
රටේ අනාගතය බාර ගැනීමට සිටින අපේ තරුණ පරපුරට හරි රැකියාවක් නොමැති වීමත්, දුප්පත්කමත්, අතහිත දීමට කවුරුවත් නොසිටීමත් නිසා මෙන්ම වැරදි මග පෙන්වීම් නිසා පසුගිය වකවානුවලදි ඉච්ඡා භංගත්වයට පත්ව සිටිනු දක්නට ලැබුණි.
1971 - 1988 - 1989 වකවානුවලදි තරුණ කැරලි අපේ රටේ ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් වූයේද විරැකියාව දරිද්‍රතාව හා ඉදිරියට මගක් නොමැතිකම නිසා බව පර්යේෂකයන්ගේ මතය විය. තරුණ අසහනයට හේතුව සෙවූ කොමිසම් මගින් ද තීරණය වූයේ විරැකියාව හා දුප්පත්කම තරුණ අසහනයට මෙන්ම පසුගිය වකවානුවේදි ඇතිවූ තරුණ කැරලිවලට ප්‍රධාන හේතුවක් වූ බවයි.
ඊට අමතරව අපේ තරුණ පිරිසට සමාජයේ නිසි පිළිගැනීමක්, වෘත්තීය පුහුණුවක් හා ඉදිරියට යාමට අවශ්‍ය අතහිත දීමක් නොතිබීමත් නිසා තරුණ අසහනය උග්‍ර වී තිබිණි.
මේ පිළිබඳව ගවේෂණාත්මකව අවධානය යොමු කළ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ රටේ තරුණ තරුණියන්ගේ විරැකියාව හා දරිද්‍රතාව මුලිනුපුටා දමමින් ඔවුන්ට වසරක් තුළ මෙරට ප්‍රථම වරට රැකියා 160,000 ක් ලබාදීමේ සුවිශේෂ වැඩපිළිවෙළ දෙකක් ක්‍රියාවට නැංවිය. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ද පූර්ණ සහාය ලැබිණි.
ඒ අනුව මෙරට ප්‍රථම වරට සාමාන්‍ය පෙළ අසමත් හා අඩු ආදායම් ලාභි තරුණ තරුණියන් ලක්ෂයකට විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා ලබාදීමට හා උපාධිධාරින් 50,000 කට දින 100 ක සුවිශේෂි පුහුණුවක් ලබාදී විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා ලබාදීමට නව වැඩපිළිවෙළ දෙකක් ජනපතිගේ උපදෙස් පරිදි දැන් ක්‍රියාත්මකව තිබේ.
උපාධිධාරි පත්වීම් 61,210 දැනට ලබාදී ඇති අතර සා.පෙ. අසමත් තරුණ තරුණියන් 40,000 කට පමණ ද දැන් පත්වීම් ලබාදී තිබේ. ඉතිරි 60,000 ට ළඟදීම පත්වීම් දීමට වැඩ කටයුතු යොදා ඇත. තවත් උපාධිධාරින් 12,000 කට උපාධිධාරි පත්වීම් දීමට සූදානම්ව ඇත.
අ.පො.ස. සාපෙ අසමත් අඩු ආදායම් ලාභි තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දීම එකවර පහළ වූ අදහසක් නම් නොවේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් රට ඇතුළත ඇති කිරීම උදෙසා මෙම තරුණ පිරිසට වෘත්තීය පුහුණුවකින් පසු රැකියා ලබාදීම සිදු කෙරිණි.
මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන පරමාර්ථය සෞභාග්‍යයේ දැක්මේ “දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම බවත් එම සංකල්පය යටතේ එක් තිරසාර ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස ජනපතිගේ උපදෙස් මත ඒ ඒ ග්‍රාම නිලධාරි වසම්වල සිටින දුප්පත්ම පවුල්වල රැකියා නැති තරුණ තරුණියන්ට රැකියා ලබා දුන් බවත් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ ජනාධිපති බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි පවසයි. මේ කටයුත්තේදී ජනාධිපතිතුමා විශේෂයෙන් උපදෙස් දී ඇත්තේ මේ සඳහා සුදුසු ගමේ දුප්පත්ම තරුණ තරුණියන්ට දේශපාලන බේදයෙන් තොරව අවස්ථාව ලබා දෙන ලෙසයි.
