වසර දෙකක් තිස්සේ රට යන අත | සිළුමිණ

වසර දෙකක් තිස්සේ රට යන අත

මහනුවර දළදා මාළිගාව පරිශ්‍රයේදී 2020 අගෝස්තු මාසයේ දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය

- සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදලට කෝටි 429ක්
- තරුණයන් 25,000කට රට රැකියා. තරුණ ව්‍යවසායකයන් 50,000ක් ඉදිරියට
- අගමැති මහින්ද හා මුදල් ඇමැති බැසිල් එක්ව ගුරු වැටුප් ගැටලුවට විසඳුම් දෙති
- දේශීය කිරි නිපැයුම ඉහළට ගොවිපළවල ලොකු දියුණුවක්

පේ රට පින්වත්ත රටකි. විවිධ අය විවිධ කතා අපේ රට ගැන කීවත් අපි අපේ රට පින්වන්ත යැයි කියන්නේ රටට මොන ප්‍රශ්න ආවත් රටේ සංවර්ධන කටයුතු ඉදිරියටම යන බැවිනි. 2005 – 2015 මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මෙරට සිවිල් යුද්ධයක් තිබුණත් සංවර්ධන කටයුතු කරගෙන ගියේය. නමුත් 2015 – 2019 පාලන කාලය තුළ යුද්ධයක් හෝ වසංගත ව්‍යසනයක් නොතිබුණ ද රටේ සංවර්ධනය හරියට ඉටු කෙළේ නැත. 

මෙවර 2019 දී ගෝඨාභය රාජපක්ෂයන් ජනපතිවූ පසු කෝවිඩ් - 19, ආර්ථික අර්බුද, විපක්ෂ උද්ඝෝෂණ මධ්‍යයේ වුව අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති 25,000ක් රට පුරා ක්‍රියාත්මක වේ. සංවර්ධන අධීක්ෂණ ඇමැති හා ක්‍රීඩා, තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂයන් කියන්නේ රට පුරා දැනට කෝටි 100කට වඩා වැඩි මුදල් වෙන් කළ ව්‍යාපෘති 284ක් පමණ ක්‍රියාත්මක බවය.

දැනට මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ බහුකාර්ය ව්‍යාපෘති රැසකි. වරාය නගර, උමා ඔය, යාන් ඔය, උතුරුමැද මහ ඇළ හා වයඹ ඇළ ව්‍යාපෘති ඒ අතර ප්‍රමුඛත්වය ගනී.

මෙරට බලශක්ති ඉල්ලුම සපිරීමට පුනර්ජනනීය බලශක්තිය උපයෝගි කරගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි. ඒ අනුව 2030දී මෙරට විදුලි අවශ්‍යතාවෙන් සියයට 70ක පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි. එහි ප්‍රථම අදියර ලෙස අපේ රටේ ප්‍රථම මහා පරිමාණ සුළං බලාගාරය ‘තම්බපවනී’ නමින් මහින්ද රාජපක්ෂ අගමැතිදුන් අතින් විවෘත විය. ඒ බලාගාරය මඟින් මෙගා වොට් 103 ක බලයක් ලබාදෙන අතර ඉන් රටට වසරකට රුපියල් කෝටි 570 ක ආර්ථික ප්‍රතිලාභ ලැබෙයි.

ඊට අමතරව 2021 දී පුනරීන්වල මෙගා ‍ෙවාට් 100 ක සුළං බලාගාරයක් ද, 2022 දී පුනරීන්වල තවත් මෙගා වොට් 140 ක තවත් සුළං බලාගාරයක් ද ඉදිකිරීමට සූදානම් බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ පවසයි. ඒ සමඟම සූර්යකෝෂ මාර්ගයෙන් බලශක්තිය නිපදවීම විවිධ අයුරින් කිරීමට කටයුතු කෙරේ. සමෘද්ධි පවුල් ලක්ෂයක් හඳුනාගෙන ඔවුන්ගේ වහල මත සූර්ය කෝෂ ඉදිකර ඔවුන්ට ආදායමක් ලබා ගැනීමට හැකිවන අයුරින් නව ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට ජනපති උපදෙස් දී ඇත. ඒ සඳහා වැයවන රුපියල් ලක්ෂ 8ක මුදල රජයෙන් ලබාදිය යුතු බව ද ජනපති අවධාරණය කර ඇත.

