඟින් රටපුරා තවත් මාර්ග ගණනාවක් සංවර්ධනය වෙමින් පවතින බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් සති අන්ත නිවාඩු දිනවලදී විශාල ආදායමක් ලබාගැනීමට හැකිවී ඇත. ඒ අනුව ඉදිරියේදී ඉදිකිරීමට නියමිත අනෙක් අධිවේගී මාර්ගවලින් ද ඒවා ඉදිකිරීමට වැයවූ මුදල ආවරණය කිරීමට තරම් ආදායමක් උපයා ගැනීමට ඉදිරි වසර 20 ඇතුළත හැකියාව ලැබෙනු ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
මෙරට ඉතිහාසයේ අධිවේගී මාර්ග ආරම්භ කළේත් උතුරු නැඟෙනහිර පාලම් පාරුවලින් ගිය ජනතාවට යෝධ පාලම් 7ක් හා සවිමත් කාපට් කළ මාර්ග පද්ධතියක් ඉදිකළේත් 2005 – 2015 මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ලෙස කටයුතු කළ සමයේදී ය. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ද මෙරට මාර්ග සංවර්ධනයේ ඓතිහාසික ක්‍රියාදාමයක් සිදුකරමින් පවතී.
මෙරට ප්‍රථම වරට දැන් කැලණි ගඟ හරහා අලුත්ම මාදිලියේ කේබල් 96කින් එල්ලෙන පාලමක් ඉදිකර ඇත. රුපියල් කෝටි 5300කින් ඉදිවන මේ පාලම හා ඊට අනුබද්ධ ගුවන් පාලම් අධිවේගී මාර්ග අන්තර් හුවමාරු පද්ධතිය ළඟදීම ජනතා අයිතියට පත්වීමට නියමිත ය.
අලුත් පාලම ඉදිකිරීම නිසා කොළඹ - කටුනායක, කැලණිය - අතුරුගිරිය, කැලණිය - කොළඹ වරාය නගරය යන අධිවේගී මාර්ගවලින් එන මාර්ගවලට කිසිම බාධාවකින් තොරව තමන්ගේ ගමනාන්තය කරා ළඟාවීමට අවස්ථාව තිබේ. මෙම නව කැලණි පාලම ඉදිකිරීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ එන ඕනෑම අයකුට අතුරුගිරිය හරහා කොළඹ නගරයට ඉතා ඉක්මනින් ළඟාවීමට අවස්ථාව ලැබී ඇත.
මේ මාර්ග පද්ධතිය නිසා මෙතෙක් කල් පෙරවරුවේ හා පස්වරුවේ කැලණිය, පෑලියගොඩ ප්‍රදේශයේ තිබුණු වාහන තදබදය අඩුවී යන බවත් රටේ සියලු අධිවේගී මාර්ග පෑලියගොඩ අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානය මඟින් එකට එක්වෙන බවත් නව කැලණි පාලමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර පවසන්නීය.
ඊට අමතරව බස්නාහිර පළාතේ හා මධ්‍යම පළාතේ අධික වාහන තදබදය ඇති ස්ථානවල අලුත් ගුවන් පාලම් ඉදිකිරීම් ද සිදු වෙමින් පවතී. ඒ අනුව කොහුවල, ගැටඹේ, කොම්පඤ්ඤවීදිය විනිසුරු අක්බාර් මාවත, උත්තරානන්ද මාවත, ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ සිට කොම්පඤ්ඤවීදියට අලුත් ගුවන් පාලම් ඉදිවෙයි. මේ සඳහා රුපියල් කෝටි 2010ක් වැයවේ.
රුවන්පුර අධිවේගය ද දැන් ආරම්භ කර ඇත. කහතුඩුව සිට ඉංගිරිය රත්නපුරය හා පැල්මඩුල්ල හරහා කිලෝමීටර් 71 දිගින් යුත් මේ අලුත්ම අධිවේගය මඟින් කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා මුළු දුර ප්‍රමාණය පැයක් ඇතුළත ගමන් කිරීමට අවස්ථාව ලැබේ.
ඒ සමඟම අතුරු පාරවල් හා ග්‍රාමීය පාරවල් කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීම දැන් වේගයෙන් ක්‍රියාත්මක වෙයි.
මහින්ද රාජපක්ෂයන් ජනපති සමයේ ඉදිකළ කොළඹ පිටත වටරවුම් මාර්ගය නිසා දැන් රටේම අධිවේගී මාර්ග එකට සම්බන්ධවේ. ජනපතිගේ උපදෙස් පරිදි දැන් අලුත් අධිවේගී මාර්ග 5ක් ඉදිකරමින් පවතී. මෙම නව කැලණි පාලම හා කොළඹ - දඹුල්ල අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් ප්‍රේමසිරි මහතා කියයි.
ඊට අමතරව පාලම් පාරු, එල්ලෙන පාලම් හා ඒදඬු තිබූ ස්ථාන 5,000කට කුඩා පාලම් ඉදිකිරීම ද ආරම්භ කර ඇතැයි ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා පවසයි. ඒ යටතේ දැනටමත් අලුත් පාලම් 3000ක් පමණ ඉදිකිරීම් ආරම්භ කර ඇත. 250ක පමණ ඉදිකිරීම් අවසන් කර තිබෙන බව රාජ්‍ය ඇමැතිවරයා කියයි.
අපේ අලුත් ම අධිවේගය ලෙස හැඳින්විය හැකි ගෝල්ෆේස් සිට දෙහිවල දක්වා ඉදිවූ මැරීන් ‘Drive’ මන්තීරු හතරේ නව මාර්ගය නිසා ගාලු පාරේ වාහන තදබදය අවම වී ඇත.
මේ මාර්ගය ඉදිකිරීමට ගතවී ඇත්තේ මාස හයකි. වියදම කෝටි 62කි. ඉඩම්වලට වන්දි ගෙවීම් කෝටි 400කි. දැන් නව මාවතෙන් ගාලු මුවදොර සිට දෙහිවල හන්දියට විනාඩි 12න් ගමන් කළ හැකිය. මීට පෙර ඒ සඳහා විනාඩි 90ක් ගතවිය. මෙම මාර්ගය පානදුර දක්වා දික් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරයි. මේ මැරීන් ‘Drive’ අධිවේගය වරාය නගරය සමඟ ද සම්බන්ධ වේ.