
- එන්නත්කරණයෙන් ලෝකයෙන් ම පළමු තැන අපේ රටට
- රටේ කොවිඩ් මඬින්න කෝටි 26,200ක් වියදම් කරයි
- වයස 20ට වැඩි 97%කට එන්නත දීලා
ලෝකය පුරා කොවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වද්දී ශ්‍රී ලංකා රජය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනමින් පියවර ගනු ලැබිණි. එහි පළමු පියවර වූයේ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කර මහජන සුබසිද්ධිය සහතික කර පොදු සෞඛ්‍ය හා සෙසු සේවා මනා සම්බන්ධීකරණයකින් යුතුව පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් අනුව කොවිඩ් 19 වයිරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබීමයි. එහි ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැබිණි. 2020 ජනවාරි 26 වැනිදා එම කාර්ය සාධක බලකාය ස්ථාපනය කළ අතර ඒ වන විට වෙනත් කිසිදු රටක එවැනි ආයතනයක් ආරම්භ කර නොතිබීම විශේෂත්වයකි.
ඒ අතර 2020 මාර්තු 11 වැනිදා මෙරටින් පළමු ශ්‍රී ලාංකික කොවිඩ් රෝගියා වාර්තා වීමත් සමඟ පාසල් දරුවන් වයිරසයට ගොදුරු වීම වළක්වා ගැනීම වෙනුවෙන් මාර්තු 12 වැනිදා සිට රටේ සියලුම පාසල් වසා දැමුණු අතර මාර්තු 20 වැනිදා පළමු වරට රට පුරාම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබිණ. රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණද සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. රජය සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ප්‍රමුඛ කරගනිමින් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගත් අතර ඒ නිසාම මෙරට පළමු කොවිඩ් රැල්ල ලෙස සැලකෙන 2021.01.27 සිට 2020.04.10 දක්වා කාලය තුළ මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13ක් තරම් අඩු සංඛ්‍යාවක් විය. මෙරට දෙවැනි කොවිඩ් රැල්ල ලෙස සැලකෙන 2020.04.10 සිට 2021.04.14 දක්වා මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 591ක් විය. තුන් වැනි කොවිඩ් රැල්ල වූ අලුත් අවුරුදු කොවිඩ් පොකුර ආරම්භ වූ 2021.04. 15 වැනිදා වන විට කොවිඩ් 19 වසංගතය ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබිණ. එහෙත් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා රජය හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් අතර අවස්ථා කිහිපකදී සංචරණ සීමා පැනවීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම සිදු විය.
ආසාදිතයන් වැඩිවන්නට පටන් ගැනීමත් සමඟ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රට පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 82ක් පිහිටුවනු ලැබූ අතර එම ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳන් 11, 488කින් සහ දැඩි සත්කාර ඒකක ඇඳන් 146ක් සමන්විතය. වැඩිවන ආසාදිතයන්ට සරිලන පරිදි අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් රට පුරා ස්ථාපිත කරනු ලැබූ අතර ඒ සඳහා යුද හමුදාවේ දායකත්වය ලැබිණ. එමෙන්ම රෝහල්වල ඇඳන් ධාරිතාව වැඩි කිරීමට ද පාර්ශ්ව කිහිපයක් දායක විය. ලෝකයම අර්බුදයට පත්කරමින් පැතිරීගිය දරුණු කොවිඩ් වසංගතයත් සමඟ ලෝකය පුරා රෝහල් වල ඇඳන් හිඟ වීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු විය. එය අපේ රටට එම අවස්ථාවේ බල නොපෑවත් අපේ රටේ තරුණ ප්‍රජාව ඒ සඳහා හොඳින් පෙර සූදානම් වීම සිදු කළහ. