
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව ලංකාව නමින් පිහිටි එකම ගම්මානය ‘ලංකාගමය’. ගාල්ල - මාතර දිසාවන්ට මායිම්ව ගිංගඟ මිටියාවතේ ලංකාගම ගම්මානය පිහිටා ඇත. උතුර දෙසින් සිංහරාජ වනපෙතේ දකුණින් දෙල්ලව රක්ෂිතයටත් මායිම්ව පිහිටි ලංකාගම හිනිදුම මැතිවරණ කොට්ඨාසයට අයත්වේ.
සොබාදහමේ දායාදයක් බඳු ලංකාගම සුවිශේෂ ගම්මානයකි. මිහිරිතම කිතුල්පැණි හකුරු ගුණාත්මක බවින් හෙබි පහතරට තේ පිරිසිදුම ජලය කොහේද කියලා ඇහුවොත් එයට හොඳම පිළිතුර නෙළුව ලංකාගම මේ සුන්දර ගම්මානයයි. මේ ගම්වැසියනට අතීතයේ සිටම උරුම වූ ස්වභාවික පරිසරය තුළ දිවිගෙවන ගැමියෝ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූහ. යුගයෙන් යුගයට ඔවුනට තිබුණු අවම පහසුකම් මධ්‍යයේ වුව ද එදා සිටි පරම්පරාගත ගැමියන් මෙන් ම වත්මන් පරපුර නියෝජනය කරන යොවුන් පරපුර ද රටේ ආර්ථිකයට දායක වනුයේ ඔවුනට මේ දක්වා ලබාදී ඇති අවම පහසුකම් ගැන නොසිතමිනි.
අතීතයේ කිතුල්පැණි හකුරු කර්මාන්තයෙන් ජීවන සටන ආරම්භ කළ ලංකාගම වැසියෝ පසුකාලීනව තේ කුරුඳු ගම්මිරිස් වැනි ආර්ථික වගාවන්ට නැඹුරුවීමත් සමඟම ඔවුන් ක්‍රමානුකූලව දියුණු සමාජ ක්‍රමයට අනුගත වූහ. මේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමේදී තම ගමේ නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කර ගැනීම බෙහෙත් ටිකක් ලබාගැනීම නිවසට අත්‍යවශ්‍ය ආහාරපාන යනාදී සෑම කාර්යයක්ම ඉටුකර ගැනීමේදී එදා ලංකාගම වැසියන්ට ලංකාගම සිට පා ගමනින් දුෂ්කර මඟක් ගෙවමින් කිලෝමීටර් 18 ක් දුර ගෙවමින් ගිංගඟ ඔස්සේ ඉහළටත් පහළටත් ගමන් මඟ වැටී තිබුණු කුඩා මංපෙත දිගේ පාගමනින් නෙළුව නගරයට හෝ දෙණියාය නගරයට යෑමට සිදුවිය.
මෙලෙස අනේකවිධ දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් දිවි ගෙවූ ලංකාගම ගැමියෝ ඔවුන් මෙතෙක් මුහුණපෑ සියලු කම්කටොලු නිමාකරමින් සැනසුම් සුසුමන් හෙළමින් යහපත් දිවි පෙවතක් ගත කිරීමට මංපෙත් විවර වී ඇත.
ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පින්සිදු වන්නටය. ජනාධිපතිවරයාගේ දූරදර්ශී සංවර්ධන ක්‍රියාවලිය තුළින් සංවර්ධනයේ අරුණලු තුළින් උදාවූ ලංකාගම නව ලංකාගමක් වී ඇති අයුරු දැකබලා ගෙන ලංකාගම අව්‍යාජ ගැමියන් ඔවුන්ගේ ගමට පායා ඇති සංවර්ධනයේ හිරු කිරණ ඔවුන් දකින අයුරු බලා ගැනීමේ අදහසින් පසුගිය දිනක ලංකාගමට ගියෙමි.
සැබැවින්ම එදා අප දුටු රත්පැහැ ගැන්වී ගලින් ගලට පැනගිය මඩවළවල් සහිත මාර්ගය අද කළු පැහැ ගැන්වූ කාපට් මාවතක් බවට පත්වී ඇත. එදා පැය 2 – 3 කින් ලංකාගමට ගිය අපහට අද වනවිට විනාඩි 25 – 30 ක පමණ කාලයකින් ලංකාගමට ළඟාවිය හැකි විය. සෑම ගැමියෙකුගේම මුවගෙහි සතුටු පිරි සිනහවකි. තරුණයන් හිස් වැසුම් නොමැතිව සිය යතුරු පැදිවලින් ඔබමොබ ගමන් කරනුයේ ඉපිළී යන ප්‍රීතියෙනි. වෙනදා ගලින් ගලට පැන පැන දෙපා බිමට තබා යතුරු පැදිය ධාවනය කළ තරුණයෝ අද නිදහසේ ගමන් කරති. ගමේ පොදු වාහනය වූ ත්‍රිරෝද රථයද එහෙට මෙහෙට වංගු ගසා ධාවනය කළ අද ඔවුන් රිසි අයුරින් බාධාවලින් තොරව ගමන් ගනී. අද ඒ ගැමියන්ගේ එදා ගත කළ කාලයට වඩා අඩු කාල පරාසයකින් තම දෛනික වැඩකටයුතු සිදු කර ගැනීමට හැකි බව අප කළ සංචාරයේදී ගැමියෝ අප සමඟ පැවසූහ.