මේ අතර පුනර්ජනනීය බල ශක්ති රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක පවසන්නේ ඉදිරි වසර 4 ඇතුළත මෙරට පුනර්ජනනීය බල ශක්තියෙන් මෙගා වොට් 8,300ක් නිපදවීමට අපේක්ෂා කරන බවයි.

ඒ සමඟම 2023දී සියඹලාණ්ඩුවේ ද මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඒ සමඟම රටපුරා ගම්බදව සූර්ය බලාගාර 7,000ක් ඉදි කිරීමට ද දැන් ඉල්ලුම්පත් කැඳවා ඇත. පර්චස් 40ක ඉඩමක් ඇති අයට මේ සඳහා ඉල්ලුම් කළ හැක.

මොරගහකන්ද ව්‍යාපෘතියේ ජලය යාපනයට ගෙන යන උතුරු මැද මහ ඇළේ කටයුතු ද දැන් ක්‍රියාවට නැංවේ. ඒ මඟින් වැව් 1,200ක් පුරවා පවුල් ලක්ෂ 15කට ජලය ලබාදීමට අපේක්ෂිතය. මේ වාරි පද්ධතියේදී අපේ රටේ දිගම උමඟ ඉදිකරනු ලැබේ. ඒ කිලෝමීටර් 27ක් දිග උමඟකි. අඩි 30ක් පළල මේ උතුරුමැද මහ ඇළ මුලින් ම ඉදිවන්නේ මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව වැව දක්වා ය. එහි දිග කිලෝමීටර් 97කි. පළල අඩි 30කට වඩා වැඩි ය.

ඒ සමඟම මහවැලි ජලය වයඹට ගෙන යාම සඳහා කිලෝමීටර් 90 ක් දිග හා මීටර් 3.5 ක් පළල වයඹ මහ ඇළ දැන් ඉදිකරමින් පවතී. ඒ අනුව බෝවතැන්න ජලාශයේ සිට ගල්ගමුව දක්වා මෙම ඇළ ඉදිවන අතර එමඟින් මහ වැව් 8 ක් හා කුඩා වැව් 350 ක් පෝෂණය වෙයි. මෙමඟින් අක්කර 32000ක් යල මහ අස්වැද්දෙන අතර ඊට අමතරව පානීය ජලය ද ලබාදෙයි. ගොවි පවුල් 55000 කට සෙත සැලසෙන වයඹ මහ ඇළ නිසා ගල්ගමුව හා වයඹ පළාතේ දැනට පවතින අලි මිනිස් ගැටුමට ද විසඳුමක් ලැබෙනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට සංවර්ධන කටයුතු යටතේ රටේ සංවර්ධනය සඳහා වැය කරන මුළු මුදල රුපියල් කෝටි 19,250කි. අමාත්‍යාංශ 44ක් යටතේ ක්‍රියාත්මක මේ ව්‍යාපෘති අතරින් ප්‍රධාන ව්‍යාපෘති 57ක් ම ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම පිණිස ය.

ඒ අනුව රටේ පවුල් ලක්ෂ 47ට දවසේ පැය 24 පුරාම පිරිසුදු පානීය ජලය ලබා දීමට පානීය ජල ව්‍යාපෘති ගණනාවක් ජනපතිගේ අගමැතිගේ හා ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ. විසල් මාතලේ, මහනුවර දකුණ, මහනුවර නගර, කැලණි වම් ඉවුර හා අනුරාධපුරය, පොළොන්නරුව වැනි නගරවලට අදාළ මහා පරිමාණ පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම ඒ අතර වේ. මේ අතර මහින්ද රාජපක්ෂ අගමැතිදුන්ගේ අදහස පරිදි දැන් රටේම ජලාධාර සුරැකීමට ද නව වැඩපිළිවෙළක් සකසා ඇත. කොළඹ අපජලය බැස යාමට මුළු කොළඹ නගරයම සම්බන්ධ වන පරිදි අලුත් අපජල ව්‍යාපෘතියක් ද දැන් අරඹා ඇත. කොළඹ නගරය යටින් දිවෙන යෝධ නළ පද්ධතියක් මඟින් එම අපජලය කොළඹ නාගරික ප්‍රදේශයෙන් ඉවතට යැවීමට මේ යටතේ සූදානම්වේ.

රටේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමට කිලෝමීටර් 40,000ක් දුරට ජල නළ එළීමට ද කටයුතු යොදා ඇත. ඒ සඳහා වෙනම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර එම කටයුතු සිදු කරන ජල සම්පාදන සේවකයෝ දිවා රෑ අතිකාල නොමැතිව කටයුතු කරමින් සිටිති. ඊට අමතරව පානීය ජල සම්බන්ධතාවක් සඳහා ගෙවූ මුදල රුපියල් 8,000 සිට 2,500 දක්වා අඩු කර ඇත.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය 10,000කින් ම වැඩි කිරීමත් මෙරට විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ විවෘත කිරීමත් පසුගිය වකවානුවේදී සිදුවිය.

යක්කල ආයුර්වේද විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට ද පියවර ගන්නා ලදී. මතට තිත තැබීමට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කටයුතු කළ අතර කුඩු කිලෝ ග්රෑම් 1000කට අධික ප්‍රමාණයක් මහ මුහුදේදී අල්ලා ගැනීමට නාවික හමුදාව කළ මෙහෙය අගය කළ යුතුය.

දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දුම්රිය මැදිරි 200ක් මෙහිම නිර්මාණය කළ අතර දුම්රිය ඇන්ජින් 10ක් මෙරටට ගෙන ඒම ද බලවේග කට්ටල 12ක් මෙරටට ගෙන්වා ඇත.

පරන්තන් රසායන ද්‍රව්‍ය, පැලවත්ත සෙවණගල සීනි, වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලා වත්මන් රජය යටතේ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙයි.

තේ, පොල්, රබර් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ විසින් රටපුරා තුන් ආකාරයකට ‘අපේ කප්රුක රටපුරා දොරින් දොරට’ පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමට කටයුතු කරයි. මෙහිදී සමෘද්ධිලාභීන්ට පොල් පැළ නොමිලේ ලබා දෙයි.

‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩපිළිවෙළ යටතේ 2024 වනවිට නව නිවාස 70,000ක් ඉදිකරනු ලැබේ. ඒ යටතේ නිවාස හිමිවන්නේ ඒ ඒ ග්‍රාම නිලධාරි වසම්වල සිටින දුප්පත්ම පවුල්වලට ය. ඊට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් එක්ව මෙරට නිවාස ගැටලුවට විසඳුම් ලබා දෙමින් තිබේ. කොළඹට නාගරික නිවාස 37,500ක් ඉදිකරමින් පවතී. ඒ සමඟම අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් අනුව සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට නිවාස ඒකක 100 කින් යුත් මහල් නිවාස ඉදිකිරීමට සැලසුම්කර තිබේ. ඒ අනුව මෙරටට එකතුවන සම්පූර්ණ නිවාස ගණන 30,000 කි.

කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නව නිවාස 17,500 ඉදිකිරීම දැන් අරඹා ඇත. මෙරට ප්‍රථම වරට පුරවර විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ද රජය සියලු කටයුතු යොදා තිබේ. ජාතික තරුණ සේවා සභාව මඟින් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදී ඒ අය 25,000කට පමණ පිටරට රැකියා ලබාදීමටත් තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂයන් කටයුතු යොදා ඇත. ඊට අමතරව නව තරුණ ව්‍යවසායකයන්ට 50,000කට වෘත්තීය පුහුණුව, ණය පහසුකම් හා අලෙවි පහසුකම් ලබාදී ඒ අය නව තරුණ ව්‍යවසායකයන් බවට පත් කිරීම ද තරුණ පරපුරට වාසියකි.