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහගේ අධීක්ෂණය මත ජාතික තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය හරහා යෞවන සමාජවල තරුණ තරුණියන් ඒකරාශී කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක කළ ඇඳන් දස දහසේ ව්‍යාපෘතිය ඒ අතර සුවිශේෂී වේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන් විශාල ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. එහෙත් වසංගතය පාලනය කිරීම සඳහා පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නිසා කිසිවකු කුසගින්නේ මියගිය පුවතක් මෙරටින් වාර්තා නොවීය. රට පුරා ආදායම් අහිමි වූ සහ අඩු ආදායම්ලාභී පවුල්වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ 2020 අප්‍රේල්, ජුනි මාසවලදී රුපියල් 5000 බැගින් සහනාධාරයක් ලබාදුන්නේය. ඊට අමතරව වසංගතයේ වැඩිම ව්‍යාප්තියක් පැවති බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් 2020 ඔක්තෝබර් මාසය සඳහා ද රුපියල් 5,000ක් ද ගෙවනු ලැබිණි. එමෙන්ම 2021 මැයි, ජුනි මාසවලදී රුපියල් 5,000ක දීමනාවක් සහ සැප්තැම්බර් මාසයේදී 2,000ක දීමනාවක් ලබාදුන්නේය. මෙම දීමනා ගෙවීම සඳහා රජය විසින් රුපියල් කෝටි 10,000ක් පමණ මේ වන විට වැය කර ඇති අතර රෝගයක් වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් රජය විසින් වියදම් කළ පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ ද මෙම වසංගතයයි. කොවිඩ් 19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට 2021 ජුනි මස දක්වා පමණක් රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇත. එයින් විශාල මුදලක් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මිලදී ගැනීම වෙනුවෙන් වැය වී ඇත.
වසංගතය මැඬලීමට ඇති හොඳම සහ එකම ආයුධය එන්නත්කරණය බව ලෝකයම පිළිගත් පසුබිමක මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන 2020 ජනවාරි 21 වැනිදා ආරම්භ වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ මෙරට වෛද්‍ය විශේෂඥයන්ගේ අනුමැතිය යටතේය. ඉකුත් 9 වැනිදා පස්වරු 8.30 වන විට ලැබී තිබූ දත්ත වාර්තා අනුව මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 15,816,302ක් එනම් 97%ක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන තිබූ අතර, 13,591,413ක් එනම් 84%ක් දෙවැනි එන්නත් මාත්‍රාව ද ලබාගෙන තිබුණි. එදින වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් සයිනොෆාම්, කොවිෂීල්ඩ්, ෆයිසර්, මොඩර්නා සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 33,444, 024ක් මෙරටට ලැබී තිබූ අතර කොවිඩ් වයිරසය සමඟ ඍජුව ගැටෙන සෞඛ්‍ය, ආරක්ෂක අංශ ආදී ඉදිරිපෙළ සාමාජිකයන් සඳහා තුන්වැනි මාත්‍රාව හෙවත් තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ද මේ විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ.
ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය මර්දනය සඳහා සිදුකරන දෛනික එන්නත්කරණය සම්බන්ධයෙන් ලොව පළමු ස්ථානයට පත්වූයේ ඉකුත් ජුලි මාසයේදීය. ලොව පුරා එන්නත්කරණ තොරතුරු යාවත්කාලීන කරන OUR WORLD IN DATA නම් වූ එම වෙබ් අඩවියේ දත්ත වාර්තා අනුව ඉකුත් ජූලි 17 වැනිදා වනවිට ශ්‍රී ලංකාව එන්නත්කරණ වේගය අතින් ලොව පළමු ස්ථානයට පත්ව තිබුණි. එම සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ලෝකයේ පළමු තැනට පත්ව ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ද සඳහන් කර තිබිණි. ඉකුත් සැප්තැම්බරයේදී එම වාර්තාව නැවත වරක් අලුත් වූයේ ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම එන්නත්කරණය කළ රට බවට ශ්‍රී ලංකාව පත්කරමිනි.
ප්‍රතිශතයක් ලෙස එය දක්වා තිබුණේ 13%ක් ලෙසටය. එවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවිම නිසා බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුව ඇත.