සංවර්ධනයේදී ගමේ මාර්ග පද්ධතිය පමණක් නොව විශ්ව ලෝකයෙන් හුදකලාවී තිබූ සන්නිවේදන පහසුකම් නොතිබූ ලංකාගමට සන්නිවේදන පහසුකම් ලබාදී විශ්ව ලෝකයක් සමඟ සබඳතා ඇති කරලීමට සමත්වූ අතර ලංකාගම වත්මන් මෙන්ම අනාගත පරපුරම නවීන විශ්ව ලෝකයට විවර කිරීමට මේ සංවර්ධන ක්‍රියාවලිය සමත්විය.
ලංකාගම ගම්මානයේ සිදුවූ නව සංවර්ධන කාර්යයන් සොයා ගිය ගමනේදී අපට හමුවූ ලංකාගම ගැමියෝ මෙසේ අදහස් දැක්වූහ.
ලංකාගම පදිංචි ඩබ්ලිව්.ජී. සිරිසේන(82) ගේ අදහස් මෙසේය.
අපේ ගම පැරැණි ගම්මානයක්. වළගම්බා රජ දවස දක්වා ඉතිහාසයකට උරුමකම් කියන ගම්මානයක්. එදා හේන් ගොවිතැන් කරලා ජීවත්වුණේ මේ ගමේ උදවිය. පාගමනින් තමයි ගමන් බිමන් ගියේ. හේන් ගොවිතැනට අමතරව කිතුල් පැණි හකුරු කර්මාන්තය තිබුණා. එදවස්වල අපි නිෂ්පාදනය කළ කිතුල් පැණි හකුරු කද බැඳගෙන නෙළුවට හෝ දෙණියායට ගිහින් තමයි විකුණාගෙන එන්නේ. සැතපුම් 18 ක් 20 වගේ පාගමනින් තමයි ගියේ. පස්සේ 1970 වසරේ ලංකාගමට මුලින්ම පාර කපන්න ආරම්භ වුණේ. එදා අඩි පාරක් ලෙස කපාපු පාර තමයි අද මේ කාපට් පාරක් වුණේ. අපි වින්ද දුක් අපමණයි. ලෙඩක් හැදුණොත් මැස්සක් හදාගෙන ගමේ උදවියගේ කර මතින් තමයි රෝහලකට ගෙන ගියේ. අද එහෙම නැහැ. අද අපට හරි සතුටුයි. අපේ දරුවන්ට මෙන් ම දරුවන්ගේ දරුවන්ට පහසුකම් සහිත ගමක් හදලා දීම ගැන එදා අපි විඳපු දුක් කන්දරා අපේ දරුවන්ට අත්නොවීම ගැන සතුටක් දැනෙනවා.
ලංකාගම ග්‍රාම නිලධාරි එල්.පී. සෝමරත්න මෙසේ කියයි.
ලංකාගම ග්‍රාම නිලධාරි ලෙස වසර 25 ක සිට සේවය කරයි. මේ වසර 25 කාලය තුළ ගම ගැන හොඳ අත්දැකීම් මෙන් ම අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණදී තිබෙනවා. මම මේ ගමේ වැඩ භාරගන්නා විට 1980 වසර වනවිට ගමට යන්න එන්න හරි හැටි පාරක් තිබුණේ නැහැ. ගමට විදුලිය තිබුණේ නැහැ. ලංකාගම සිට සැතපුම් 18 ක් දුර ගෙවමින් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නේ මාසයකට වරක් පමණයි. ඒ කාලයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේ ඒ විදියට සැතපුම් 36 ක් පාගමනින් රාජකාරියට ආව - ගියේ. මේ ගම ගිංගඟ සමීපයේ පිහිටීම නිසා නිරන්තර ගංවතුර සහ නායයෑම්වලට ලක්වුණා. එම කාලයට ගංවතුරින් අනාථවූ අයට ගුවනින් තමයි ආහාර ගෙන එන්නේ. නමුත් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ලංකාගම - නෙළුව පාර සකස් කරලා කාපට් කර දුන්නා. ඒ වගේම දුරකතන පහසුකම් ලබාදීම නිසා අද ලංකාගම ගමේ උදවිය සතුටින් කාලය ගත කරනවා. තම නිෂ්පාදන මෙන්ම අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ප්‍රධාන නගරවලට යෑමට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. අපේ ගමට මේ සංවර්ධනය ලබාදීම ගැන ජනාධිපතිතුමාට ස්තුතිය පුද කරනවා ගමේ උදවිය වෙනුවෙන්.
