
• අඩු ආදායම්ලාභීන්ට නව නිවාස 70,000ක් ඉදිරි සිවුවසර ඇතුළත
• ජනතා සහභාගිත්ව සංවර්ධන ව්‍යාපෘති 37,000ක් ක්‍රියාත්මකයි
• අනුරාධපුරේ අක්කර 100ක ඔසු නිපැයුම් කලාපයක්
• කොළඹ පැල්පත්වාසීන්ට ලබන වසරේ නිවාස 37,500ක්
• වසරකට පිටරටට ගිය රුපියල් කෝටි 6,000ක් ඉතිරියි
• මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරය හොරණ මිල්ලෑවේ
• පවුල් ලක්ෂ 47කට පිරිසුදු පානීය ජලය
‘යහපාලනය‘ නමින් දැඩි පාලනයක් කළ පසුගිය රජයේ ක්‍රියාකාරිත්වය සදහටම නවත්වමින්, ලක්ෂ 69ක් වූ ජනතාවගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් 2019 නොවැම්බර් 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂ යන් මෙරට 7 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්විය.
රටේ හා ජනතාවගේ සංවර්ධනය උදෙසා හෙතෙම ඉදිරිපත් කළ රට හදන ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රටේ ජනතාවට ප්‍රධාන ලෙස බලපාන ජලය, ඖෂධ හා නිවාස ක්ෂේත්‍රවල දියුණුවටත් ඒවායේ පවතින ගැටලුවලට තිරසර විසඳුම් දීමටත් ඔහු සුවිශේෂි වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නැංවීය.
ජනතාවගේ ජීවත්වීමේ මූලික අවශ්‍යතාවක් වන පිරිසුදු පානීය ජලය අපේ රටේ පවුල් ලක්ෂ 47කට දවසේ පැය 24 පුරාම ලබාදීමට ජනපතිගේ උපදෙස් පරිදි රජය දැන් නව ව්‍යාපෘතියක් අරඹා ඇත.
ඒ අනුව ඉදිරි සිවු වසර ඇතුළත අපේ රටේ සියලු ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමට දැන් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය කටයුතු කරමින් සිටී. දේශීය හා විදේශීය අරමුදලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා කිලෝමීටර් 40,000ක් දුර අලුතින් ජලනළ එලීමට කටයුතු කරනු ලැබේ.
මේ දක්වා ජල සම්පාදනයට වියදම් වූ මුදල්වලින් හරි අඩකින් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් මෙහිදී ජලය ජනනය කරන ජල මූලාශ්‍ර හඳුනා ගැනීමට හා ඒවා මෙන්ම ජලය සුරැකීමටත් වැඩි අවධානය යොමු කෙරේ. ඊට අමතරව වැසි ජලය එකතු කිරීමට හා ජලය කාන්දු වීම් වැළැක්වීමටද අලුත්ම නව තාක්ෂණික ක්‍රම අනුව කටයුතු කරන බව ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ජලය කාන්දු වීම් නිසා ජල සැපයුමෙන් සියයට 45ක් අපතේ ගියේය. ව්‍යාපෘතියේ උපදෙස් අනුව දැන් ඒ ප්‍රමාණය සියයට 15 දක්වා අඩුකර තිබිණි. වාරි ජලය ගබඩා කිරීම, ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග හා නළ මාර්ග සහිත ව්‍යාපෘති හඳුන්වාදීමද නව සැලසුම්වලට අන්තර්ගත වේ.
මෙරටට අවශ්‍ය ඖෂධ අපේ රටේම නිපදවීමට ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් අනුව දැන් වැඩසටහනක් ක්‍රියාත්මකය.
විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිපදවීම සඳහා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 400ක් ආයෝජන කලාපයක් හා දේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් සඳහා අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක මධ්‍ය පරිමාණ ආයෝජන කලාපයක්ද පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ මඟින් මෙතෙක් ඖෂධ ගෙන්වීමට වසරකට විදෙස් කරා ගිය රුපියල් කෝටි 6000ක් පමණ මෙරට තුළම ඉතිරි කර ගැනීමට හැකි වන බව ඖෂධ නිෂ්පාදනය හා සැපයීම් නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
දැනටම මේ යටතේ අපේ රටේම නිෂ්පාදනාගාර ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඉදිරි මාස 2 - 3 ඇතුළත සේලයින් ප්‍රතිජීවක හා නිර්වින්දන ඖෂධ මෙරට නිපදවීම සඳහා සියලු වැඩ කටයුතු මේ යටතේ සිදු කරන බවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සේලයින් කර්මාන්ත ශාලාව කුණ්ඩසාලේ ඉදිකිරීම ඒ අනුව ආරම්භ කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
ඊට අමතරව බණ්ඩාරගම ප්‍ර දේශයේ පෙති, කරල් හා නිර්වින්දන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්ද, හෝමාගම ප්‍රදේශයේදී ප්‍රතිජීවක හා ශිරාගත ප්‍රතිජීවක නිපදවීමේ කර්මාන්ත ශාලාවක්ද ඇරැඹීමට කටයුතු යොදා ඇත. මේ යටතේ ඉදිරි සෑම මසකදීම පිටරටින් ගෙන්වූ එක් ඖෂධයක් මෙරට තුළ නිපදවීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව ලබන වසරේ සිට දෙසතියකට වරක් නව ඖෂධයක් බැගින්ද මෙරට නිෂ්පාදනාගාරවලින් අපේ වෙළෙඳපොළට දැමීමට අපේක්ෂා කෙරේ.
මේ යටතේ නිපදවූ ප්‍රථම ඖෂධය ලෙස ‘ගැබාපෙන්ටීස්‘ නමින් හැඳින්වූ ස්නායු රෝග සඳහා ලබාදෙන මීට පෙර වසරකට රුපියල් මිලියන 68ක් වියදම් කර මෙරටට ගෙන්වූ ඖෂධය මෙහිදීම නිපදවීම මුලින්ම 2020 සැප්තැම්බර් 16 දින ආරම්භ කළේය.
මේ අතර මෙරට විශාලතම ඖෂධ කර්මාන්ත ශාලාව ඉදිකිරීම් සඳහා අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමද පසුගියදා සිදු විය. ඒ අනුව එය හොරණ මිල්ලැවේ අක්කර 69 භූමි භාගයක ඉදිවෙන අතර එමඟින් වසරකට පෙති/කරල් කෝටි 500ක් නිපදවීමටද වසරකට රටට ඉතිරි කරන මුදල රුපියල් කෝටි 2,000 කි. ඊට අමතරව තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනක්ද ලැබේ.
වසර දෙකක් ඇතුළත මේ ස්ථානයේ කර්මාන්ත ශාලා 5ක් ඉදිවෙන අතර ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි 800 කි. අක්ෂි කාච, ස්ටෙන්ට්, විකලාංග ශල්‍ය වෛද්‍ය උපකරණ හා පිළිකා ඖෂධ මෙහි නිපදවීමට යෝජිත බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා ඖෂධවේදය පිළිබඳ විද්වතුන්ගේ උපදෙස් අනුව මේ ආයතන ඉදිකරනු ලැබේ.
කොරෝනා ව්‍යසනය අතරේ ජනපති හා අගමැති එක්ව ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සහ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීම පිණිස ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඒ යටතේ මේ වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 37,000 අතරින් දැනටමත් ව්‍යාපෘති 36,200ක් ආරම්භ කර ඇත.
රුපියල් කෝටි 2,200 වටිනාකමක් ඇති මෙම ව්‍යාපෘති 14,021ක් දිවයිනේ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය කරමින් දැනටමත් ක්‍රියාත්මක වෙයි. මේ යටතේ මෙතෙක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 2158ක් ඉදිකර තිබේ. ඒ සමඟම ඊට අදාළ පාලම්, බෝක්කු 240ක්ද ඉදිකර ඇත. ස්වයං රැකියා වැඩිදියුණු කිරීමට සතිපොළ හා වෙළෙඳ මධ්‍යස්ථාන 81ක්ද, කෘෂි ගබඩා 24ක්ද කෘෂි ළිං ව්‍යාපෘති 10ක්ද ඉදිකර වැඩ අවසන් කර තිබේ.