ඊට අමතරව මෙරට ඉදිවන සියලුම ග්‍රාමීය මාර්ගයකට එක් වෙළෙඳසල බැඟින් ඇති කර ඉන් 50,000 කට අධික තරුණයන් පිරිසකට රැකියා ලබාදීමටත් අවස්ථාව සලසනු ඇත. 

මෙරට දෙවැනියට විශාලම ගංගා ද්‍රෝණිය වන මල්වතුඔය ආශ්‍රිතව පහළ මල්වතුඔය ජලාශය මන්නාරම හා යෝධවැව සංවර්ධනය පිණිස හා මොරගහකන්දේ ජලය වයඹට ගෙනයන වයඹ මහ ඇළ ඉදිවෙමින් පවතී. ඒ සමඟම උමා ඔය ව්‍යාපෘතියේ වැඩකටයුතු දැන් අවසන් වෙමින් ඇත. පහළ ඌව හම්බන්තොට වැනි ප්‍රදේශවලට පානීය හා වාරි ජලය නොඅඩුව ලබාදෙන මේ ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් 120ක විදුලිබලයට ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට කටයුතු කෙරේ. ඊට අමතරව යාන් ඔය ජලාශ නැඟෙනහිර යෝජනා ක්‍රමය අවසන් අතර එමඟින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සෙත සැලසේ.

අපේ රටේ වසර 20 – 30ක් සංවර්ධනය නොවූ නගර 100 සිත්ගන්නාසුලු අයුරින් සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැන් කටයුතු කරයි. ඒ අනුව එම සංවර්ධනය කරන එක් නගරයක කටයුතු සඳහා රුපියල් ලක්ෂ 200ක් පමණ ලබාදෙයි. සෑම නගරයකම භෞතික පාරිසරික තත්ත්වය සිත්ගන්නාසුලු අයුරින් හා ඉදිරි වසර 100 සඳහා සුදුසු අයුරින් තිරසර ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන ඇමැති ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් උපදෙස් දී ඇත.

ඒ සමඟම සමෘද්ධි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහගේ මෙහෙයවීමෙන් රටපුරා සෞභාග්‍යා ගම්මාන 290ක් ඉදිකරමින් ලක්ෂ 15කට සෙත ලබා දීමට යයි. ඒ අනුව ඒ සියලු ගම්වල තිබූ පැරැණි සාම්ප්‍රදායික කර්මාන්ත සඳහා අත හිත දී නව තාක්ෂණය හා එතෙර වෙළෙඳපොළ සම්බන්ධ කිරීමට රාජ්‍ය ඇමැතිවරයා කටයුතු යොදා ඇත. ඒ සෑම ගම්මානයකම එක් පවුලකට ග්‍රාමීය කර්මාන්ත ඇරැඹීමට රුපියල් ලක්ෂය බැඟින් ලබා දෙන අතර එම ගම්වල නිපැයුම් එතෙර යවා රටට රුපියල් කෝටි 1800ක් ලබා ගැනීමට ද අපේක්ෂිත ය. මෙරට දේශීය කිරි හා කිරි පිටි ඉල්ලුම සපිරීම පිණිස ගොවිපළ සංවර්ධන, කිරි බිත්තර ආශ්‍රිත සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් දැන් අලුත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව රටේ කිරි ගොවීන්ට කිරි සඳහා වැඩි මිලක් ලබා දීමටත්, නව ආහාර හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා දෙන ගවයන් ලබා දීමටත් පියවර ගැනේ. පිටරටින් කිරි පිටි ගෙන්වීමට යන රුපියල් කෝටි 557 ක මුදල අපේ කිරි ගවයන්ගේ ඵලදායිතාව ඉහළ නංවා ඒ කිරි ගොවීන්ට ලබා දීමට ඇමැතිවරයා සූදානම් වෙයි.

