
තිස් වසරක යුද්ධයෙන් බැට කෑ මායිම් ගම්මාන අතරට කැබිතිගොල්ලෑව අයත් වූයේ 2006 වසරේදී හල්මිල්ලවැටිය ගම්මානයේදී කොටි ත්‍රස්තයන් බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම නිසාය. කුරිරු ප්‍රහාරයෙන් එදා කණුගහවැව සහ අවට ගම්වැසියන් බොහෝ පිරිසක් මිය ගියේ ය. බිහිසුණු යුද්ධය අවසන් වන තෙක්ම ඔවුන් වරින් වර පීඩාවට පත්ව තිබුණි..
වත්මන් ජනපතිවරයාගේ ‘ගම සමඟ පිළිසඳර‘කණුගහවැවට ළඟා වන්නේ ඉහත කී අතීත සිදුවීම් ද සලකා බලමිනි. යුද්ධය අවසන් කොට ජනතාවගේ සැබෑ ගැටලු සොයා බලන්නට ගම සමඟ පිළිසඳරට හැකියාව ලැබෙන්නේ ද ජනතා ගැටලු හොඳින් විමර්ශනය කිරීමෙනි. පවුල් 314ක් පදිංචි වී සිටින මේ ගම්මානයේ ජනතාවට ගැටලු රැසක් පැන නැඟී තිබුණේ ඈත අතීතයේ සිටම ය. ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාධනීය විසඳුම් සොයා දීමට අසමත් පාලකයන් සිටි කාල වකවානු පසුකර ඔවුන්ගේ ඉඩම් ගැටලු මෙන්ම වැව් ඇළ වේලි පිළිසකර කිරීම සහ ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග යනාදිය ද සංවර්ධනයට පියවර ගෙන තිබුණි. එපමණක් ද නොව සෞඛ්‍ය, අධ්‍යාපන යන ක්ෂේත්‍රවල පැන නැඟී ඇති ගැටලු ඉතා කඩිනමින් විසඳන ලෙස ගම සමඟ පිළිසඳර වැඩසටහනට සහභාගි වූ නිලධාරීන්ට උපදෙස් ලැබුණි.
ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිති කොට ගෙන කණුගහවැව ගම්මානය සංවර්ධනය කොට ජනතා අයිතියට පත් කිරීමේ වගකීම බාරගනු ලැබුවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ය. සංවර්ධනයට අවැසි සැලසුම් සකස් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය ලේකම්වරයා සහ ප්‍රදේශීය සභා සභාපතිවරයාට මෙන්ම ග්‍රාම නිලධාරිවරයාට පැවරුණි.
සැලසුම් කළ ආකාරයට සංවර්ධන කටයුතු ආරම්භ විය. ඒ අනුව වෙහෙර වහන්සේ ඉදිකරන භූමියේ බෝධිඝරය, ආවාස ගෙය සහ ඝණ්ටාර කුලුන ඉදිවිය. කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියේ ඉදිකර ඇති නව නිවාස 12ක අයිතිය හිමිකරුවන්ට සහ ගුරු නිවාසයෙහි අයිතිය විදුහල්පතිවරයාට පවරා තිබේ. ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදා දීමක් ද සිදු විය.
කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සහ ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිද සාර්ථකය. රජයේ ඉඩම් අත්පත්කර ගනිමින් ඒවා භුක්ති විඳිමින් සිටි පවුල් වෙත ඉඩම් ප්‍රදාන දීමනා පත්‍ර ලබා දුණි. ඉඩම් ඔප්පු අහිමි පිරිස් අතරින් පස් දෙනකුට ඉඩම් ඔප්පු ප්‍රදානයට ද ගම සමඟ පිළිසඳරට හැකි විය.
කණුගහවැව ආදර්ශ ගම්මානයේ ඉදි කළ අලිවැට කිලෝමීටර් 15ක දිගින් සමන්විතය. මේ සියල්ල ජනතාවට විසඳාගත නොහැකි ගැටලු ලෙස පැවැති ඒවා ය. ග්‍රාමීය ජනතාවගේ පොදු පහසුකම් දියුණු කිරීමට පාලක පක්ෂවලින් වැඳ වැටී ඉල්ලා සිටි අධිකාරිමය ක්‍රමය වෙනස් කොට ඔවුන්ගේ දුක නිවාලීමට ගම සමඟ පිළිසඳර පිටිවහලක් වී තිබේ.
මී මුරේ යන්න දැන් ‘4 Weel’ ඕන නෑ
ඈත අතීතයේ සිට මීමුරේ ගම්මානය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වී තිබූ බව යළි යළිත් පැවසිය යුතු නොවේ. එහෙත් එම ගම්මානයේ ගැමි ජනතාව විඳින ගැහැට පිළිබඳ කොතෙක් කතා කළත් ඊට සවන් දෙන්නකු සොයා ගන්නට නොහැකි විය. දුම්බර කඳු වැටියේ නැඟෙනහිර බෑවුමටත්, නකල්ස් කඳු පන්තියටත් මැදිව පිහිටි ගම්මානය ඓතිහාසික පුරාවෘත්ත රැසකට හිමිකම් කියන්නකි. ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ හදවත වන්නේ ද මීමුරේ ගම්මානය ය.
වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් තම ධුර කාලයේ දෙවසරක් ගත වන්නට මත්තෙන් මෙකී ගම්මානයට පිවිසෙන්නේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ‘ගම සමඟ පිළිසඳර‘ වැඩසටහනට සහභාගී වීමට ය.
වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් මීමුරේ වැසියන් සුළු අපනයන බෝග වගාවේත්, කිතුල් ආශ්‍රිත කර්මාන්තවලත් නියැළෙන්නේ ය. එවැනි සම්ප්‍රදායක් හිමි මීමුරේ ගම්මානයේ පවුල් 378ක් ජීවත් වෙති. රෝහලක් සොයා දුෂ්කර මඟක කිලෝමීටර් 34ක දුරක ගමන යෙදුණේ ය. ඔවුන් විඳි ගැහැට කිසිවකුට නොපෙනුණ අඳුරු යුගයට තිත තබන්නට ‘ගම සමඟ පිළිසඳර‘ ඉවහල් වූ බව රහසක් නොවේ.
ජනපති මීමුරේ සපැමිණීමත් සමඟ එහි ජනතාව තමන් විඳි ගැහැට එකිනෙක පවසන්නට වූයේ බලාපොරොත්තු පොඳි බැඳගෙන ය. ඉන් ප්‍රධාන ගැටලුවක් ලෙස යෑම් - ඊම් දුෂ්කරතා මෙන්ම නිරවුල් නොවූ වගා ඉඩම් පිළිබඳත් ජනපති දැනුම්වත් කරන්නට ඔවුහු උත්සුක විය. එසේම පාසල් දුවා දරුවන්ගේ අධ්‍යාපනයට ඇති බාධා මෙන්ම වල් අලි තර්ජන ගැනද ජනපති දැනුම්වත් කරන්නට ගම් වැසියෝ පසුබට නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා කඩිනමින් මාර්ගය පිළිසකර කර දිය යුතු බවට උපදෙස් ලැබිණි. අද වන විට එම මාර්ගය සංවර්ධනය කොට මීමුරේ ජනතා අයිතියට පත්කොට තිබේ. එය මීමුරේ වැසියන් ලද ජයග්‍රහණයකි. ඔවුන්ගේ දුවා දරුවන්ගේ හෙට දින ආරක්ෂිත බව හා යහපත් බව කියාපාන්නේ ගම ක්‍රමයෙන් සංවර්ධනය වන විටය. ගම සමඟ පිළිසඳරෙන් ගමට ලැබුණු වැදගත්ම දේ වනුයේ උඩුදුම්බර සිට මීමුරේ ගමට ලංගම බස් රථයක් ධාවනයට යෙදවීම ය. එදා තිබූ ගමේ සුන්දරත්වය නොනසා ගම්වැසියන් විඳි පීඩා අවම කරන්නට වත්මන් පාලනය ගෙන තිබෙන වෑයම ලාංකේය ජනතාවට අස්වැසිල්ලකි.
ග්‍රාමීය මාර්ග හෝ පාසල් සංවර්ධනයට අත නොතැබූ යුග ගණනාවක් මෙරට වැසියන් ආයාසයෙන් පසුකර ඇත. වත්මන වන විට ඔවුන්ගේ දුෂ්කරතා එකිනෙක විසඳීමට උත්සාහ කොට ඇති බව ගම සමඟ පිළිසඳරෙහි මීමුරෙන් පෙනෙන්නේ ය.
ප්‍රදේශයේ පාසල් දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක ඔන්ලයින් අධ්‍යාපනයට මඟ විවර කර, නව පාසල් ගොඩනැඟිල්ලක් මෙන්ම ක්‍රීඩා පිටියක් ද ලබාදී ගුරු හිඟයට ද පිළියම් යොදා මෙතෙක් පැවැති දුෂ්කරතා මගහරවා ඇත. එපමණක් ද නොව ගම්වැසියන්ට 1990 ගිලන් රථ සේවයක් ද හිමි වුණි.
මේ වැඩසටහනට ගම්වැසියන් වෙතින් ඉදිරිපත් වූ යෝජනා අතර සුළු වාරිමාර්ග යෝජනා, ඉඩම් බලපත්‍ර ලබාදීම, කුඩා ජල විදුලි බලාගාර, ජල යෝජනා ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමට බලධාරින්ට උපදෙස් ලැබී ඇත.
රටක අනාගතය තීරණය වන්නේ අද දරුවන් ලබන දැනුමෙනි. ඊට අවැසි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඕනෑම පාලක පක්ෂයක ප්‍රමුඛ අරමුණ සහ වගකීම විය යුතු ය. ගම සමඟ පිළිසඳර ඊට කදිම නිදසුනක් වග මීමුරෙන් පෙන්වා දී තිබීම කාලෝචිතය.