ඊට අමතරව ජල ව්‍යාපෘති 122ක්ද සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘති 126ක්ද මේ යටතේ අවසන් වෙමින් පවතී. ඒ සමඟම මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘති ද ඉදිවෙමින් පවතී. වැලිමඩ සිට මොනරාගලට හා හම්බන්තොටට ජලය දෙන මෙගා වොට් 120ක ජල විදුලියක් රටට ලබා දෙන උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය එ් අතර ප්‍රධාන වේ.
එහි ව්‍යාපෘතියේ කටයුතුවලින් සියයට 96ක් අවසන් බවත් ව්‍යාපෘතිය අවසන් වූ පසු පවුල් 7,000කට පමණ පිරිසුදු පානීය ජලයද ප්‍රධාන වැව් තුනකට හා කුඩා වැව් 100කට වාරි ජලයද ලබාදීමට කටයුතු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.
ඊට අමතරව උතුරුමැද ලොකුම ජලාශය හා මෙරට දිගම වේල්ල සහිත යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම ද දැනට අවසන් වී ඇත. පසුගිය රජයේ නිවාස ඇමැතිවරයා නිවාස ඉදිකිරීම් පිළිබඳව මහ ඉහළින් ප්‍රචාරාත්මක ලෙස කටයුතු කළත් ඒ සමයේ ඉදිකළ බොහෝ නිවාස ව්‍යාපෘති අසාර්ථක ප්‍රචාරාත්මක නිවාස ව්‍යාපෘති පමණක්ම විය.
ඒ පිළිබඳව සිත යොමුකළ වත්මන් ජනපති අපේ රටේ නිවාස අවශ්‍ය හා දැනට කටුමැටි ගැසු නිවාසවලත් පැල්පත්වලත් වෙසෙන හැමටම ඉදිරි වසර හතර ඇතුළත නව නිවාස ලක්ෂ එකහමාරක් ඉදිකිරීමට අලුත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන්නේය.
ඒ අතර ‘ගමට ගෙයක් - රටට හෙටක්‘ වැඩසටහන ප්‍රමුඛ වෙයි. ඒ යටතේ සෑම ගමකම දුප්පත්ම අයට ගෙයක් ලැබේ. මේ වැඩපිළිවෙළ අනුව දැනටමත් රටපුරා මේ වසර සඳහා නව නිවාස 14,022ක් ඉදිවෙමින් පවතී.
ඒ පිළිබඳව අදහස් දක්වන ග්‍රාමීය නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ පවසන්නෙ ජනපතිගේ උපදෙස් පරිදි හා නිවාස විෂය බාර කැබිනට් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ අධීක්ෂණය මත “ගමට ගෙයක් - රටට හෙටක්“ වැඩසටහන 2024 දක්වා රටපුරා ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව මේ වැඩසටහනින් වසරකට නව නිවාස 14,022 බැගින් වසර හතර ඇතුළත නව නිවාස 70,000කට වඩා ඉදිවනවා“ ඇමැතිවරයා කීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතන මෙරට නිවාස ගැටලුවට තිරසර විසඳුම් ක්‍රියාවට නංවමින් තිබේ. ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරි වසර තුන ඇතුළත මෙරට ඇති පැල්පත් හා වරිච්චි බිත්ති ඇති නිවාස වෙනුවට නව නිවාස ලබාදීමට නිවාස අමාත්‍යාංශය සූදානම් වෙයි.