මේ මඟින් ගමේ දුප්පත් අඩු අධ්‍යාපනයක් ඇති පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට මනා වෘත්තීය පුහුණුවක් තම ගම් ප්‍රදේශයේම ලබාදී එම ගම් ප්‍රදේශයේම හෝ ඒ අවට පිහිටි රජයේ ආයතනයක රැකියා ලබාදීම ද සිදු කරමින් පවතී.
මෙම කටයුත්තේදී වයස්ගත දෙමාපියන් සිටින හා සමෘද්ධි ආධාර ලබන අඩු අධ්‍යාපනික තරුණ තරුණියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබුණි.
“ගමේ ග්‍රාම නිලධාරි හා පසුව ප්‍රාදේශීය ලේකම් අස්සන් කළ ඉල්ලුම් පත් ලක්ෂ හයහමාරක් මේ රැකියා ලක්ෂය සඳහා ලැබුණා. ඉන් ජනපති දුන් උපදෙස් අකුරටම පිළිපදිමින් සුදුසුම තරුණ පිරිසට රැකියා ලබාදීමට අපි කටයුතු කළා. ඉන් 40,000 කට රැකියා දී අවසන්. ඉතිරි අයටත් ළඟදීම දෙනවා.“ මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි පවසයි. එක් පවුලකින් සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 18 - 40 අතර එක් ඉල්ලුම්කරුවකු ගැන පමණක් මෙහිදී සලකා බැලුවේය.
අයදුම්කරුවන් පදිංචි ගම් හා නගර ආශ්‍රිතව පවතින රැකියා අවස්ථා හා අයදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ පත්වීම් සිදු කරනු ලැබූහ.
ඒ අය පදිංචි ප්‍රදේශ තුළ හෝ ආසන්න ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවලදි මේ පුහුණුව සිදු කරනු ලැබේ. සාර්ථක පුහුණුවකින් පසු ඔවුන්ට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් පිරිනැමේ. පුහුණු කාලය ඇතුළත මාසයකට රුපියල් 22,500 ක් ලැබේ. මෙම රැකියා ලබා දීමෙන් පසු එම පවුල් දිළිඳු බවින් මුදා ගෙන රටේ ශ්‍රම බළකායේ නිපුණතා මගින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ කාරණයට සඵලදායි ලෙස දායක කර ගන්නා බවත් මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි පවසයි. පුහුණුව සාර්ථකව නිම වීමෙන් පසු රජය අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PLI) රජයේ විශ්‍රාම සහිත තනතුරකට පත්වීමට ඔවුන්ට හැකියාව ලැබේ. වසර 10ක සාර්ථක සේවාවකින් පසු මේ අයට රජයේ සියලු පහසුකම් හා විශ්‍රාම වැටුප් ද හිමිවේ. තරුණ අසහනය දුරු කිරීම, අඩු ආදායම් ලාභින්ගේ ආදායම් නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටු දැකීම, ආදායම් විෂමතා අවම කිරීම මගින් තරුණ ගැටලු විසඳිම මේ වැඩපිළිවෙළ මගින් ප්‍රධාන ලෙස රජය අපේක්ෂා කෙරේ.
මේ වැඩසටහන පිළිබඳව අපට අදහස් දැක්වූ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් පවසන්නේ මේ වැඩපිළිවෙළ මගින් ගමේ කොන්වී සිටි තරුණ පිරිසට හොඳ සමාජ පිළිගැනීමක් ලැබෙන බවයි. ඒ සමඟම පත්වීම් ලැබූ තරුණ තරුණියන් පවසන්නේ මේ වැඩපිළිවෙළ මගින් තමාට පමණක් නොව තම පවුලටම පිළිසරණක් ලැබුණු බවයි. අපේ සරසවිවලින් පිටවූ උපාධිධාරින්ට සුදුසු රැකියාවක් ලබාගැනීම පසුගිය වකවානුවේ ලොකුම ගැටලුවක් වී තිබිණි. සියලු රජයන්ට දැනෙන ලෙස රැකියා විරහිත උපාධිධාරිහු මහ පාරේ පෙළපාළි ගියත් යටි ගිරියෙන් කෑගැසුවත් ඔවුන් පිළිබඳව බැලූ රාජ්‍ය නායකයන් පසුගිය සමයේ සිටියේ නැත. එසේ වුවත් රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලු පිළිබඳව මනා අධ්‍යයනයක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් තම ‘සෞභාග්‍යයේ දැක්ම‘ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා විරහිත උපාධිධාරින් 60,000 කට රජයේ රැකියා පසුගිය වසර තුළ ලබාදීම මෙරට උපාධිධාරි රැකියා ක්ෂේත්‍රයේ සුවිශේෂි වාර්තාවකි.
මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය පරිපාලන හා පළාත් සහා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසන්නේ මේ සඳහා ඉල්ලුම්පත් 76,000 ක් ලැබුණු බවයි.
ඒ අනුව ඉහළ සුදුසුකම් ලැබූ උපාධිධාරින් 49050 ක් මුල් අදියරේ ද තවත් උපාධිධාරින් 10,000 ක් දෙවන අදියරේදී තෝරා ගත් බවත් ලේකම්වරයා පවසයි.
මෙහිදී දැනටමත් රැකියා කරන, පිටරට උපාධි ඇති හා සම්මුඛ පරීක්ෂණවලට නොපැමිණි අයට පමණක් පත්වීම් අහිමිවී ඇත. පත්වීම් ලැබූ අය වසරක කාලයක පුහුණුවක් ලැබිය යුතුය. ඒ කාලයේ මසකට රුපියල් 25,000 ක් ලැබේ. ඒ අයට සාර්ථක පුහුණුවකින් පසු රජයේ විශ්‍රාම වැටුප් ඇති රැකියාවක් ලැබේ. පළමු පත්වීම ලැබූ දිස්ත්‍රික්කය තුළ මුල් වසර 5 සේවය කළ යුතුය.
මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසන්නේ මේ වැඩපිළිවෙළ යටතේ තවත් උපාධිධාරින් 10,000 කට ළඟදීම රජයේ රැකියා දෙන බවයි.
මේ පත්වීම් ලැබූ උපාධිධාරින්ට යුද හමුදා කඳවුරු තුළදි මනා නායකත්ව පුහුණුවක් ලබාදී ඇත. ඊට පසුව රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ද පුහුණුවක් ලබාදීමට කටයුතු කෙරේ. මේ සියලු පාඨමාලා විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙහෙයවන නායකත්ව හා ප්‍රායෝගික වැඩමුළුවලින් යුක්තය.
මෙම පුහුණු අවස්ථා මගින් නායකත්වය සමූහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, ව්‍යාපෘති කටයුතු හා ක්ෂේත්‍ර අධ්‍යයනය සහජීවනය සහ අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව වැනි ක්ෂේත්‍ර පිළිබඳ මනා පුහුණුවක් උපාධිධාරින්ට ලැබෙනු ඇත. මෙමගින් රාජ්‍ය ඵලදායිත්වයට බලපෑ හැකි දුබලතා අවම කරමින් කාර්යක්ෂම රාජ්‍ය සේවකයක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන සාර්ථකව නිම කරනු ලබන පුහුණු උපාධිධාරියකු පුහුණු කළමනාකරණ කුසලතා රාජ්‍ය අංශයේ අරමුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් උනන්දුවක් සහ කැපවීම ආත්ම විශ්වාසය නවෝත්පාදන බිහි කිරීමේ හැකියාව ඇති නිලධාරියකු ලෙස රටට සේවයක් කිරීමට සමාජගත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අපේක්ෂා කරන බව එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව මඟ පෙන්වීම ලබාදීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය හා තම අමාත්‍යාංශය කටයුතු කරන බව ද රත්නසිරි මහතා පවසයි. මේ අනුව මෙරට ප්‍රථම වරට එක් වසරක් ඇතුළත මෙරට තරුණ තරුණියන් 160,000 කට රජයේ රැකියා ලබාදී වත්මන් ජනපති සහ අගමැති සුවිශේෂි වාර්තාවක් තබා තිබේ.
මේ අයුරින් රැකියා ලැබුණු සැමගේ යුතුකම වන්නේ රටේත් ජනතාවගේත් සුව සෙත හා දියුණුව පිණිස තම රාජකාරිය අවංකව හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම බවද කිව යුතුමය