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි ශබ්රිගේ උපදෙස් පරිදි දැන් කටයුතු කරයි. ඒ අනුව පසුගිය වසර ඇතුළත බන්ධනාගාරවල සිටි සිරකරුවන් ගණන 32,000 සිට 19,000 දක්වා වසරක් තුළ අඩු කිරීමට පියවර ගෙන ඇත. ඊට අමතරව අක්කර 200ක භූමි භාගයක හොරණ මිල්ලෑවේ නව බන්ධනාගාර කඳවුරු සංකීර්ණයක් ඉදිකිරීමට සියලු සැලසුම් සකස් කර ඇත. එහි සම්පූර්ණ වියදම කෝටි 3000කි. වැලිකඩ, බොරැල්ල මැගසින්, රිමාන්ඩ් කාන්තා බන්ධනාගාර සියල්ලම මෙම ස්ථානයට ගෙන යන අතර බන්ධනාගාර රෝහල මෙහි ස්ථානගත කරනු ඇත.

මෙරටට සේලයින් ගෙන ඒම සැප්තැම්බර් මාසයේ සිට ප්‍රථම වරට නවතා දමා ඇත. ඒ මෙරට ප්‍රථම සේලයින් කර්මාන්ත ශාලාව කුණ්ඩසාලේ දී තම නිෂ්පාදන කටයුතු සැප්තැම්බර් 1 සිට ආරම්භ කිරීම නිසා ය. මේ අනුව දේශීය සේලයින් සිහිනය දැන් සැබෑකර ගෙන ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා පෞද්ගලික ආයතනයක් එක්ව මෙම කර්මාන්ත ශාලාව අරඹා ඇත.

මේ අනුව සැප්තැම්බර් 1 දින සිට සාමාන්‍ය සේලයින් ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුළු කරන මූලික නික්ෂේපණ ද්‍රාවණ සියල්ල කුණ්ඩසාලේ නව ඖෂධ කර්මාන්ත ශාලාවේ නිපදවේ. මෙතෙක් කල් සේලයින් ඇතුළු මූලික නික්ෂේපණ ද්‍රාවණ මිලදී ගැනීමට රජය දිනකට රුපියල් ලක්ෂ 50 ක් වැය කරයි. මෙම නව නිපැයුම් නිසා වාර්ෂිකව රුපියල් මිලියන 1000 ඉතිරි කෙරේ.

මෙරට වසර විසි පහක් තිස්සේ නොවිසඳුණු ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එකවර විසඳීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ මැදිහත්වීමෙන් හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ගේ සහයෝගයෙන් කටයුතු කර ඇත. ඒ අනුව අගමැතිතුමාගේ දැනුම්දීම පරිදි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් විසින් මෙම වැටුප් විෂමතාව විසඳීම සඳහා අවශ්‍ය මුදල වන රුපියල් කෝටි 3000ක් මෙවර අයවැය ලේඛනයෙන් ලබාදීමට නියමිත ය. ඒ අනුව සමස්ත අයවැය ලේඛනයෙන් 7.51%ක මුදලක් අධ්‍යාපනය සඳහා ලබන අයවැයෙන් වෙන් කෙරේ. මෙරට අයවැය ඉතිහාසයේ සමස්ත අයවැයෙන් 7.51%ක් අධ්‍යාපනය සඳහා වෙන්වන ප්‍රථම අවස්ථාව ද මෙය වන්නේ ය. මෙම ඉල්ලීම ඉටු කිරීම ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයට හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රණාමය පුද කළහ.

2020-2021 වර්ෂයන් අභියෝගාත්මක වර්ෂයන් වුවත් එම වර්ෂ දෙකේදී අභියෝග මැද ජයග්‍රාහී ගමනක් යන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබී ඇත.

මහපොළ ශිෂ්‍යත්ව 3,25,000 ඉක්මවූ ප්‍රමාණයක් පිරිනමන්න මූල්‍ය දායකත්වය දුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2020 වසරේදී ජනාධිපති අරමුදලට කෝටි 229ක දායකත්වයක් ලබා දී ඇත. 2021 වසරේ ගත වූ මාස 9ක කාලය තුළ ජනාධිපති අරමුදල සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබා දී ඇති මුදල කෝටි 200කට ආසන්නය.

Comments