ලංකාගම විදුහලේ ඉගෙනුම ලබන කවිෂා ලක්ෂ්මි ශිෂ්‍යාව (අවු. 16) මෙසේ පැවැසීය.
හරිහැටි සංවර්ධන ක්‍රියාවලියක් නොතිබුණු අපේ ගමට විධිමත් සංවර්ධනයක් ලබාදීම ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා. ලංකාගම දුෂ්කර ගම්මානයක්. අපට එදා ඉගෙන ගන්න පහසුකම් තිබුණේ නැහැ. හරිහැටි ගමන් කරන්න පාරක් තිබුණේ නැහැ. ඉගෙන ගන්න නවින තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් අපේ ගමට සන්නිවේදන පහසුකම් ලබාදීම නිසා අපේ අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම් ලබාගන්න පුළුවන් අපට online මගින් ඉගෙනුම් කටයුතු කරනවා. අනාගතයේ ඉගෙනුම ලබන අපේ නංගිලා මල්ලිලාටත් හොඳ අවස්ථාවක් අපට ලබාදුන් මේ සංවර්ධන මෙවලම්වලින් යහපත් ආකාරයට පරිහරණය කරලා ඵල ප්‍රයෝජනය ගත්හ. මේ ගම සංවර්ධනය කරලා අද පවතින නවීන ලෝකයට විවෘත කිරීම ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා.
නෙළුව ප්‍රාදේශීයලේකම් චතුරංග ගුණසේකර මෙසේ පැවසීය.
නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරම පිහිටි ගම්මානය ලංකාගම. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ආදායම් මාර්ග රැසක් ගෙන එන ප්‍රධාන ගම්මානයක් තමයි ලංකාගම කිතුල් කර්මාන්තය, තේ වගාව, සුළු අපනයන බෝග, සංචාරක කර්මාන්තය සියලු ආදායම් උත්පාදනය කරන ගම්මානයක්. දිස්ත්‍රික් දෙකකට මායිම්ව තිබීමත් දෙණියාය, නෙළුව වැනි නගර දෙකම කේන්ද්‍රගත ගම්මානයක්. මෙම ගම්මානයේ පැවැති යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමත් අද සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය වන සන්නිවේදන පහසුකම් ලබාදීම ගමේ සංවර්ධනයට ඉවහල් වනවා.
සංවර්ධනය කිරීම ගම්වාසීන්ට සිහිනයක් බවට පත්වී තිබුණා. එම සිහිනය කඩිනමින් සැබෑ කරදීමට ජනාධිපති ගෝඨාභය මහතා කටයුතු කළා. ඒ ගැන රජයට ස්තුතිය පුද කරනවා. මෙම වසර තුළ ලංකාගම දැවැන්ත සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ග්‍රාමීය දුෂ්කර පළාත් දියුණු කිරීම ප්‍රදේශයටත් මෙන් ම රටටත් වාසිදායක ප්‍රතිලාභ අත්කරගන්න පුළුවන්. මෙම මාර්ගය ඉදිකිරීම මෙන්ම සංවර්ධනය කිරීමේදී අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ අභියෝග අද අපට ආශිර්වාදයක් බවට පත්වීම ගැන සතුටක්.
අද අප රට පත්වී ඇති ආර්ථික ගැටලු හමුවේ අපේ රටේ ලංකාගම වැනි දේශීය ආර්ථිකය ගොඩනැංවීමට උරදෙන ගම්වැසියන් ජීවත්වන මෙවැනි ගම්මාන දියුණු කර ඒවායේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමෙන් රටේ ආර්ථිකයට ලැබෙන පිටුබලය ඉමහත් ය. එම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් නිවැරැදි දුරදර්ශී තීරණය අද මල් ඵල ගෙන ඇති බව සඳහන් කරන අතර මෙම සංවර්ධනය රටේ තිරසාර පැවැත්මට උපයෝගි කරගැනීමට සියලු දෙනා එක්වී කටයුතු කළ යුතුය. එසේ වුවහොත් සංවර්ධනයේ නියම ඵල අත්කර ගත හැකි බව ද සඳහන් කරමි.