
ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් මෙරට එකවර හැදෙයි
රටේම ඇති ඒදඬු සහ වැල්පාලම් වෙනුවට අලුතින් පුංචි පාලම් 5,000 ක්
මෙරට සමහර දේශපාලනඥයන් කටයුතු කරන්නේ ග්‍රාමීය ජනතාවට කුඩම්මාගේ සැලකිලි දක්වමිනි. අපේ රටේ ග්‍රාමීය ඡන්ද දායකයන්ගේ ඡන්ද ඒ දඬු වැල් පාලම් හා අඩි පාරවල් ඔස්සේ ගොස් ලබාගන්නා මේ දේශපාලනඥයන් ඡන්දය දිනූ පසු ඒ ග්‍රාමීය ප්‍රදේශ ග්‍රාමීය ජනතාව දිහා ඇහැක් කටක් ඇර බලන්නේ නැත.
පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතනවලට පත්වන මේ අය ඡන්දය දිනුවායින් පසුව මේ ග්‍රාමීය දුක් විඳින ජනතාව අමතක කරති. යළි ඔවුන්ට ඒ අය මතක් වන්නේ ඊළඟ ඡන්දයටය.
ඒ වංක දේශපාලන පිළිවෙතට තිත තබමින් මීට වසරක පෙර ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ යන් පසුගිය වසරක කාලය තුළ වැඩිපුරම අවධානය යොමු කළේ මෙරට ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාවගේ ගැටලු විසඳීමටය. ජන දුකට පිහිට වීමටය.
ජනාධිපතිවරයා සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙරට ප්‍රථම වරට ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඒදඬු හා වැල් පාලම් වෙනුවට ස්ථිර පාලම් 5,000 ක් ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීය.
ඒ යටතේ දැනටමත් රටපුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 6,000 ක පමණ වැඩ අවසන් බවත් පාලම් 5,000 න් පාලම් 300 ක වැඩ අවසන් බවත් 1,000 ක වැඩ මේ වසරේ ආරම්භ කරන බවත් ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක පවසයි. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට තමයි මේ වගේ ගමේ පාරවල් කිලෝමීටර් ලක්ෂයක් එකවර හදන්නේ.
ඒ අනුව ඉදිරි වසර හතර ඇතුළත පළාත් සභා මාර්ග කිලෝමීටර් 8,000 ක්ද ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 80,000ක් ඉදිකර ජනතා අයිතියට පත්කරනවා. මේ සඳහා රුපියල් බිලියන 1500 ක් වැය කිරීමට අපේක්ෂිතයි. ඒ මුදල දේශීය බැංකු ණය ලෙස ලබා දෙනවා.
“මේ මහා ව්‍යාපෘතිය කරන්නේ අපේම සල්ලි වලින්. ඒ සල්ලිත් යන්නේ අපේ ඉදිකිරීම් සමාගම්වලට. ඒ සමාගම්වල වැඩ කරන්න් අපේ රටේම ජනතාව. ඒ අනුව මේ ව්‍යාපෘතිය අපේම එකක්. මේ මුදල් සතයක්වත් පිටරටට යන්නේ නැහැ.“ ලේකම්වරයා කීය.
මේ පිළිබඳව අදහස් දක්වන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසන්නේ ජනපතිගේ, අගමැතිගේ හා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ උපදෙස් මත මේ වැඩපිළිවෙළ දැන් වේගවත්ව ක්‍රියාත්මක වන බවයි.
“ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකර ජාතික මාර්ග පද්ධතිය හා සම්බන්ධ කරන බව. ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව 2024 දි මේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂය ඇතුළු තවත් මාර්ග රැසක් ජාතික මාර්ග පද්ධතියට එක් කිරීමට අපි කටයුතු කරනවා.“
“රටේ ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැංවීමට රටේ ආර්ථිකය නැංවීමට මෙරට සංචාරක ව්‍යාපාරය හා ග්‍රාමීය ජනතාවගේ කෘෂි ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කර ගැනීමට මේ මාර්ග පද්ධතිය මගින් ඉමහත් පිටුබලයක් ලැබෙනවා.“ ලන්සා මහතා පවසයි.