ඒ සමඟම අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ අදහසක් අනුව සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම නිවාස ඒකක 100කින් යුත් මහල් නිවාස ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරන බව එහි සභාපති රේණුක පෙරේරා පවසයි. ඒ අනුව මෙරටට ලැබෙන නිවාස ඒකක ප්‍රමාණය 30,000කට අධිකය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ මාලිගාවත්තෙ තට්ටු 40ක විශාල නව නිවාස සංකීර්ණයක් හා අලුත් තට්ටු නිවාස සංකීර්ණ 335ක් ඉදිකිරීමට කටයුතු යොදමින් සිටී.
ඊට අමතරව මේ වසරේදී ගම්පහ වැරැල්ලවත්තෙ නව නිවාස ඒකක 575ක්ද, අනුරපුර දහයියාගම නව නිවාස 178ක්ද සොයිසාපුර නව නිවාස 30ක්ද ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. නාරාහේන්පිට මිහිඳුපුර හා කිරි මණ්ඩල මාවතේ පරංගියා කුඹුර ව්‍යාපෘතිවල නව නිවාස 1,000ක් ඉදි කරනවා. ඒ සමඟම කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට ඉදිරියේදී නව නිවාස 37,500ක් ඉදිකිරීමට ජනපති උපදෙස් අනුව කටයුතු කරනවා.“ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්මන්ත පෙරේරා පවසයි.
ඒ සමඟම මත්තේගොඩ, බත්තරමුල්ල වික්‍රමසිංහපුර, මාවතගම, කුණ්ඩසාලේ වැනි ප්‍ර දේශවලද මහල් නිවාස සංකීර්ණ ඉදි කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය මෙරට නාගරික ප්‍ර දේශවල හා පැල්පත්වාසීන්ට නව තට්ටු ගෙල් 36,000ක් ඉදිකිරීම කරනු ලැබේ.
ඒ යටතේ මේ වසරේ නව මහල් නිවාස ඒකක 6,800ක් ඉදිකිරීම් අරඹන බවත් මේ වසරේ නව නිවාස 1400ක් නිවාසලාභීන්ට පිරිනමන බවත් එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසයි. මධ්‍යම පාන්තික නිවාස යටතේ මේ වසරේ නව නිවාස 3,000ක් ඉදිකරයි.
ඉන් බොරැල්ලේ ‘ඕවල් විව් රෙසිඩන්ට්‘ නව නිවාස ක්‍රමය දැන් ජනතා අයිතියට පත්කර ඇත. එහි නව නිවාස 608කි. ඉහළ ආදායම් ඇති අයටත් මේ වසරේ නව නිවාස 400ක් ඉදිකිරීම අරඹනු ඇත.
මීට අමතරව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින්ද නව නිවාස සංකීර්ණ රැසක් ඉදිකර තිබේ. මොරටුව අඟුලාන, සයුරුපුර, මොරටුව, ලුනාව නිවාස සංකීර්ණය දැනට ඉදිකර ඇත.
ඊට අමතරව වත්තල, ජාඇළ, ගම්පහ, කඩුවෙල, කහතුඩුව, පාණදුර, රත්මලාන යන කොළඹට තදාසන්න ප්‍රදේශවල කවයක් අයුරින් මධ්‍යම පාන්තික ජනතාවට නව නිවාස සංකීර්ණ ඉදිකිරීමට මුල පුරා ඇත.
ඊට අමතරව නිවාස අධිකාරිය සියයට 4 සිට 6 අතර වාර්ෂික පොලියට රුපියල් ලක්ෂ 75 දක්වා සහන පොලි ණය ලබාදීමටද ඉහත නිවාස ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන හා රජයේ බැංකු කටයුතු යොදා ඇතැයි රේණුක පෙරේරා පවසයි.
මේ අනුව වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් එක් වසරක් ඇතුළත මෙරට ජලය, ඖෂධ හා නිවාස යන ජනතාවට අත්‍යවශ්‍යම ක්ෂේත්‍රවල ගැටලු විසඳමින් රටට ජනතාවට සෞභාග්‍යය ළඟා කර දීමට ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ ඉදිරි සිවුවසර තුළ තව තවත් විකසිත වනු ඇත.