පසුගිය මැතිවරණ සමයේ ජනාධිපතිතුමා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන විට ග්‍රාමීය ජනතා ප්‍රශ්නවලට සාවදානව ඇහුම්කන් දුන්නේය. ඒ අතර ප්‍රමුඛතම ගැටලුවක් වූයේ ග්‍රාමීය මාර්ගවල අබලන් තත්ත්වයයි. ඒ අනුව ග්‍රාමීය ජන ජීවිතය දුගී බවින් මිදී ඉහළට ගන්නට මේ ග්‍රාමීය මාර්ග පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු බව එතුමාට අවබෝධ විය.
ඒ සමඟම ග්‍රාමීය ප්‍රදේශවල ඇති ජීවිත පරදුවට තබා සිසු දරු දැරියන්, වැඩහිටි අය එහා මෙහා යන අබලන්වූ ඒදඬු හා වැල්පාලම් වෙනුවට ස්ථිර පාලම් ද අවශ්‍ය බව ජනපතිට පැහැදිලි විය. ඒ පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ ජනාධිපතිතුමා රටපුරා ග්‍රාමීය මාර්ග, අතුරු මාර්ග, නගරයට ප්‍රවේශවීමේ මාර්ග, වතු මාර්ග හා ප්‍රාදේශීය සභා මාර්ග කිලෝමීටර ලක්ෂයක් ඉදිකිරීමට නිලධාරින්ට හා බලධාරින්ට උපදෙස් දුන්නේය.
ඊට අමතරව එම පාරවල්වලට ඇති කුඩා පාලම්, වැල් පාලම් හා ඒදඬු වෙනුවට අඩි 8 - 10 ක් පළල නව පාලම් ඉදිකරන ලෙස ජනපති උපදෙස් දී ඇත. ග්‍රාමීය මාර්ග සියල්ල අඩි 12 - 16 පළලක් ඇතිව ඉදිකරන අතර ඒවායේ කාපට් හෝ කොන්ක්‍රීට් හෝ අන්තර් සම්බන්ධතා ගල් ඇතිරීම සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දී ඇත. ආර්ථික ලෙස රටක් සංවර්ධනය කිරීමේදී එරට මාර්ග පද්ධතිය දියුණු මට්ටමක තිබිය යුතු බවද විද්වතුන්ගේ මතයයි.
සුව පහසුවෙන් ඉක්මණින් හා ආරක්ෂාකාරී ලෙස තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියෙකුම සතු අයිතියකි. ප්‍රවාහන පද්ධතියේ දුර්වලතා පසුගාමීත්වය හා බිඳුණු අන්තර් සම්බන්ධතා පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට ලබාදීම “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහතික කර ඇත.
ඒ අනුව රට පුරා ග්‍රාමීය හා අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීම දැන් අරඹා ඇත. මෙම කටයුතුවලට අවශ්‍ය ගල්වැලි පස් ආදිය අඩු නැතිව අවශ්‍ය ප්‍රමාණයෙන් හිඟයකින් තොරව ලබාදීමට දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.
මෙම මාර්ග ඉදිකිරීමේදී පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන හා පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුත් ස්ථාන මෙන්ම ඉහළ ජලාධාර ආදිය සුරැකෙන පරිදි කටයුතු කළ යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ඉදිකිරීම් වේගවත්ව කළ යුතු බවට ද ඉදිකිරීම අධීක්ෂණය රජයේ කාර්මික නිලධාරින් හා කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම සිදුවිය යුතු අතර කිසිවිටෙකත උපකොන්ත්‍රාත් ලබාදීම නොකළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඒ සමඟම මේ ඉදිකරන සියලු මාර්ග හා පාලම් අසල දැවමය ශාක පැළ ලක්ෂ 20 ක් සිටුවීමට ද කටයුතු යොදා ඇති බව මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි පවසයි. මේ අයුරින් මෙරට ප්‍රථම වරට එකවර ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් ඉදිකිරීම හා පාලම් 5000ක් ඉදිකිරීම මෙරට ග්‍රාමීය ජනතාවට පමණක් නොව රටේ සියලු දෙනාගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමටත් රටට සමෘද්ධිය උදාකරලීමටත් හේතුවන බව කිව යුතුමය.